යුද්ධයක් හා සමානව සේනා මඬින්න එක්වන්න— ජනපති

යුද්ධයක් හා සමානව සේනා මඬින්න එක්වන්න— ජනපති

කෘෂිකර්මාන්තයට තර්ජනයක් එල්ල කරමින් සිටින සේනා දළඹුවා මැඬලීම සඳහා යුද්ධයකට මුහුණදෙන ආකාරයේ සමාන කැපවීමකින් සහ කාර්යක්ෂමව කටයුතු කරන්නැයි ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.

ඒ සඳහා යම් කාල රාමුවක් නිර්ණය කර ගනිමින් ජාතික වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙසත්, රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සහය ඇතිව ඒකාබද්ධ පළිබෝධ නාශක ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමටත් ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ සේනා දළඹු විශේෂය ව්‍යාප්තවීම හේතුවෙන් කෘෂිකර්මාන්තයට එල්ල වී ඇති තර්ජනයට මුහුණදීම සඳහා ගතයුතු හදිසි පියවර පිළිබඳ සොයා බැලීමට අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ය.

මෙම තත්ත්වය පාලනය කිරීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්ය සාධන බළකායක් ද පිහිටුවමින් අවශ්‍ය පියවර ක්‍රියාත්මක කරමින් සිටින අතර එම බලකාය නිතිපතා රැස්වෙමින් මෙම හදිසි උවදුර මැඩලීමට කඩිනම් තීන්දු තීරණවලට එළැඹීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

එමෙන්ම මෙම ජනාධිපති කාර්ය සාධක බළකායේ කටයුතු සම්බන්ධීකරණය වෙනුවෙන් මහවැලි නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා සහ ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු මෙන්ම වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු එම බලකායට ඇතුළත් කර ගැනීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ ය.

රාජ්‍ය සහ පෞද්ගලික ක්ෂේත්‍රයේ කෘෂි පර්යේෂණ අංශවල සහ ක්ෂේත්‍ර නිලධාරින්ගේ සහභාගිත්වයෙන් මෙම උවදුර මැඩලීම පිළිබඳ ගොවි සංවිධාන හා ගොවි ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට ද ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *