යතුරු පැදි සොරා ගැනීමේ කල්ලියක් ගම්පහදී අත් අඩංගුවට….

යතුරු පැදි සොරා ගැනීමේ කල්ලියක් ගම්පහදී අත් අඩංගුවට….

ගම්පහ ඇතුලු ප්‍රදේශ කිහිපයකදී යතුරුපැදි සහ ත්‍රී රෝද රථ සොරා ගැනීමේ යෙදී සිටි බව කියන කල්ලියක සිව් දෙනෙකු සමග සොරාගත් යතුරුපැදි 14 ක් සහ ත්‍රී රෝද රථ තුනක් ගම්පහ පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

අවුරුදු 21 – 36 අතර වයස්වල පසුවන සැකකරුවන් කදාන , ජාඇල සහ කටාන යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් බව පොලීසිය පවසයි.

මොවුන් විසින් ගම්පහ , මිනුවන්ගොඩ ඇතුලු විවිධ ප්‍රදේශයන්හි දී සොරාගෙන ඇති යතුරු පැදි සහ ත්‍රී රෝද රථවල ලියා පදිංචි අංක සහ චැසි අංක වෙනස් කොට අලෙවි කර තිබියදී යතුරු පැදි 14 ක් සහ ත්‍රීරෝද රථ තුනක් සොයා ගැනීමට හැකි වු බවත් තවත් යතුරු පැදි දෙකක් අලෙවි කොට ඇති ස්ථානවලින් ගැනීමට ඇති බවත් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අසංක රංගන මහතා පැවසීය.

මෙලෙස ලබා ගැනීමට ඇති යතුරු පැදි අලෙවි කොට තිබෙන පුද්ගලයින් හදුනාගෙන ඇති අතර එම යතුරු පැදිද අත් අඩංගුවට ගැනීමට නියමිතය.

හොර කල්ලියක් විසින් යතුරු පැදි සහ ත්‍රී රෝද රථ සොරා ගෙන ඒවා හදුනාගත නොහැකි අන්දමින් වෙනස් කොට අලෙවි කරනු ලබන බවට පොලීසියට ලැබී ඇති තොරතුරක් මත කදාන ප්‍රදේශයේ නිවසක තිබී යතුරු පැදි කිහිපයක් සොයා ගෙන ඇති අතර එහි සැකකරුවන්ගෙන් ප්‍රශ්ණ කොට ලබාගත් තොරතුරු මත වත්තල , කඩවත , කදාන , මීරිගම , දිවුලපිටිය යන ප්‍රදේශයන්හිදී තවත් යතුරුපැදි සොයා ගැනීමට පොලීසිය පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර සහ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංක රංගන මහතාගේ මෙහෙයවීම යටතේ උප පොලිස් පරීක්ෂක ප්‍රදීප් වික්‍රමසිංහ මහතා ඇතුලූ සැරයන් වරුන් වන ජනක ( 37689) සහ ජයතිලක ( 45736) , කොස්තාපල් වරුන් වන තෙන්නකෝන් ( 12421) , දිසානායක ( 74570) සහ හේරත් ( 81428) යන නිලධාරීන් ක්‍රියාකොට ඇති අතර සැකකරුවන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *