ගෙදර යන්න උනත් මම බාල තෙල් ගන්නේ නෑ /// ඇමැති අර්ජුන රණතුංග

අර්බුදයට වැරදිකරු කවුරුන්ද යන්න පිළිබඳ විශේෂ පරීක්‍ෂණයක්‌

මේ සමහර සිදුවීම් එකකට එකක්‌ සම්බන්ධයි. එක්‌වරම පිරිපහදුව අක්‍රිය වෙනවා. තෙල් බෙදාහැරීමේ පරිගණක පද්ධතිය පැය ගණනක්‌ නවතිනවා. ඒවා සාමාන්‍ය සිදුවීම් නොවේ. පවතින තෙල් අර්බුදයට වැරදිකරු කවුරුන්ද යන්න පිළිබඳ විශේෂ පරීක්‍ෂණයක්‌ පවත්වන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

සැටලයිට්‌ නිරීක්‍ෂණයන්ට අනුව අද රාත්‍රි 11 ට පමණ මෙරටට පැමිණීමට නියමිත ඉන්ධන නැව රාත්‍රි 9 වන විට පැමිණෙනු ඇතැයි ද ඒ අනුව හෙට සිට නියමිත පරිදි ඉන්ධන බෙදාහැරීම සිදුකෙරෙනු ඇතැයි ද ඔහු පැවසුවේය.

කෑන්වලට, බෝතල්වලට ඉන්ධන නොදෙන්නේ හේතුවක්‌ ඇතිවයි. මේ අවස්‌ථාවේ කූට ජාවාරමක්‌ සිදුකරනවා. බෝතල්වලට ඉන්ධන ලබාගෙන වැඩි මිලට එළියේ විකුණනවා. ඉන්ධන ගැසිය යුත්තේ වාහනයට. අද පවතින්නෙ පෙට්‍රල් හිඟයක්‌ පමණයි. ඒත් ඇතැම් ඉන්ධනහල් ඩීසල් බෙදාහැරීමත් නතර කරලා. මේ නිසා ත්‍රිරෝද හා යතුරුපැදි පදවන අයට අමතරව අනෙක්‌ රථවාහන රියෑදුරන් ද අපහසුතාවට පත්වෙලා.

පමා වී තිබෙන්නේ සාමාන්‍ය ක්‍රමවේදයට අනුව ඉන්ධන ඇණවුම් කළ නැවක්‌. ඔක්‌තෝබර් 13 දා ඉන්දියන් ඔයිල් සමාගමේ නැවක්‌ ආවා. පරීක්‍ෂණ දෙකක්‌ කළාට පසු ඒ ඉන්ධන ප්‍රතික්‍ෂේප කළා. අප ඒ නැව් භාරගත්තේ නෑ. මීට පෙරත් නුසුදුසු තෙල් ගෙනැවිත් රජයට පාඩු සිදුවුණා. වාහනවලට වන්දි පවා ගෙවන්න වුණා. තෙල් සංස්‌ථාව ඇණවුම් කළ ඉන්ධන නැව දින හතරක්‌ ප්‍රමාද වෙලා. නවවෙනිදා වෙද්දී සාමාන්‍ය ලෙස බෙදාහැරීම් කළ හැකියි. මේ ප්‍රශ්නය නිරාකරණය වූ පසුව විශේෂ කණ්‌ඩායමක්‌ යොදවා පරීක්‍ෂණයක්‌ කරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. අපට පෙට්‍රල් ගබඩා කළ හැක්‌කේ මෙටි්‍රක්‌ ටොන් 90,000 යි. අපි ගෙන්වන්නේ මෙටි්‍රක්‌ ටොන් 40,000 යි. දිනකට සාමාන්‍යයෙන් පෙට්‍රල් මෙටි්‍රක්‌ ටොන් 2500 යි නිකුත් කරන්නේ. එක්‌ එස්‌. එම්. එස්‌. පණිවුඩයකින් රටේ විශාල කැළඹීමක්‌ ඇතිවුණා. ඒ නිසා දිනක ඉල්ලුම මෙටි්‍රක්‌ ටොන් 4700 බවට පත්ව තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර තෙල් එළියට දමන්න කියා කවුරු කීවත් මම ඒවා එළියට දමන්නේ නෑ. නරකක්‌ වෙන්න මම ඉඩ දෙන්නේ නෑ. මේ ඉන්ධන එළියට දමන ලෙස අගමැතිතුමාවත්, ජනාධිපතිතුමාවත් බලපෑම් කරලා නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *