මෙහෙයුමේ අවසන් මොහොතේ පෙරළියක්

මෙහෙයුමේ අවසන් මොහොතේ පෙරළියක්

බාලගිරි දෝෂයට ලක්වූ 2020 මහමැතිවරණය අගෝස්තු 05 වනදා පැවැත්වීමට අවශ්‍ය කටයුතු ලහි ලහියේ සිදුකෙරෙමින් පවතී. මෙවර මහමැතිවරණ ඉතිහාසයට එක්වනුයේ විටින්විට කල්ගිය ඡන්දයක් ලෙසින් පමණක්ම නොවේ. ඡන්ද විමසීම, ඡන්ද ගණන් කිරීම පමණක් නොව ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රමවේදය ද මෙවර වෙනසකට ලක්ව තිබේ. උදේ ඡන්දය දී එදින රාත්‍රිය පහන්වන තුරු ගණන් කරන ක්‍රමවේදය මෙවර නොමැත.

එසේම එදින රාත්‍රිය පුරාම ගුවන්විදුලිය හෝ රූපවාහනිය අසලටවී තමන් දුන් ඡන්දයේ ප්‍රතිඵල දැනගන්නා ක්‍රමය ද මෙවර නොමැත. ඒ වෙනුවට සිදුවන්නේ අගෝස්තු 5 වනදා ඡන්දය දී එදින නිදහසේ කා බී නිවසට වී සිටීමයි. යුද්ධය ඇත්තේ අගෝසේතු 6 වනදාය. ඡන්දය ගණන් කරන්නේ එදිනය. ප්‍රතිඵල දෙන්නේ එදින සවස් කාලයේදීය. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා නම් ප්‍රකාශ කරනුයේ අගෝස්තු 6 වනදා සවස තේ එක බොන වෙලාවට ප්‍රතිඵල දෙන බවය. එහෙත් ගැටලුව තිබෙන්නේ ඔහු තේ බොන වේලාව හරිහැටි දන්නේ ඔහුම පමණක් වීමය.

ඡන්දය පැවැත්වීම, ගණන් කිරීම හා ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ ක්‍රියාපිළිවෙත මෙසේ පවතිද්දී අපේක්‍ෂකයින්ද තමන් දන්නා සියලු ශිල්ප දක්වමින් පොරපිටියේ සිටින ආකාරයක් දැකගත හැකිය. ඒ තමන්ගේ ගොඩට මනාපය වැඩිකර ගැනීම සඳහාය. මැතිවරණ දිස්ත්‍රික්ක 22 ම පිළිබඳ විශ්ලේෂණය කිරීම අපහසු වුවද දිවයිනේ වැඩිම ඡන්ද දායකයින් සිටින ගම්පහ තත්ත්වය විමර්ශනය කිරීමෙන් ජාතික ප්‍රතිඵලය ගැන ද තීරණයකට එළඹිය හැකිය.

ගම්පහ යනු වැඩිම ඡන්ද දායකයින් පිරිසක් සිටින දිස්ත්‍රික්කය පමණක්ම නොව ආණ්ඩු පිහිටුවීම හා බිඳදැමීම පිළිබඳ තීරණයට ප්‍රබලවම බලපාන දිස්ත්‍රික්කය ද වේ. ඉතිහාසය පිරික්සීමෙන් ඒ බව පැහැදිලිය.

ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 13 කි. එක් පක්‍ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් අපේක්‍ෂකයෝ 21 දෙනෙක් ඉදිරිපත්ව සිටිති. එහෙත් පාර්ලිමේන්තුවට යාමට වරම් හිමිවනුයේ 18 දෙනෙකුට පමණි. මේ 18 දෙනා කවුරුන්වේද යන්න දැනගත හැකි වන්නේ අගෝස්තු 6 වනදාට හෝ 7 වනදාටය. එහෙත් ජනතාවට එතරම් කාලයක් බලා සිටිය නොහැකි බව ඇතැමුන් කරන ප්‍රකාශවලින්ම තහවුරු වෙයි. මේ නිසාම මැතිවරණ ව්‍යාපාරයේ අවසන් සතිය වනවිට අපේක්‍ෂකයින් සිටින ස්ථානය ගැන Lanka ABC News සොයා බැලීමක් සිදුකළේය. එහි ප්‍රතිඵල මතු දැක්වේ.

ගම්පහ දිස්ත්‍රික්කය මෙවර ජයග්‍රහණය කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව බව කාහටත් රහසක් නොවේ. ඒ බව සනාථ කිරීමට සාධක ඕනෑතරම් පවතී. මේ ජයග්‍රහණය ගැන පොඩි දරුවෙකු පවා දන්නා බැවින් ඒ සම්බන්ධයෙන් තර්ක කිරීම ඵලක් නැත. ගම්පහින් දෙවන ස්ථානයට පත්වන්නේ සමඟි ජනබලවේගය හෙවත් දුරකතනය බව සමීක්‍ෂණ වාර්තා මගින් තහවුරු කර ඇත. එක්සත් ජාතික පාක්‍ෂිකයින් අති බහුතරයක් මේ වනවිට නතරවී ඇත්තේ දුරකතනය අසලය. ඉතිරිවී සිටින එක්සත් ජාතික පාක්‍ෂිකයින් පිරිස ද නිහඬය. එබැවින් දුරකතනයට බහුතර එක්සත් ජාතික පාක්‍ෂිකයින් පිරිසක් දිනාගැනීමට හැකිවීම අරුමයක් නොවේ.

පක්‍ෂ අනුව සැළකීමේ දී අලුයට ගිනිසේ ගම්පහ ප්‍රබලම සටන පවතින්නේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මාලිමාව හා අපේ ජනබල පක්‍ෂය හෙවත් කොඩිය අතරය. ජනතා විමුක්ති පෙරමුණේ ශීීඝ්‍ර පල්ලම් බැසීම හා ඔවුන්ට අලුතින් ඡන්ද එකතුනොවීම යන සාධක මෙවර ඔවුන්ගේ ගම්පහ සටනට ප්‍රබල ලෙසම බලපා ඇත. පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ අපේ ජනබල පක්‍ෂය මෙවර ගම්පහ දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගය හෙවත් ජනතා විමුක්ති පෙරමුණට ප්‍රබලම සටනක් දෙන පිරිසයි. මෙවන් වටපිටාවක් තුළ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ධුරය මෙවර අපේ ජනබල පක්‍ෂය ඩැහැගන්නා තත්ත්වයකුයි පවතින්නේ. ගම්පහ ඡන්ද සටනේ අවසන් අදියර එසේ පවතිද්දී මනාප සටන ද ඉතාම තියුණුවී තිබෙි. අප මීට පෙර කළ විශේෂාංග තුළින් සිදුකර ඇති විග්‍රහයන් බොහොමයක් මේ වනවිට සත්‍ය බව ඔප්පු වෙමින් පවති.. එහෙත් ඇතැම් ඒවායෙහි වෙනස්කම් ද සිදුවෙමිනුයි තිබෙන්නේ.

පොහොට්ටුවේ මනාප සටනේ තවමත් පෙරමුණේ සිටින්නේ කණ්ඩායම් නායක ප්‍රසන්න රණතුංගය. ඔහු පසුකරගෙන යාමට කණ්ඩායමේ වෙනත් කිසිවෙකුටත් නොහැකිවනු ඇති. ඊට හේතුව වන්නේ ඔහු ගියවර මනාප 384,000 ක් ලබාගත් අයෙකි. අනෙක ඔහුගේ කණ්ඩායමේ 21 දෙනාගෙන් තුන්දෙනෙකු හැර ඉතිරි 18 දෙනාම ප්‍රසන්න වෙනුවෙන් මනාප එකතු කිරීමය. මීළඟ ගැටලුව වන්නේ පොහොට්ටුවේ ගම්පහින් දෙවනියා කවුරුන්ද යන්නය. කිහිප දෙනෙකු ප්‍රකාශ කළේ නාලක ගොඩහේවා එතැනට පත්විය හැකි බවය. එහෙත් එම ප්‍රකාශයට තර්කානුකූල පදනමක් හෝ ප්‍රායෝගික පදනමක් නොමැත. නාලකට පාවෙන ඡන්දවලින් සැලකිය යුතු මනාප සංඛ්‍යාවක් ලැබෙනු ඇති. එහෙත් ඔහුට ගම්පහ ආසන 13 න් කිසිදු ආසනයක ස්ථීර ඡන්ද ප්‍රමාණයක් නොමැත. එය විශාල අවාසියකි
.
සියනෑව හෙවත් ගම්පහ මනාප සටන අනුව පොහොට්ටුවේ දෙවැනි තැනට තරගය පවතින්නේ නිමල් ලාන්සා හා ප්‍රසන්න රණවීර අතරය. රණවීර ගියවර ගම්පහින් දෙවනියාය. මෙවර ද ඔහු දිස්ත්‍රික්කයා පුරා ඇවිද මනාප එකතු කළේය. ඔහුට අභියෝගයක් වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ අඩුම ඡන්ද දායකයින් පිරිසක් සිටින කැලණිය ආසනයේ සංවිධායකවරයා වීමය. නිමල් ලාන්සාට මෙවර වාසි රැසක් ලැබී තිබේ. ඔහුගේ නිජ භූමිය මීගමුවයි. දැන් ඔහු වත්තල සංවිධායකවරයාය. ඒ අනුව මීගමුව, කටාන, ජා-ඇල, වත්තල යන බහුතරයක් කතෝලිකයන් සිටින මැතිවරණ කොට්ඨාස 4 ක වැඩි මනාප ලැබෙනුයේ නිමල් ලාන්සාටය. පාස්කු ප්‍රහාරයත් සමඟ කතෝලික ජනයාට සාධාරණය ඉල්ලා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් හඬනැගූ මහජන නියෝජිතයෙකු ලෙස ඔහුට වැඩි ජනප්‍රියත්වයක් ලැබී තිබේ. ඔහු ද සිය මැතිවරණ ජාලය දිස්ත්‍රික්කය පුරා දියත් කළේය. ඒ අනුව ඔහු මනාප ගොඩ වැඩිකරගෙන ඇත්තේ ප්‍රසන්න රණතුංගට පමණක් දෙවනි වන ආකාරයටය.

මීළඟ තරගකරුවන් පොකුර නිර්මාණය වී ඇත්තේ ඉන්දික අනුරුද්ධ, සහන් ප්‍රදීප් හා ඩුලිප් විජේසේකර අතරය. මේ පිරිස අතුරින් ඉන්දික පෙරමුණේම පසුවෙයි. ඉන්දිකගේ මැතිවරණ ප්‍රචාරණ ජාලය තුළින් ගම්පහ දිස්ත්‍රික්කයේ බහුතර ප්‍ර දේශයක් ආවරණය කළේය. සහන්ට වාසියක් වී ඇත්තේ පොහොට්ටුවට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලැබෙන මහර ආසනය ඔහු නියෝජනය කිරීමය. මේ පොකුරට එක්වූ අලුත්ම සාමාජිකයා ඩුලිප් විජේසේකරයි. අවසන් සති දෙක තුනේදී ඩුලිප් ශීඝ්‍රයෙන් සිය මනාප ගොඩ වැඩිකර ගැනීමට සමත්විය. පක්‍ෂ විපක්‍ෂ කිසිවෙකුටත් අවලාද නොකරන ගුණය හා සාමාන්‍ය දිවිපෙවතක් ගෙවීම ඩුලිප්ගේ ජනප්‍රියත්වයේ වැඩිවීමට ප්‍රබල හේතුවකි. ඇතැමුන් ප්‍රකාශ කරනුයේ ජනාධිපතිතුමාටම ගැලපෙන කෙනා යනුවෙනි. දොම්පේ හා බියගම යන මැතිවරණ කොට්ඨාස දෙකක වාසිය සමඟින් සටනට ආ ඩුලිප් මේ වනවිට පසුවන්නේ වඩා හොඳ තැනකය.

ගම්පහ සෙසු තරගකරුවන් අතරින් ඉදිරියෙන්ම සිටින්නේ සිසිර ජයකොඩි පමණි. අනෙකුත් අය සිටින්නේ එකම ගොඩකය. ඔවුන්ගේ හැකියාව, වාසනාව හෝ ශක්තිය අනුව දියවන්නාව තරණය කළ හැකි පිරිස තීරණය වනු ඇති. කෙසේ වුවද මේ සියල්ලේ අවසානයක් ලෙස පොහොට්ටුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයට මන්ත්‍රී ධුර 12 ක් දිනාගන්නා තත්ත්වයකුයි පවතින්නේ.

ගම්පහින් 2 වන ස්ථානයට පත්වන දුරකතනයේ ඡන්ද ව්‍යාපාරය ආරම්භයේ දී ඔවුන්ගේ කණ්ඩායමේ පෙරමුණේම පසුවූයේ රංජන් රාමනායකයි. එහෙත් ඔහුට අභියෝගයක් කිරීමට මේ වනවිට හර්ෂණ රාජකරුණා සමත්ව සිටී. රංජන්ගේ හා හර්ෂණගේ ප්‍රකාශ මෙන්ම හැසිරීම් රටාව ද මේ පරිවර්තනය කෙරෙහි බලපා ඇති බවයි අප කළ සමීක්‍ෂණයේ දී හෙළිවූයේ.

එමෙන්ම ජනරාල් සරත් ෆොන්සේකාද ගමිපහ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි මැතිවරණ ප්‍රචාරක කටයුතු දියත් කර තිබෙන වාතාවරණයක ඔහුට ද දුරකථනය නියෝජනය කරමින් මන්ත්‍රීධූරයක් ලැබෙන තත්ත්වයක් දක්නට ලැබෙනවා.. එමෙන්ම කතෝලික බල ප්‍රදේශය නියෝජනය කරන කාවින්ද ජයවර්ධනට ද බොහෝ දුරට අසුනක් ලැබිමට ඉඩ ඇත. හිටපු රාජ්‍ය අමාත්‍ය එඩිවඩි ගුණසේකර මහතා ද මෙවර දුරකථනයෙන් මැතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ අමතර වාසි කිහිපයක් අත දරා ගෙනය. ඒ ඔහු මිරිගම සමගි ජන බලවේග සංවිධායකධූරය සහ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ද හොබවමින්ය.මේ තත්ත්වය ඔහුට වාසි දායක වී ඇත.

මේ හේතුවෙන් අවසන් තිදෙනා අතර තරගයක් නිර්මාණය වී ඇති අතර සරත් ෆොන්සේකා; කාවින්ද ජයවර්ධන .එඩ්වඩ් ගුණසේකර යන තිදෙනාගෙන් දෙදෙනෙකු පාර්ලිමෙින්තු අසුන් සදහා හිමිකමි කියනු ඇත.

දුරකතනයෙන් සතරදෙනෙකු යනවිට අලියාගෙන් එක් අයෙකුට හා කොඩියෙන් එක් අයෙකුට මෙවර ගම්පහින් දියවන්නාවට යා හැකිය.

අලියාගේ තරගය ඇත්තේ අර්ජුණ හා රුවන් විජේවර්ධන අතරය. කොඩියෙන් ගම්පහ පෙරමුණේම පසුවන්නේ ව්‍යවසායිකාව වන සුනේත්‍රා සමරකෝන්ය. ඇයගේ සමාජ සේවාව මෙම ජයග්‍රහණයට ප්‍රබල හේතුවක් විය හැකිය. කෙසේ වුවද රතන හිමියන්ට මෙවර මන්ත්‍රී ධුරය අහිමිවන තත්ත්වයකුයි පවතින්නේ.

Lanka ABC News කළ අධ්‍යනයේ ප්‍රතිඵල මේ අකාරයෙන් වන අතර සියල්ල තීරණය වන්නේ මහජනතාව ගන්නා අවසන් තීන්දුව මතයි. එම තීන්දුව කුමක්ද යන්න කාහටත් නිවැරදිවම ප්‍රකාශ කළ නොහැකිය. කෙසේ වුවද අප මෙතෙක් ප්‍රකාශ කළ අනාවැකි, අනුමාන සත්‍යවී ඇත්තේ අපගේ අධ්‍යයන ක්‍රමවේදය නිසාම විය යුතුය. මෙවර අනාවැකියට ද කුමක්වේදැයි අගෝස්තු 6 වනදා අපි දැකබලා ගනිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *