මෙවර උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා –ගම්පහ රත්නාවලි බාලිකාවේ කළණී සමුදා රාජපක්ෂ.

මෙවර උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා –ගම්පහ රත්නාවලි බාලිකාවේ කළණී සමුදා රාජපක්ෂ.

උසස් පෙළ විභාගයෙන් ඉහළ සාමාර්ථයක් අපේක්ෂා කළ අතර දිවයිනෙන්ම ප්‍රථමයා වීම ගැන විශාල සතුටක් ඇති බවත් මෙවන් සාමාර්ථයක් හිමිවීම ගැන ගම්පහ රත්නාවලි විදු මෑණියන්ට සහ යසෝදරා විදු මෑණියන්ට තම ගෞරවය පුදකර සිටින බවත් මෙවර උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් දිවයින්ම ප්‍රථම ස්ථානයට පත් කළණී සමුදා රාජපක්ෂ සිසුවිය ප්‍රකාශ කළාය.

මෙලෙස ජීව විද්‍යා අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබෙන්නේ ගම්පහ රත්නාවලි බාලිකා වේ සිසුවියකි.

ගම්පහ යසෝදරා බාලිකා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා ඇති කළණි සිසුවිය 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 172 ක් ලබා ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයෙහි 6 වෙනි ශේණියට ඇතුලත්ව තිබේ.

මැයගේ පියා වන රවීන්ද්‍ර රාජපක්ෂ මහතා වෛද්‍ය වරයෙකු වන අතර දැනට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි කටයුතු කරනු ලබන අතර වෛද්‍යවරියක වන මව චමිපා හපුගොඩ මහත්මිය, ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සහකාර වෛද්‍ය නිලධාරිණිය ලෙස කටයුතු කරන්නීය.

ගම්පහ විජය පෙදෙසෙහි වෙසෙන කළණී සමුදා දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දියණිය වන අතර සොයුරිය වන කුලුණී රාජපක්ෂද ගම්පහ රත්නාවලි බාලිකාවේ 12 වන ශේණියෙහි ඉගෙනුම ලබන්නීය. සොහොයුරු දෙනුර රාජපක්ෂ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 8 ශේණියෙහි ඉගෙනුම ලබයි.

උසස් පෙළ විභාගයෙන් මෙලෙස ඉහළම සාමාර්ථයක් ලබා දිවයිනෙහි ප්‍රථම ස්ථානයට පත් කළණී සමුදා සිසුවිය තම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූයේ මෙලෙසිනි.

” මම උසස් පෙළ විභාගයෙන් ඉහළ සාමාර්ථයක් අපේක්ෂා කළ මුත් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය නම් බලාපොරොත්තු උනේ නැහැ. ඉතින් මේ ඉහළ ජයග්‍රහණය ගැන මට විශාල සතුටක් දැනෙනවා. මෙවන් ඉහළ සාමාර්ථයක් ලැබීමට හැකි වීම සම්බන්ධයෙන් මම අධ්‍යාපනය ලැබූ ගම්පහ රත්නාවලි බාලිකාවට වගේම , ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ගම්පහ යසෝදරා බාලිකා විදු මෑණියන්ට මගේ ගෞරවය පළමුව පුද කර සිටිනව.

ඒ වාගේම මේ ජයග්‍රහණය මට ලැබීම හැකි වීම ගැන මගේ සෙවනැල්ල වගේ මා දෙපසින් සිටිමින් මට ශක්තියක් ලබා දුන් මගේ ආදරණීය අම්මාත් ,තාත්තාත් මම මුලින්ම සිහිපත් කරන්න ඕනෙ.

ඊට පස්සේ මට මුලික අධ්‍යාපනය ලබා දුන් ගුරු මහත්ම මහත්මීන් වගේම උසස් අධ්‍යාපන හදාරන විට මම ඇතුලු මගේ සහෝදරියන්ට මග පෙන්වීමට මුලිකවු රත්නාවලි බාලිකාවේ ආදරණීය හේමා ජයවර්ධන ගුරු මෑණියෝ. මෙතුමියගේ නායකත්වය නිසා මට වගේම මගේ සහෝදරියන්ට අධ්‍යාපන කටයුතු වගේම අපිට ජීවිතය ගැන ලබා දුන් දේවල් එමටයි. මේ සියල්ලටම මේ මොහොතේ කෘතවේදීත්වය පුදකර සිටිනව.

ඒ වගේම පන්ති භාර ඕ.යූ.කීර්තිරත්න සර්. මෙතුමා ඇතුළු අංශ භාර සහ විෂයයන් භාර සියලුම මේ මොහොතේ ඉතාමත් ගෞරවයෙන් යුතුව සිහිපත් කරනව.”

විදුහලේ කනිෂ්ඨ සහ ජේෂ්ඨ ශිෂ්‍ය නායිකාව වු මැය සාන්ත ජෝන් ගිලන් සේවාවේ සාමාජිකාවක් ලෙසින්ද කටයුතු කොට ඇත.

ඔබ මෙම ජයග්‍රහණය ලබා ගැනීම සඳහා අධ්‍යාපන කටයුතු කළ ආකාරය ගැන කතා කළොත් .

” මම සෑම දිනකම උදේ හත වෙන විට පාසලට ආවා. පාසලේදී දෙන සෑම දෙයක්ම එදිනෙදා කළා. ඒ වගේම ටියුෂන් පන්තිත් ගිහින් ඒ ඒ විෂයයන්ට අදාල දැනුම ලබා ගත්තා. මම ඒ ටියුෂන් පන්ති වල ගුරු මහත්වරුන්ද මේ මොහොතේ සිහිපත් කරනව. මම ගෙදරදි සැහැල්ලු වෙන් කාලය ගත කළා. ”

ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවද….?

” මීළඟට මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබිය යුතුයි. ඊළඟ බලාපොරොත්තුව වෙන්නෙ තාත්තා, අම්මා වගේම වෛද්‍ය වරියක් වීමයි.”

ඔබට අධ්‍යාපනය ලබන නංගිලා මල්ලිලාට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද….?

” නංගිලා මල්ලිලා පාසල් අධ්‍යාපනය ලබන කාලෙදි උනන්දු වෙන් ඒ දේවල් කරන්න. පාසලේදී විෂය බාහිර කටයුතු සදහාත් යොමු වන්න. ඉලක්කයක් ඇතිව අධ්‍යාපන කටයුතු කරන්නට පුරුදු වෙන්න. එවිට ඔබගේ ජයග්‍රහණය නියතයි. ”

කළණී සිසුවියගේ ඉහළ සාමාර්ථයක් ලැබීම ගැන රත්නාවලි බාලිකා වේ විදුහල්පතිනී හේමා ජයවර්ධන මහත්මිය අදහස් දැක්වූයේ මෙලෙසිනි.

” මේ දියණියගේ දක්ෂතාවය අපි දුටුව. මේ දරුවන් ඉහළ සාමාර්ථයක් කරා ගෙන යාමට අපේ ගුරු මණ්ඩලය ලොකු කැපවීකමින් කටයුතු කළා.කළණී සමුදා දියණිය ශිෂ්‍ය නායිකාවක්. බොහොම ක්‍රියාශීලී දරුවෙක්. බොහොම ගුණ ගරුකයි. මැය දිවයිනෙන්ම ජීව විද්‍යා අංශයෙන් ප්‍රථම ස්ථානයට පත්වීම සතුටක් වගේම මේ දියණිය අපේ පාසලට විශාල ගෞරවයක් ලබා දුන්න. මේ දරුවගෙ අනාගතය සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ”

කළණී සිසුවියගේ මව වන වෛද්‍ය චමිපා හපුගොඩ මහත්මිය මෙලෙස අදහස් දැක්වූවාය.

” දුව කුඩා කළ සිටම ඉගෙනීමට දක්ෂතාවයක් පෙන්නුම් කළා. අපි මෙයාට අවශ්‍ය ශක්තිය ලබා දෙමින් මග පෙන්වීම කළා. ඉතින් දුවගෙ මහන්සියෙන් ප්‍රතිඵලය ලබා තිබෙනව. මේ ගැන මමත් මහත්තයත් සතුටට පත් වෙනව. ඒ වාගේම අධ්‍යාපනය ලැබූ පාසල් දෙකට ගෞරවයක් ලබාදීම ගැනත් සතුටු වෙනව .”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *