මිල සූත්‍රයට අනුව මාස 2 කට වරක්‌ තෙල් මිල සංශෝධන යක්‌ – ඇමැති මංගල කියයි එම මුදල් “ගම්පෙරළිය” ට

මිල සූත්‍රයට අනුව මාස 2 කට වරක්‌ තෙල් මිල සංශෝධන යක්‌ – ඇමැති මංගල කියයි
එම මුදල් “ගම්පෙරළිය” ට

තෙල් මිල සූත්‍රයට අනුව මින් පසු සෑම මාස දෙකකට වරක්‌ම ඉන්ධන මිල ගණන් සංශෝධනයක්‌ වන බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා ඊයේ (10 දා) මුදල් අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.

මේ අනුව ඉකුත් මාස දෙකේ ඉන්ධන මිලට බලපාන මිල සූත්‍රයේ සාධක වෙනස්‌වීම් අනුව අදාළ මාසයේ 05 වැනිදාට මේ මිල සංශෝධනය සිදුවන බවද ඒ අනුව දේශීය ඉන්ධන මිල ගණන් වැඩිවීම සහ අඩුවීම යන දෙකම සිදුවනු ඇති බවද ඇමැතිවරයා කීවේය.

මේ ඉන්ධන මිල ගණන් සංශෝධනය නිසා මහා භාණ්‌ඩාගාරයට රු. කෝටි 5500 ක ඉතුරුවක්‌ සිදුවන බවද එම මුදල් “ගම්පෙරළිය” නම් සීඝ්‍ර ග්‍රාමීය සංවර්ධන වැඩසටහනට යොදවන බවද මුදල් ඇමතිවරයා කීවේය.

මේ යටතේ සෑම ගමකම හරිත උද්‍යානයක්‌ ඇති කරන බව කී මුදල් ඇමතිවරයා ඉන්ධන මිල ගණන් වැඩි කළත් ධීවරයන්ට සහ අඩු ආදායම්ලාභීන්ට භූමිතෙල් සහන මිලට ලබාදෙන බවද කීවේය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පෙට්‍රල් ලීටරයකට ඇති රජයේ බද්ද කොපමණ දැයි “දිවයින” ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ඇමැති මංගල සමරවීර මහතා කීවේ පෙට්‍රල් ලීටරයක්‌ මත රු. 58.88 ක බද්දක්‌ රජය අය කරන බවයි.

වෙනත් රටවලට සාපේක්‌ෂව මේ බදු මුදල් ශ්‍රී ලංකාව අය කරන්නේ අඩුවෙන් බව මුදල් රාජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා මෙහිදී කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *