මැරුණු සීයා මුනුපුරාව ඇඳෙන් බිමට ඇද දාලා

හොල්මන් යකුන් සොයන ඔබ වෙනුවෙන්

යකුන්ට,ප්‍රේතයන්ට, භූතයින්ට, අමනුස්සයින්ට නොයෙකුත් අද්භූත දේ කළ හැකි බව අප සමාජයේ ඕනෑ තරම් අසන්නට ලැබේ. ගෙවල්වලට ගල් ගැසීමට, බඩු මුට්ටු එහා මෙහා කරවීමට, ගෙවල්වල තැනින් තැන ගිනි තැබීමට, උයන පිහන දේවලට වැලි, අසූචි වැනි දේ දැමීමට, මිනිසුන් ලෙඩ කරවීමට, නිදන ඇඳෙන් බිමට ඇද දැමීමට, නිදන කාමරයෙන් එළියට ඇද දැමීමට ආදී බොහෝ දේ ඉහත අමනුස්සයින්ට කළ හැකි බව මිනිසුන්ගේ මතයයි.

ඇත්තටම මෙවැනි දේ අමනුස්සයින්ට කළ හැකිද?

සුදුම සුදු කේෂ කලාපය හිසේ සිට දෙපතුල දක්වා දිගුවට වැවී ඇත. හඳ පළුවක් වැනි නළල කළු පාටට දිස්වේ. දිගු නාසය අඟල් කිහිපයක් මහතින්ද පළලින්ද වැඩිය. ඇස් ගොබළු ගෙඩි දෙකක් මෙන් ය. මේ සුදුම සුදු යකා තවත් පරිවාර සුදු යක්ෂයන් රැහැනක් එක්ව වැසුණු මිනී පෙට්ටියේ ලෑලි විවර කරමින් ඒ මේ අත බලන්නට විය.

සුදු ම සුදු මහ යකාගේ කන එළුවකුගේ මෙන් දිගුය. මුහුණ පුරා සුදුම සුදු වූ රැවුල අතරින් කිරිම කිරි පාට දත් ඉදිරියට නෙරා විත් ඇත. කට දෙපැත්තේ ඇති නෙරා ගිය දත් කිහිපයකි. කළගෙඩියක් බඳු උදරය පිටට නෙරාගොස් ඇත. එක් අතකින් ලාම්පුවක් ගෙන අනෙක් අතින් දඟර ගැසුණු හැරමිටියක් ද අත ඇතිව ඒ මේ අත වැනෙමින් සේත වස්ත්‍රයෙන් සුසැදි සුදු යක්ෂයා සොහොන් බිමේ සිට තම ගොදුරට දෑස් දල්වාගෙන වැසුණු කාමරයේ දෙරගුළු කඩාගෙන ඒ මහා රාත‍්‍රියේ සරත්ගේ බෙල්ලට පැන ලේ උරා මස් කන්නට ක‍්‍රම ක‍්‍රමයෙන් ළං විය. පරිවාර සුදු යක්ෂ සේනාවෝ දිව දිගු කරමින් පෙළෙන් පෙළට ඒ අඳුරු කාමරයේ කෙළ සලමින් බලා සිටියෝය.

සිදුවන්නේ කුමක්ද ?

ලුණුගම්වෙහෙර ප‍්‍රදේශයේ එක්තරා ගම්මානයක ජීවත් වන පවුලක දරුවන් හතරදෙනෙකුගෙන් බාල දරුවා වූයේ සරත් ය. ඔහුට වැඩිමල් සහෝදරියන් දෙදෙනකුද සහෝදරයකු ද වූහ. ඔවුන් තම දෙමාපියන් ද සමඟ පිය උරුමයෙන් හිමි වූ නිවසක ජීවත් වූහ.

පියාගේ රැකියාව වූයේ රියැදුරු වෘත්තියයි. එම වෘත්තියෙන් උපයා ගත් මුදලින් දරුවන්ට උගන්වා සාමාන්‍ය පරිදි ඔවුන් ජීවත් විය. එතරම් විශාල ආර්ථික ශක්තියක් නොවූවද ණය නොවී ජීවත් වීමට පියා විසින් උපයන ලද මුදල් යම් තරමක් ප‍්‍රමාණවත් විය. සරත්ගේ සීයා එනම් සරත්ගේ පියාගේ පියා මියගොස් දැනට වසර එකහමාරකි. සීයාගේ සොහොනත් ආච්චිගේ සොහොනත් දෙකම තිබුණේ තම ඉඩමේමය. මොවුනට නරක කාලය උදා වූයේ මේ කාලයේදීය.

සරත්ගේ සොහොයුරියන් දෙදෙනාට වයස අවුරුදු තිස්හතත් ඉක්මවා ඇත. ඔවුනට අධ්‍යාපනයෙන් ඉහළට යාමට හරි හැටි හැකියාවක් නොතිබුණි. විවාහ යෝජනා කොපමණ ගෙනාවද කිසිවක් හරි නොයයි. වැඩිමල් සහෝදරයා ද හරි හැටි රැකියාවක් නොකළ අතර, එසේ තිබියදීත් විවාහයක් කරගෙන බිරිඳගේ නිවසේම පදිංචි වී සිටියේය. සරත් ත‍්‍රීරෝද රථයක් ගෙන එම වෘත්තියෙන් ජීවත් වේ. ගෙදර වියදමට මේ වන විට ඔහුගෙන්ද උපකාරයක් ලැබිණි. සොයුරියන් විවාහ වන තෙක් තමන් විවාහ නොවී ඉන්නවා යන මතය තුළ මොහු තදින්ම සිටියේය.

“මේ ගෙදරට කිසිම වගතුවක් නැහැ. කෙල්ලො දෙන්නා ගෙදරට නාකි වෙනවා. හම්බ කරන කිසි දෙයක ඉතුරුවක් නැහැ. ගෙදර කිසි දියුණුවක් නැහැ” යන වචන අම්මාගේ මුවින් නිතරම ඇසේ. මුල් කාලයේ මෙය අම්මාගේ අදහස පමණක් වූ අතර,පසුකාලය වනවිට සරත්ගේ පියාට ද ටිකෙන් ටික එලෙස සිතෙන්නට විය. “අපිට මේ වෙච්ච දේ ගැන පේනයකින් හෝ දැන ගත්තනම් හොඳයි නේද” යන අදහස දිනෙක අම්මා විසින් යෝජනා කළාය. සරත්ගේ ඒ පිළිබඳව එතරම් කැමැත්තක් නොමැති වුවද නිවසේ සිටින අනෙක් සියලු දෙනාගේම අදහස වූයේ ද ”ඒක නම් හොඳයි” යනුවෙනි.

දිගින් දිගටම මේ ගැන කතා කළ ඔවුහූ අවසානයේ පේනයක් බැලීමේ තීරණයට එළැඹුණහ. ආසන්න ගමක තිබෙන ඒ සඳහා නම ගිය දේවාලයක් වෙත යාමට ඔවුහු තීරණය කළහ. ඉන්පසු ඔවුහු එහි ගොස් එම දේවාලයෙන් පේනයක් බැලූහ. ආරූඪයට පත් දේවගැතිවරයා පේනය කියන්නට විය.

“මෙම නිවසට මෑත කාලයේ මියගිය ප‍්‍රාණකාරයෙකුගේ බලපෑමක් තිබෙනවා. එම මියගිය තැනැත්තා මළ යකකු වී නිවසට බැල්ම හෙළාගෙන ඉන්නවා. කරන කියන කිසිම දෙයක් සාර්ථක වෙන්නෙ නැත්තෙ ඒකයි. කවුද ළඟදි කෙනෙක් මැරුණේ”දේවගැතිතුමා ප‍්‍රශ්න කළේය.

“ළඟදි නම් කවුරුවත් මැරුණේ නැහැ. නමුත් මෙයැයිගේ තාත්තා නම් දැන් අවුරුදු එකහමාරකට ඉහතදී මැරුණා” සරත්ගේ මව පිළිතුරු දුන්නාය. “ඒක තමයි මම කිව්වෙ. නිවසට ආසාවෙන් හිටපු කෙනෙක්” දේවගැතිවරයා පිළිතුර විය. “හරිනේ. තාත්තගේ ඉඩම තමයි අපිට දුන්නෙ. තාම තියෙන්නෙත් තාත්තාගේ නමට” දේවගැතිවරයා මතය සනාථ කරමින් මව පිළිතුරු දුන්නාය.

“දැන් මේකට මොකක්ද කරන්න ඕනෙ” නැවතත් මව දේවගැතිවරයාගෙන් ඇසීය. “පුද පූජා දී මළ යක්ෂයා එළවා දැමීම හෝ සිර කිරීම කළ යුතුයි. ඒකට අවශ්‍ය විධිවිධාන යොදා ගන්න” යයි පවසා දේවගැතිතුමා ආරූඪයෙන් මිදුණේය. හරි හැටි කියවුණේදැයි දේවගැතිතුමා මොවුන්ගෙන් ඇසීය. “ඔව් හරියටම කියවුණා” සරත්ගේ මව පැන පැන පිළිතුරු දෙන්නට වූවාය. නමුත් සරත්ගේ පියාගේ නම් එතරම් හිත හොඳ නැති ගතියක් පෙනුණි.

“අපේ තාත්තා මළ යකෙක් වෙන්නට තරම් දරුණු මනුස්සයෙක් නෙමෙයි. මට නම් මේක හිතාගන්න අමාරුයි” පියාගේ පිළිතුර විය. “කොච්චර අහිංසකව හිටිය කෙනෙකු වුණත් මැරුනට පස්සේ එවැනි ආත්මවල ඉපදෙන්නට පුළුවන්. ඒක නිසා තමන් හිත නරක් කරගන්න ඕනෙ නැහැ. දැන් ඒකා තමන්ගේ පියා නෙමෙයි” යනුවෙන් එම මතය තව තවත් තහවුරු කරන්නට දේවගැතිවරයා උත්සාහ දැරීය.

“ඒත් ඉතිං අපි මේ තාත්තට නරකක් නෙමෙයිනෙ කරන්න යන්නෙ. ඒක නිසා අපි මේක කරමු” යයි සරත්ගේ මවගේ අදහස විය. ”හරි ඉතිං ඒකත් කරමු” යනුවෙන් පැවසූ සරත්ගේ පියා “හරි කොහොමද ඒක සිද්ධ වෙන්නේ” දේවගැතිතුමාගෙන් අසා සාකච්ඡා කොට ඒ සඳහා දිනයක් යොදා ගැනිණි. එම දිනය උදාවිය.

දේවගැතිතුමාත් තවත් කිහිප දෙනෙකුත් මොවුන්ගේ නිවසට පැමිණ නොයෙකුත් පුද පූජා පවත්වා නිවසේ හතර කොන සහ ඉඩමේ හතර කොනෙහි ආරක්ෂක වැලි දැමූ මුට්ටි කිහිපයක් වළ දමා මළ යකා එළවා දැමීය. ඉන්පසු “අදින් පස්සේ මේ ආරක්ෂාව තියෙනකං වත්ත හතර මායිමකවත් ඒකාට එන්න බැහැ” යනුවෙන් වගකීමක් දී පොරොන්දු වූ බඩු මුට්ටු ඇතුළු වියදම වූ රුපියල් හැටදහසක්ද රැගෙන දේවගැතිවරයා ප‍්‍රමුඛ පිරිස පිටත් වූහ.

දැන් හරි හොඳ කාලයක් පැමිණේවි යැයි සිතූ නිවැසියන් ප‍්‍රබෝධමත් සිතින් යුක්තව ජීවිතය ආරම්භ කෙරිණි. මාස කීපයක් ගත විය. නමුත් පෙනෙන වෙනසක් නිවැසියන් තුළ නොවීය. “ආයිත් සැරයක් යක්ෂ බලපෑම ඇවිල්ලාද දන්නෙ නැහැ” යන හැඟීම මවගේ සිත තුළ වද දෙන්නට විය. ”ඔය විකාරවලට තවත් නම් සල්ලි වියදම් කරන්නෙ නැහැ. අන්තිමට වියදම් කරල අපිට උනේ හිටි තැනටත් වඩා පහළට වැටෙන්න” යැයි පියාගේ අදහස විය.

මේ අතර එක් දිනෙක රාත‍්‍රියේ විශාල කෑ ගැසීමක් එක්වරම ඇසුණි. කලබලයෙන් අවදි වී බලන විට සරත් කෙඳිරි ගසන හඬක් ඇසිණි. ඉක්මනින්ම එම කාමරයට දිවගිය මවත් පියාත් “මොකද පුතේ” කියමින් සරත්ව අවදි කළහ. නින්දෙන් අවදි වූ සරත් ඇස් ලොකු කරගෙන විශාල බියකින් මොවුන් දෙස බලා සිටියේය. “මොකද පුතේ මොකද වුණේ. මොකද කෑ ගැහුවේ. හීනයක්වත් දැක්කද? සරත්ගේ පියා ඇසීය.

“සීයා සීයා” කියමින් සරත් කාමරයේ වටපිට බලයි. “මොන සීයා කෙනෙක්ද. මේකේ කවුරුවත් නැහැනේ” පියා ද වටපිට බලමින් පිළිතුරු දුන්නේය. “මේකේ සීයා හිටියනේ.

මූණ යකෙක් වගේ වෙලා. නිතරම ඇඳන් හිටපු සුදුයි, දුඹුරුයි කොටු කොටු සරම ඇඳලා මගේ දිහා බලාගෙන හිටියා. ඊට පස්සේ මගේ කකුල් දෙක ඇඳට තියල තද කරා. මට කකුල් දෙක හොල්ලන්නවත් බැරි වෙන්න තද කරගෙන හිටියා. එතකොටයි මම කෑ ගැහුවේ. හරියට කෑ ගැහුවට ශබ්දය පිටවෙන්නෙ නැහැ. එතකොට කකුල් දෙක අතහැරලා මගේ බෙල්ල මිරිකගෙන ඇඳට තද කරගෙන හිටියා. මේවා මගේ දේවල්. තොපිට මේවයෙ අයිතියක් නැහැ කියලා කියාගෙන කියාගෙන ගියා. ඊට පස්සෙ මට මුකුත් මතක නැහැ”

සරත් සිදුවූ සියල්ල මෙලෙස විස්තර කරගෙන කරගෙන ගියේය. ”එන්නකො සාලයට යන්න” යනුවෙන් පවසා පියා විසින් සරත්ව සාලය වෙත කැඳවාගෙන ගියේය. ඉහත සිද්ධිය අසා සිටි සොයුරියන් දෙදෙනාත් මවත් බයෙන් භිරාන්ත වී ගල් ගැසුණාක් මෙන් සිටියෝය. සියලු දෙනාම සාලයට වී රැය පහන් වනතුරුම සිටියහ. එළිය වැටෙනවාත් සමඟම සරත්ගේ පියා ගොස් ගමේ සිටින ඇදුරෙකු ගෙන්වා තෙල් සාත්තුවක් කළේය. ඉන්පසු සරත්ගේ මුහුණේ තිබූ බියගුලු ගතිය ඉවත් වී ඔහුගේ සිතින්ද බිය ටිකෙන් ටික පහව ගියේය. එදා සිට සොයුරින් දෙදෙනාත් මවත් පසුවූයේ ද බියෙනි.

මෙලෙස ගතවූයේ දින කීපයකි. එක් දිනෙක රාත‍්‍රියේ සරත් විසින් නැවතත් පෙර පරිදිම කෑ ගසන්නට විය. පියාත් මවත් කාමරය වෙත දුව ආ විට දක්නට ලැබුණේ ඇඳ ළඟ බිම හාන්සි වී ඇස්දෙක වසාගෙන කෙඳිරිගාන සරත්වය.

“මොකද මේ” කියමින් පියා විසින් සරත්ගේ මුහුණ අල්වා සෙලවූ විට ඔහු එක්වරම තිගැස්සී ඇස් ඇර වටපිට බැලීය. එවිට වටපිට බලමින් “සීයා කෝ” කියමින් බියෙන් ගැහෙමින් ඇසීය. “ඇයි අදත් සීයට බය වුණාද” පියා සරත්ගෙන් ඇසීය.

“සීයා ඇවිත් ඇඳෙන් බිමට මාව ඇද දැම්මා. එහෙම ඇදලා දාලා මගේ කකුල් දෙක පාගගෙන හිටියා පොළවට තියලා. මම නැගිටින්න හැදුවට පුළුවන් වුණේ නැහැ” මෙලෙස සිදුවූ සිද්ධිය සරත් විසින් විස්තර කෙරිණි.

එදිනට සියලු දෙනා බයවීම නිසා සාලයට වී කාලය ගෙවූ අතර, පසුදින උදයේම ඇදුරුතුමා කැඳවා එදිනද තෙල් සාත්තුවක් කිරීමෙන් පසු බිය තුරන් විය. මේ වතාවේද එම තත්ත්වය එලෙස දුරුවී ගියේය. නමුත් වරින් වර ඇතැම් දිනවලදී මෙම තත්ත්වය යළි යළිත් මතුවී සරත්ව ඇදෙන් බිමට ඇද දමන තත්ත්වය ඇතිවිය.

“දැන් නම් මේක බලා හිටින්න හොඳ තත්ත්වයක් නෙමෙයි” සරත්ගේ පියාට තම මියගිය පියා ගැන වෛරයක් ඇතිවන්නට විය. සරත්ව වරින් වර ඇදෙන් බිමට ඇද දැමීමත් ඇඳට තබා තද කර සිටීමත් සරත්ගේ බෙල්ල මිරිකීමත් සීයා රාත‍්‍රියේ පැමිණ තවමත් සිදුකරයි. කෙසේ හෝ විසඳුම් සෙවූ මොවුහු තවත් පේන කියන්නෙකු සොයා ගොස් පේනයක් බැලූහ. බුලත් තබා වේලාව වෙන් කරගෙන මොවුන්ගේ වාරය පැමිණෙන තෙක් බලා සිටියහ. ඔවුන්ගේ වාරය පැමිනුණි.

පේන කියන දේවගැති මෑණියෝ “පඬුරු තබා වැඳ ගන්න”යැයි යෝජනා කළාය. “මොකක්ද දැන ගන්න ඕන කාරණය”මෑණියෝ ඇසුවාය. “අපේ ගෙදර ප‍්‍රශ්නයක් තිබෙනවා” යනුවෙන් කියමින් සිදුවූ සියල්ල පේනයෙන් කියන්නට පෙර සරත්ගේ දෙමාපියන් විසින්ම ප‍්‍රකාශ කෙරිණි. ඒ අසා සිටි මෑණියෝ “මගෙන් මොකක්ද කෙරෙන්න ඕනේ” යනුවෙන් ඔවුන්ගෙන් ඇසුවාය. ”අපිට කොහොම හරි මේක ඉවත් කරගන්න ඕනේ” සරත්ගේ පියා කීය. “එහෙමනම් ඔයගොල්ලෝ දිනයක් දාගන්න” යැයි පවසමින් මෑණියෝ ඔවුන් සමග ඒ සඳහා දිනයක් යෝජනා කර ගත්තාය. එම දිනය උදාවිය. පේන කියන මෑණියන් අංජනම් බලන්නෙකු තවත් කීපදෙනෙක් සරත්ගේ නිවසට ආහ. ඉන්පසු අංජනම්කරු අංජනම පසෙක තබා ඒ ඉදිරියේ පහනක් දල්වා ඒ දෙස බලා සිටියේය.

දේවගැති මෑණියෝ පුද පූජා පවත්වා පාට තුනකින් නූල් ගෙන තනි නූලක් සකසා එයින් ගැටයක් දමා ගැටය තද නොකර බුරුල්ව තබා තව තවත් මොනවදෝ කියමින් මතුරයි. ඉන්පසු අංජනම්කරු “දැන් පැමිණියා. ගැටේ තද කරන්න” කිවූ සැණින් දේවගැති මෑණියෝ නූලේ ගැටේ තද කළාය. ”දැන් මළ යකා මේ නූලෙන් ගැටගහලා ඉවරයි” එම නූල බෝතලයක දමා මූඩියකින් වැසිණි. ඉන්පසු එය ගැඹුරු මුහුදට දැමිය යුතු බවත් එයද තමාම කරන්නම් යැයි පවසා පොරොන්දු මුදල්ද රැගෙන දේවගැති මෑණියෝ, අංජනම්කරු සමඟ පිටත් වූයේ අමනුස්සයා සම්පූර්ණයෙන්ම ඉවත් කළ ලෙසිනි.

කරුම කාලය ඉවත් වූවා සේ සරත්ගේ නිවැසියන්ට සිතිණි. අද සිට හෝ අලුත් ජීවිතයක් ගත කරන්න පුළුවන් යැයි සිතූ මොවුහු සැහැල්ලු වැඩ පටන් ගත්හ. නමුත් මෙලෙස ද ගත වූයේ මාස කීපයකි.

මළ යකා ගෙන ගොස් මුහුදේ දැම්මද නැවත මාස කීපයකින් සරත්ගේ කාමරයට මළ යකා පැමිණියේය.

“උඹලා හිතුවද මම හිරකළා කියලා නවත්තන්න පුළුවන් වෙයි කියල. මේවා මගේ දේවල්” කියමින් මළ යකා සරත්ට වද දෙන්නට විය. ගෙදර ප‍්‍රශ්නද එසේමය.

“දැන් මොකක්ද කරන්නෙ. මේක පුදුම කරුමයක් වුණා නේ” කියමින් මොවුහු මේ සඳහා විසඳුම් සොයන්නට වූහ. ඒ අතර,ගමේ සිටින ග‍්‍රාම සේවක මහතා මාර්ගයෙන් මෙම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ශ‍්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත යොමු කෙරිණි.

සිදුවීම සම්පූර්ණයෙන් විමසා බැලූ වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා විසින් මෙම ගැටලුව විසඳීමේ වගකීම භාරගත්තේය. සිද්ධිය පිළිබඳව සියලු දෙනා​ෙගන් වෙන් වෙන්ව විස්තර අසා දැනගත් වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා මුලින්ම සරත්ව මෝහන නිද්‍රාවට පත් කර තමා ඉදිරියේ මළ යකා පෙනී සිටින ලෙස විධාන දුන්නේය.

“දැන් ඔබ ඉදිරියේ සීයාගේ ඊළඟ ඉපදීම නැතහොත් මළ යකා පෙනී සිටිනවා. ඔබ හොඳින් බලන්න ඔහුගේ මුහුණ මොන වගේද. ඔහු සීයාමද. ඔහු ඇඳන් ඉන්නේ මොනවද. ඔහුගේ අත්වල තිබෙන්නේ මොනවද. ඔබ හොඳින් බලන්න” යනුවෙන් වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා අණ දුන්නේය. ඉන්පසු මෝහනයට පත් සරත් මළ යකාගේ තතු මෙසේ විස්තර කරන්නට විය.

“මුහුණ හරිම බියකරුයි. ඇස් දෙක රතු වෙලා. සීයාගේ මුහුණ වුණාට ඒක දැක්කම බය හිතෙනවා. තොල් දෙක ලොකු වෙලා. කොණ්ඩෙ රැලි රැලි ගැහිලා. සීයා නිතරම අඳින සරමත් ඇඳගෙන” ආදී වශයෙන් වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා අසන ප‍්‍රශ්නවලට සරත් පිළිතුරු දුන්නේය.

“දැන් ඔබේ ඉදිරියෙන් මළ යකා මා ඉවත් කරනවා” යනුවෙන් පැවසූ වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා විසින් ”දැන් මම ඔබගේ මතකය ඔබ නිදා සිටියදී සීයා පෙනෙන අවස්ථා වෙත රැගෙන යනවා. දැන් ඔබට මතක් වෙනවා සීයා ඔබේ බෙල්ල මිරිකපු හැටි. ඇඳෙන් බිමට ඇද දමන හැටි. ඔබව ඇඳට තියලා තද කරන හැටි. ඔබට දැන් හොඳින් මතක් වෙනවා. නමුත් දැන් මම ඔබගේ මනස එම තත්ත්වයෙන් ඉවතට ගෙන යනවා” යි පැවසූ වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා විසින් ”දැන් ඔබට මම කියන දේ හොඳින් ඇසෙනවා. මෙම තත්ත්වය ඇත්තටම ඔබේ සිතේ සිදුවූ මනෝභාවයක් පමණකි. මැරුණු සීයා ඔබට පෙනුණේ නැහැ. ඔබට ඒක මැවී පෙනෙනවා විතරයි. අදින් පස්සේ කිසිම දිනෙක ඔබට මෙම තත්ත්වය ඇතිවන්නේ නැහැ.

සීයා විසින් ඔබව බිමට ඇද දැමුවෙත් නැහැ. ඔබ විසින්ම දඟල දඟලා සිටින විට ඔබ නොදැනුවත්වම ඇදෙන් බිමට ගමන් කරනවා. ඒක තමයි යථාර්ථය. ඔබට මේවා හොඳින් මතකයට එනවා. අදින් පස්සේ යළිත් කිසිම දිනෙක ඔබ එවැනි දෙයක් කරන්නෙ නැහැ. ඔබේ සිත අද සිට ප‍්‍රබෝධමත් ලෙස මිථ්‍යා සිතුවිලිවලින් මිදී හැසිරෙන්නට පටන් ගන්නවා” යනුවෙන් මනසට පණිවුඩ දී සරත්ව මෝහන නිද්‍රාවෙන් අවදි කර නිවසේ අන් අයට ද සති කීපයක් මනෝ ප‍්‍රතිකාර ලබා දෙන ලදි.

අද වනවිට මොවුන් සුව වී වසර අටක පමණ කාලයක් ගත වන අතර, මළ යකා නැවත පැමිණියේ නැත. මේ වනවිට සොයුරියන් දෙදෙනාද සරත්ද විවාහ ජීවිත ගත කරති. මෙහි සිදුවූ ඇතුළාන්තය වෛද්‍ය පී. එන්. විද්‍යාකුලපති මහතා මෙසේ පැහැදිලි කර දුන්නේ මෙසේය.

“මේ ඇත්තටම මානසික ගැටලුවක් පමණයි. පේනකරුවන් විසින් කී දේ අනුව සීයා මළ යකෙකු වූ බවත් දිගින් දිගටම ගෙදරට ප‍්‍රශ්න එනවිට ගෙදර බොහෝදෙනා එය පිළිගත් බවත්, සරත් නිදාගෙන තිබුණේ සීයා ජීවත්ව සිටින කාලයේ සීයා නිදන ඇඳේ නිසා සරත්ගේ සිතටද බියක් ඇතිවී තිබුණි.

එහි ප‍්‍රතිඵලයක් ලෙස මෙම මනෝ විකාර ස්වභාවය සරත්ගේ සිත තුළ ඇතිවිය. සීයා මොහුට පෙනුණේ නැත. මෙය මනෝ විද්‍යාවේදී Hallucination තත්ත්වයක් ලෙස සලකයි. මෙය ඇත්තටම දෘෂ්ටි මායාවකි. සීයා විසින් සරත්ව ඇ​ෙඳන් බිමට ඇද දමා ද නැත. සරත් විසින්ම එම හැසිරීමේදී අවිඥානිකව ඇඳෙන් බිමට බැස දඟලයි. නමුත් මතකයට එන්නේ ඇඳෙන් ඇද දැමුවා සේය. පැහැදිලි වශයෙන්ම මේවා මනෝ විද්‍යාත්මක ප‍්‍රතිකාර තුළින් සුව කළ හැකි තත්ත්වයකි”

(මෙහිදී රෝගීන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම උදෙසා නම් ගම් පමණක් වෙනස් කර ඇත. සියලු වාර්තා පරීක්ෂණ සංගමය සතුව ඇති අතර, සත්‍ය සිදුවීමකි.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *