මහින්ද විශ්වාසභංගයට අත්සන් නොකළේ ඇයි?

මහින්ද විශ්වාසභංගයට අත්සන් නොකළේ ඇයි?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විශ්වාසභංග යෝජනාවට අත්සන් නොකිරීම පිළිබඳව ඇතැමුන් ප්‍රශ්න මතු කළත් තම කණ්ඩායමේ කිසිදු සාමාජිකයකුට එය ප්‍රශ්නයක් වී නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසයි.

බීබීසී සිංහල සේවය විසින් කරන ලද විමසීමකට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා, ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් මින්පෙර රවි කරුණානායක ඇමතිවරයාට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවටත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අත්සන් කිරීමක් හෝ ඡන්දය දීමක් සිදු නොකළ බව සිහිපත් කළේය.

“විශ්වාසභංග යෝජනාවට අත්සන් නොකළත් එතුමා ඊට පක්ෂව ඡන්දය දෙනවා. එහෙම අත්සන් කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවකුත් නැහැ.මොකද? ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ පාර්ලිමේන්තු නායකයා වන්නේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා.එතුමා ඊට අත්සන් කළා ” පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසයි.

“මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා විශ්වාසභංග යෝජනාවට අත්සන් නොකිරීම ගැන අපේ කණ්ඩායමේ කවුරුවත් ප්‍රශ්න කළේ නැහැ” බීබීසිය මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

“ඒ ගැන ප්‍රශ්න නො කළා පමණක් නොවෙයි. අපි එතුමාට කියන්නේ එවැනි යෝජනාවලට අත්සන් කරන්න එපා කියලයි”

එවැනි පිළිවෙතක් අනුගමනය කරනු ලබන්නේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීමට බවත්පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියි.

පුරුදු දේශපාලන සූදුවක්

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගය යෝජනාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ තවත් දේශපාලන සූදුවක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ විග්‍රහ කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට සහභාගී වෙමින් ඉදිරිපත් කරනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාව මගින් හිටපු ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙන්නේ “රජය පෙරළා දැමීමට නොව ඔහුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහි නඩුහබ යටපත් කර දැමීම” යයි කියා සිටියේය.

“මහින්ද රාජපක්ෂ මහත්මයා දේශපාලනයේ හැමවිටම සූදු තමයි කරන්නේ. එතුමාගේ කණ්ඩායම රවි කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙනාවා. ඒත් එතුමා ඊට අත්සන් කළේ නැහැ .ඡන්දය දුන්නෙත් නැහැ. ජවිපෙ අපි එදා ඒ යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නා.” පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම යෝජනාවට අත්සන් නොකළා පමණක් නොව එමගින් ආණ්ඩුව පෙරළා දමා අගමැති පදවිය භාර ගැනීමට සූදානම් නැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

“මොකක්ද එහෙනම් මෙතැන තියෙන අරමුණ? අරමුණ තමයි ආණ්ඩුව සොලවා දැමීම. ආණ්ඩුව බයට පත් කරලා -එමගින් රාජ්‍ය සහ පොලිස් නිලධාරීන්ට පණිවුඩයක් දෙනවා – තමන්ට එල්ල වී ඇති නඩුහබ ටික නතර කර ගැනීමට.ඒ අතරම ආණ්ඩුව තවත් පිරිහීමට පත් කරමින් තමාට වඩාත් සුදුසු මොහොතක ආණ්ඩු බලය අල්ලා ගැනීම තමයි එතුමාගේ උපක්‍රමය වී තිබෙන්නේ” ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසයි.

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති විශ්වාසභංග යෝජනා කෙටුම්පත කිසිවිටක සිය පක්ෂයට ඉදිරිපත් නොකළ බවත් ඔහු කියාසිටියේය.

“එම කෙටුම්පත ජවිපෙටත් ඉදිරිපත් කළානම් ආණ්ඩුවට එරෙහි අපේ අදහස් ද ඊට එක් කරනවා.මොකද මේ සිරිසේන – රනිල් ආණ්ඩුව 2015 ජනවාරි 08 මහජන විශ්වාසය සහමුළින්ම භංග කරපු ආණ්ඩුවක්.හැබැයි! අපේ අදහස් එක් කළා නම් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ බොහෝ දෙනකුටත් ඊට අත්සන් කරන්න බැරි වෙනවා” පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක ප්‍රකාශ කළේය.

පෞද්ගලික අභිලාශයක්
හිටපු ජනාධිපතිවරයා විශ්වාසභංග යෝජනාවට අත්සන් කරනු ලැබීම හෝ නොකිරීම එතුමාගේ පෞද්ගලික අභිලාෂය අනුව තීන්දු වන දෙයකැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කම්කරු ඇමති ජෝන් සෙනෙවිරත්න පවසයි.

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ නියෝජනය වෙන මන්ත්‍රීවරුන් පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් කීප දෙනකුත් අත්සන් කර තිබියදී මහින්ද රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයා ඊට අත්සන් නොකිරීම පිළිබඳව බීබීසිය කළ විමසීමකට පිළිතුරු දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා “විශ්වාස භංග යෝජනාවකට අත්සන් තැබීම හෝ නොතැබීම ඒ ඒ මන්ත්‍රීවරයා ස්ව අභිමතය අනුව ගනු ලබන තීන්දුවක්” ලෙස විග්‍රහ කළේය.

“කෙසේවෙතත් ,එම තීන්දුවේ සමාජයීය සහ දේශපාලන ප්‍රතිවිපාක පසු කාලයෙහි පැන නගින්න පුළුවන්” කම්කරු ඇමැති ජෝන් සෙනෙවිරත්න පෙන්වා දුන්නේය.

තමා විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගනු ලබන තීන්දුව අනුව බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පකිස්තාන් සංචාරය නිමවා ශ්‍රී ලංකාවට ලඟා වීමෙන් අනතුරුව පක්ෂය රැස්වෙමින් එම තීන්දුව ගන්නා බවත් ඇමතිවරයා සඳහන් කළේය.

යාළුකම නිසා

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විශ්වාසභංග යෝජනාවට අත්සන් නොතැබීම සමාජ සවිබල ගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඇමති රන්ජන් රාමනායක විසින් විග්‍රහ කරනු ලබන්නේ “දෙදෙනා අතර පවතින මිත්‍රත්වයේ” ප්‍රතිඵලයක් හැටියටය.

“අගමැතිතුමා සහ හිටපු ජනාධිපතිතුමා අතර දීර්ඝකාලීන ගැඹුරු මිත්‍රත්වයක් පවතිනවා. දෙදෙනා ඔවුනොවුන්ට දුෂ්කර කාල වකවානුවල උදව් කරගෙන තියෙනවා. මෙවර විශ්වාසභංග යෝජනාවට අත්සන් නොතැබීමත් එහි තවත් අවස්ථාවක් ” නියෝජ්‍ය ඇමතිවරයා පවසයි.

“ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන තේරෙන හැම කෙනෙක්ම දන්නවා – මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ කියන්නේ හොඳ හිතවතුන් දෙදෙනෙක් බව. එය කාලයක පටන් එන මිතුරු දහමක්. අපේ නායකයා හැටියට අපි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට ආදරය කරනවාට වැඩියෙන් මහින්ද රාජපක්ෂ මහත්මයා රනිල් වික්‍රමසිංහ මහත්මයාට ආදරය කරනවා”නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක සඳහන් කළේය.

“එක්සත් ජාතික පක්ෂයේ නායකයා වශයෙන් අගමැතිතුමා දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දුන්නාම එතුමා බේරා ගැනීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා පියවර අරගෙන තියෙනවා” ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

බිබිසි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *