මම දේශපාලනයට ආවේ කඩේ යාමට නොවේ–නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක

ඇමති කම හෝ මන්ත්‍රීකම අහිමි වුණත් මා ජනතාව සමගයි

රජ පවුලකට සේවය කිරීමකටවත්, තවත් ප්‍රභූන්ට ගැතිකම් කිරීමටවත්, දේශපාලනය මුවාවෙන් සිදුකෙරෙන හොර, මැර, වංචා වලට ආවැඩීමටවත්, වෙනකාටවත් කඩේ යාමටවත් නොවේ. මුළු හදවතින්ම මගේ උපරිම කැපවීමෙන් ජනතාවට සේවයක් කිරීමටයි. එතැනදී ආසන සංවිධායක කම කෙසේ වෙතත් නියෝජ්‍ය ඇමති කම හෝ පාරිලිමේන්තු මන්ත්‍රීකම අහිමි වුණත් ‘රන්ජන් රාමනායක කම’ මා සතුව තියෙන තුරු ඒ ශක්තිය, ධෛර්ය මට තියෙනවා.
රන්ජන් රාමනායකට ‘කුටු කුටු’ ගාමින් එජාපය විවේචනය කරන්න ඕනෑ නැහැ. ආණ්ඩුවේ හිටියත්, විපක්ෂයේ හිටියත්, හොරා හොරා මයි කියා මා පසුගිය කාලයේ මාධ්‍ය මඟින් මහ හඬ දී කියා තිබෙනවා. බැඳුම්කර සිද්ධිය ප්‍රසිද්ධියේම විවේචනය කොට තිබෙනවා.
පවුල් බලයත් ,ධන බලයත්, මැරබලයත්  ආදී කිසිවක් නැතිව රන්ජන් රාමනායක චරිතය අද මේ තත්ත්වයට ඇවිත් තිබෙන්නෙත් ඔය කියන දාහකුත් එකක් කැපිලි කෙටිලි මැදයි. ඒ නිසා ඇතැම් අය කියන හෝඩුවාවල් පසුපස ලුහුබඳින්න මං සූදානම් නෑ. අනික පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා වංචාවෙන් දූෂණයෙන් තොර දූර්දර්ශී නායකයෙක් එනිසා එතුමාගෙන් මට අගතියක් සිදුවෙතැයි මා සිතන්නේ නැහැ.
මම ජනතාව අතරට පැමිණියේ කලා කාරයෙක් හැටියටයි. ඊට අමතරව දැන් දේශපාලන භූමිකාවකත් නියැලී සිටිනවා. ඒ අනුව මගේ දේශපාලන හාම්පුතුන් සහ මුර දේවතාවුන් මහජනතාව යැයි කියන ස්ථාවරය මං කවදාවත් වෙනස් කරන්නේ නැහැ. මහජනතාවගේ සකලවිධ මනාපයන් නොලැබුණා නම් අද ඔබ මේ කතා කරන අන්දමේ රන්ජන් රාමනායක කෙනෙක් නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *