බැලූ බැල්මටම පෙනෙන්නෙ “වලියටම බරයි” වගේ වුණාට,- ඔහු හදවතින් හරිම සංවේදි මනුස්සයෙක්

බැලූ බැල්මටම පෙනෙන්නෙ “වලියටම බරයි” වගේ වුණාට,- ඔහු හදවතින් හරිම සංවේදි මනුස්සයෙක්.

කැළණිය කියන්නෙ දේශපාලනික කැළඹිලි ඇතිවෙන ආසනයක් කියලා කවුරුත් දන්නවා. ඒ වගේම කැළණියෙන් දේශපාලනය ආරම්භ කළ දැවැන්තයෝත් කීපදෙනෙක්ගෙම නම් ඉතිහාසයට එක්වෙනවා. ආ… තවත් එකක්. හැමදාම කැළණියට දේශපාලකයො ආවේ පිටස්තරින්. ඒ ගැනත් කැළණියෙ ජනතාවගෙ එතරම්ම සතුටක් නැති වුණත්, ඔවුන්ට ඡන්දය නොදී ඉන්න තරම් ආත්මාර්ථකාමී වෙන්නෙත් නෑ.

තමන් විසින්ම ගස් බැද ගන්නා රාජ්‍ය සේවකයාගෙ කතාව ඉතිහාසගත වෙන්නෙත් මේ කැළණි පුරවරයෙන්ම තමයි.

කැලණියේ වත්මන් දේශපාලන ගැන කතා කරන කොට අපට නිතැතින්ම සිහිපත් වන නමක් තමයි කැළණියෙම ඉපදුණු ප්‍රසන්න රණවීර. ඇත්තටම ඔහුට කැළණිය ගැන ශුද්ධ වූ අයිතියකුත් තියෙනවා තමයි පිටස්තරයින්ට වඩා. ඉතින් මේ ප්‍රසන්න හරිම පෙරළිකාර චරිතයක්. මොහොතක් එක විදියට ඉන්න බැරි ක්‍රියාශීලී චරිතයක්. බැලූ බැල්මටම පෙනෙන්නෙ “වලියටම බරයි” වගේ වුණාට, ඔහු හදවතින් හරිම සංවේදි මනුස්සයෙක්. අනෙකාගේ දුකේදී උණුවෙන හිතක් තමයි තියෙන්නෙ. බැණලා, රණ්ඩු කරලා හරි තමන්ගෙ ජනතාව වෙනුවෙන් තමන්ගෙ යුතුකම් කොටස ඉටු කරන්න උත්සාහ කරන්නෙක්. කොටින්ම හොද මනුස්සයෙක්. එච්චරයි.

තම ආසනයේ මන්ත්‍රීවරයා වූ මර්වින් සිල්වා සමග පැටලෙන ඔහු මේ පැටලිල්ල නිමා කර ගත්තේ මර්වින්ට කැළණිය අහිමි කිරීමෙන් සහ තමන් පාර්ලිමේන්තුවටත් යාමෙන් පසුවයි.

ඇත්තට ම ඔහු ජනතා සේවකයෙක්. කවුරු මොන අපහාස කළත් තමන්ගේ ජනතාවට දුකක් කරදරයක් වෙද්දි හැම වෙලාවකම ඔහු දෙපාරක් නොසිතා පිහිටට එනවා. තමන් ළඟට එන ඕනෑම කෙනෙකුගේ අවශ්‍යතාවය ඉටු කරන්නට තමයි ඔහු බලාගෙන ඉන්නේ. මන්ත්‍රී වරප්‍රසාද වලින් සැප විදිමින් අලසව ඉන්නවාට වඩා, නිතරම තමන්ගෙ ජනතාවගේ අවශ්‍යතාවන් ඉටු කිරීමේ උවමනාවෙන් පෙළෙන බව ඔහු ළඟම සිටින බොහෝ දෙනෙක් දන්නවා.

මේ අපූරු චරිතය බොහෝ දේවල් කතා කරන්න ට තිබෙනවා. ඉතින් කැලණියෙ පුංචි මිනිස්සුන්ගෙ ආදරණීයා වු ප්‍රසන්න රණවීරත් එක්ක අපි ටිකක් කතාබහ කරමු.

කැලණි සභාපති විදිහට ඔබ මොනවාද කලේ ?


මම දෙවතාවක් සභාපති වුණා. මගේ බල පුදේශයේ භෞතික සහ මානව ක්ෂේත්‍ර දෙකම සංවර්ධනය කළා. මගේ තේමා පාඨය වුණේ ” ප්‍රසන්න පුරවරයක් – නැණවත් පරපුරක්” කියන එක. ඒ යටතේ මම ඇලවේලි ටික සුද්ද පවිත්‍ර කලා. හුණුපිටිය කිරිබත්ගොඩ වැනි උප නගරවල භෞතික සම්පත් සංවර්ධනය කළා. සිසු දරුවන් සඳහා නොමිලේ වාර්ෂිකව පාසැල් උපකරණ ලබා දුන්නා. මානව සම්පත් සංවර්ධනය කළා. පහේ ශිෂ්‍යත්වය සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් සඳහා අධ්‍යාපන වැඩමුළු පැවැත්වූවා.

ඔහොම කිව්වට චෝදනාවක් තිබෙනවා ගංවතුර ටිකවත් හරියට පාලනය කරන්න බැරි වුණා කියලා.?


එහෙම ප්‍රශ්නයක් තියනවා. ඔලියමුල්ල සහ පහේ කනුව ජල පොම්පාගාර ඉදි කරන්න වෙනවා. කැලණිය තමයි ගම්පහ දිස්ත්‍රික්කයේ පහත්ම ප්‍රදේශය. බියගම සහ මහර ප්‍රදේශවල සියළු වතුර බහින්නෙ කැලණියට. කැලණි මෝය කට ඉස්සෙනකොට කැලණි ගඟ ඒ වතුර ගන්නේ නෑ. ඒ නිසා පහත් බිම් සියල්ල යට වෙනවා.

ඒකනෙ, ගං වතුර පාලනය කරන්න බැරි උන සභාපතිවරයෙක් කියන්නේ. ?

භූමිය ඉස්සීමේ සහ ස්වභාව ස්වභාවධර්මයට එරෙහිව යාමට කිසිදු සභාපතිවරයෙකුට පුළුවන් වන්නේ නෑ. නමුත් මධ්‍යම රජය සමග එකතු වෙලා අපි විධිමත් සැලැස්මක් දියත් කරනවා. පසුගිය වසර හතර හමාර තුල ඒවා කෙරුණේ නෑ නේ. අපි අනිවාර්යෙන්ම ඉදිරියේදී මේ ගංවතුර ප්‍රශ්නය විසඳනවා.

අපි දන්න විදිහට හිටපු කාලේ කළේ ආසන සංවිධායකවරයා සමග ඇර ගන්න විතරයි.?


ජනතාව දන්නවා එතුමා සමඟ ප්‍රශ්න ඇති වුණේ මොකක් නිසාද කියලා. ඒ කැලණියෙ ජනතාවත්, අනාගත පරපුර වන දරුවනුත් වෙනුවෙනුයි එහෙම ඇර ගත්තෙ. ඒ ඇර ගන්න අතරේත් අපි ජනතාවට වැඩ කළා. නැත්නම් ජනතාව මේ විදියට මාව පාර්ලිමේන්තු එවන්නේ නෑනේ.

කසළ ප්‍රශ්නයට මොකද උනේ?

මම තමයි මුලින්ම කසල ප්‍රශ්නයට විසඳුමක් ලෙස කොම්පෝස්ට් පොහොර අංගනය පටන් ගත්තෙ. අදටත් කැළණි කාබනික කොම්පෝස්ට් පෝර නිපදවෙනවා. ඒක තවත් වැඩි දියුණු කරනවා. ඒ වගේම කසළවලින් විදුලිය නිපදවන්නට අපි සමාගම් කීපයක් සමග මේ වන විටත් සාකච්ඡා කරලා තිබෙනවා.

කැළණිය ආසනය කියන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ අඩුම ජනගහනයක් ඉන්න ආසනය. කොහොමද කැලණිය දිනන්නේ?


භූමි ප්‍රමාණය අඩු වුණාට ජන ඝනත්වය වැඩියි. සාපේක්ෂව ඡන්ද ප්‍රමාණය නම් අඩුයි තමයි. ඒ සියලුම දෙනා එකම පක්ෂයකට ඡන්දය දුන්නත් පාර්ලිමේන්තුවට යන්න වෙන්නෙ නෑ කාටවත්. ඒ නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ අනෙකුත් ආසන වලින් සහාය ලබා ගන්නම වෙනවා.

ඒ සහයෝගය ලැබෙයි ද?


අනිවාර්යෙන්ම ලැබෙනවා. ඒක නිසා නේ පහුගිය මැතිවරණයෙන් මම ගම්පහෙන් දෙවෙනි තැනට ආවේ ප්‍රාදේශීය සභාපතිවරයෙක් විදිහට ඉල්ලලත්. අනිවාර්යෙන්ම මේ මැතිවරණයෙදිත් මම වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ගන්නවා.

පහුගිය වතාවේ දිනුවේ සල්ලි විසි කරලා නේද?


මට විසි කරන්න තරම් සල්ලියක් නෑ. කැලණියෙ මිනිස්සු අපට ආදරය කළා. යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් වැඩ කරන නිසා. මහින්ද ජනාධිපතිතුමා අත් නොහැරපු මිනිස්සු නිසා. අපි ප්‍රතිපත්ති ගරුක නිසා. මට ඡන්ද 112,500 ක් ලැබුණා. ඒ ලැබුණේ ජනතාව මාව විශ්වාස කළ නිසයි. ඔවුන් දීපු ජනවරමට අපි නිසි ගෞරවය ලබා නොදුන්නා නම් මේ මැතිවරණ ව්‍යාපාරය කරන්නේ කොහොමද?

ගිය වතාවේ නම් ඔබ කණුවක් තාප්පයක් ගානේ එල්ලිලා හිටියා. මෙවර පෝස්ටර් කටවුට් නැතිව නැතිව මැතිවරණ ව්‍යාපාරය කරන්නෙ කොහොමද?
පහුගිය අවුරුදු හතර හමාරෙම ගම්පහ සහ කැලණිය ජනතාව සමඟ මම හිටියා. පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවන්න විශාල වැඩ කොටසක් කළා. අපි මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන මිනිස්සු විදිහට අපට පෝස්ටර් කටවුට් අත්‍යවශ්‍යම නෑ. ගම්පහ දිස්ත්‍රික්කය පුරා අපේ විශාල ජනතා ජාලයක් ක්‍රියාත්මක වෙනවා. ඒ හරහා දැනුවත් කිරීම් සහ අත් පත්‍රිකා යවමින් අපේ ප්‍රචාරක කටයුතු කරනවා.

දැනුවත් කරන්න යන්නේ කොහොමද කොරෝනා වසංගතය තියෙද්දි? චණ්ඩිපාට් වලින්ද සල්ලි බලයෙන් ද ඒක කරන්නෙ?


සල්ලි අවශ්‍යත් නෑ. චණ්ඩි පාට් අවශ්‍යත් නෑ. හැමදාම මහජනතාව සමඟ ම ඉන්න අපට. කොරෝනා වසංගතය පිළිබඳව සෞඛ්‍ය අංශ මැතිවරණ කොමසාරිස්වරයාට උපදෙස් දී තිබෙනවා. ඒ නිර්ණායක අනුව අපි කටයුතු කරනවා.

ඒ අභියෝග එක්ක ගිය සැරේ වගේ වැඩි ඡන්ද ප්‍රමාණයක් ගන්න පුළුවන්ද?
විශේෂ අභියෝගයක් නැහැනේ. මනාප පොරය වගේ අභියෝග හැම මැතිවරණයක ම තියෙනවා නේ. ගිය වතාවෙ වුණත් දේශපාලන දැවැන්තයො සමග තරග කරන්න වුණා. ඒ වුණත් මට වැඩි ඡන්ද ප්‍රමාණයක් වැටුන නේ. පොදුජන පෙරමුණ බිහි කරන්න අපි ලොකු වැඩ කොටසක් කළා. අනෙක් කරුණ මිනිස්සු බැසිල් මහත්තයාට ප්‍රසන්න මහත්තයාට මහින්ද මහත්තයට අපි ශක්තිය දුන්නා. කොන්ද කෙලින් තියාගෙන ඉන්න මිනිස්සු විදිහට අපට ඡන්ද තියෙනවා.

ඔය නොකියා කියන්නේ අර යහපාලනේට පැනපු මිනිස්සු ප්‍රතික්ෂේප කරන්න කියලා නේද?


නෑ. නොකියා කියන්න දෙයක් නෑනෙ. ඒක ජනතාව තීන්දු කරයි. ජනතාවට අපි කෙරෙහි විශ්වාසයක් තියෙනවා. ඒ ජනවරමට අපි පයින් නොගහපු නිසා.

ගිය සැරේ අනිත් පැත්තට පැනපු අය කිව්වේ ඒක පක්ෂයේ තීරණයක් කියලා ඇයි ඔබ නොගියේ?


ජනතාව ඡන්දය දුන්නේ යහපාලනය ට මුක්කු ගහන්න නෙවෙයිනේ. ජනතාව ඡන්දය දුන්නේ මහින්ද එක්ක ඉදලා ආණ්ඩුවක් හදන්න. ආණ්ඩුව හදන්න බැරි වුණාම අපි විපක්ෂයට ගියා. විපක්ෂයේ කාර්යභාරය අපි ඉෂ්ට කළා.

යහපාලන ආණ්ඩුවට ජැක් ගහන්න අපට උවමනාවක් නෑ. වෙච්ච දේ මුළු රටම දන්නවා නේ. ඒ පැනිල්ලෙන් රටට අත්වුණ පුතිඵලයත් මිනිස්සු දන්නවා.

ඔබ කැලණිය ජනතාවට කොච්චර ආදරේ නම් ඇමතිකමක් අරගෙන සේවය කරන්න තිබුණානේ.?


ඉතින් ඇමැතිවරු විශාල පිරිසක් ගම්පහ හිටිය නේ. ඔවුන් මොනවද කළේ ගම්පහට?

ඡන්දය දිනුවම ගම්පහ දිස්ත්‍රික්කයට මොනවද කරන්නේ?


විශාල වැඩ කොටසක් කරන්න තියෙනවා. විශේෂයෙන්ම කැලණිය පහත් බිමක්. එක කාලයකට කැළණි ගග සහ අත්තනගලු ඔයත් පිටාර දමනවා. විශාල ජන කොට්ඨාසයක් පීඩනයට පත් වෙනවා. ඒකට නිසි විසඳුමක් ඉදිරිපත් කළ යුතුමයි. රජයක් විදියට අපි ඒකට විසඳුමක් ඉදිරිපත් කරනවා. ඒ හැරෙන්නට වේවැල්, කජු, බුලත්, ආශ්‍රිත දැන් ස්වයං රැකියා වල නියුතු අයට එම කර්මාන්ත තවත් වැඩිදියුණු කරගන්නට උදව් කරන්න ඕන. ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුවක් තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කය අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් කරන්නට කැලණිය විශ්ව විද්‍යාලය මුල් කරගෙන. දැනුම බෙදන මධ්‍යස්ථානයක් විදියට කැලණිය ගොඩනගන්නට. කර්මාන්ත ශාලා ඉදි කරනවා වගේම අධ්‍යාපනයත් අලෙවි කරන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය කරන්න ඕන.

ඔබ කොහෙද ඉගෙන ගත්තෙ?


මම මූලික අධ්‍යාපනය ලැබුවේ හුණුපිටිය කනිෂ්ඨ විද්යාලයේ. සාමාන්‍ය පෙළ සඳහා හුණුපිටිය බණ්ඩාරනායක විද්‍යාලයට ගියා. උසස් පෙළ කළේ කැලණියේ ධර්මාලෝක විද්‍යාලයේ. උසස්පෙළ කළේ 1993 දි. නමුත් විශ්වවිද්‍යාලයට යන්නට ලකුණු මදි වුණා.

පාර්ලිමේන්තුවේ ඉන්න වැඩි හරියක් මන්ත්‍රීවරු ඉගෙනගෙන නෑ කියනවා.
මට නම් ඉතින් ඒ කතාව අදාළ නෑ. දැන් ඉන්න විපක්ෂනායක තුමාටත් මම අභියෝග කලා එතුමාගේ අධ්‍යාපන සහතික පෙන්නුවොත් මමත් මගේ අධ්‍යාපන සහතික පෙන්නනව කියලා.

# දේශපාලනයට එන්නට එන්නට පෙර මොනවාද කලේ?

මම පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කළා. උප සභාපති උනාට උනාට පස්සේ රැකියාවෙන් ඉවත් වුණා.

ඇයි ඉතින් දේශපාලනයට එන්නට හිතුනෙ?


අපි ඒ කාලෙ ඉඳන් සමාජ සේවා කටයුතු කළා. ගමේ සමිති සමාගම්වල ඉඳලම. පාසල් යන කාලෙමයි මේ සේවාවන් පටන් ගත්තේ. දේශපාලනයට ආවොත් ගමට රටට ඊට වඩා සේවයක් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතුවා. ගමේ අය මුලින්ම මම ප්‍රාදේශිය සභා ප්‍රාදේශිය සභා මන්ත්‍රී වරයෙක් කළා. ඊළඟට උප සභාපතිවරයා කළා. දෙපාරක්ම සභාපති කළා. එහෙමයි මේ දේශපාලන ගමන පටන් ගත්තේ.

දේශපාලනයට ආවේ සල්ලි හම්බ කරන්න නේද?


දේශපාලනයෙන් සල්ලි හම්බ කරන්න බැහැ නේ. කොහොමද එහෙම කරන්නේ? සල්ලි හම්බ කරන්න ඕන නම් ව්‍යාපාරික කටයුතු කරන්න ඕන. පහුගිය වසර හතර හමාර පුරාවටම අපට නොයෙක් චෝදනා එල්ල කළා. එහෙත් ඔප්පු කර ගන්න බැරි වුණා. අපි දේශපාලනය කරන්නේ සද්භාවයෙන්. දේශපාලනය කරන්න නම් සල්ලි ඕන තමයි. ඒකට අපට අපේ මිත්‍රයො උදව් පදව් කරනවා. මට මගේ ව්‍යාපාර තියෙනවා. අපි දේශපාලනය කරන්න ඕන කියලා කාගෙන්වත් සල්ලි ඉල්ලගෙන ගිහිල්ලා නෑ.

ඔබ අවුරුදු හතරහමාරක් පාර්ලිමේන්තුවෙ හිටියා. ගම්පහට මොනවද කරල තියෙන්නේ?


අපි එවකට හිටියෙ විපක්ෂයෙ. විපක්ෂ මන්ත්‍රී වරයෙකුට ලැබෙන ප්‍රතිපාදන ගම්පහ දිස්ත්‍රික්කය ආවරණය කරන්නට යෙදුවා. ලොකු ලොකු සංවර්ධන කටයුතු කරන්න බැරි වුණා. සමිතිසමාගම් වලට, ග්‍රාමීය මාර්ග වලට තමයි අපට මුදල් වෙන් කරන්න පුළුවන් වුණේ. නමුත් අපි රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් කළා. ජනතාව දුන් ජන වරමට අපි සාධාරණය ඉෂ්ට කරන තියෙනවා.

අලුත් පක්ෂයක් නිර්මාණය කරමින් කළේ කලේ ශ්‍රීලනිපය විනාශ කරපු එකද?
විනාශ වෙමින් තිබුණ ශ්‍රී ශ්‍රීලනිපය වෙනුවට සහ අනාථ වෙලා සිටිය පාක්ෂිකයන්ට නැවුම් බලාපොරොත්තුවක් සහිත නව පක්ෂයක් අපි නිර්මාණය කළා. දැන් ඒ ජනතාවට පුතිපත්ති ගරුකව ඒ තුළ ඉන්න පුළුවන්.

කැලණිය කියන්නේ බුදුන් වැඩිය තැනක්. ඔබ සමග තරගයට එන හැමෝම ඉවත් වෙලා යනවා. මොකක්ද රහස?


එ්ක අපි උපන් භූමිය. ලේසි පහසු තැනක් නෙමෙයි. යුක්තිගරුකව, ප්‍රතිපත්තිගරුකව සහ ධර්මානුකූලව නොහිටියොත් තමයි එහෙම වෙන්නේ.

ඔය කියන්නෙ ඔබ ප්‍රතිපත්තිගරුකව සහ ධර්මානුකූලව ජීවත් වෙනවා කියලා ද?


අනිවාර්යයෙන්ම අපි පෙනී සිටින්නේ සාධාරණය හා යුක්තිය වෙනුවෙන්. මේක විභීෂණ දෙවියන් ගේ අඩවිය.

ඔබ ඉස්සර කිව්ව නේද ඔබ කම්කරුවෙකුගෙ පුතෙක් කියලා. තවමත් එහෙම කියනවද?


පැහැදිලිවම ඒක එහෙමමයි. මම තවමත් කම්කරුවෙක් ගේ පුතෙක් ම තමයි. ඒකනෙ අපට ප්‍රහාර එල්ල කරන්නේ. මඩ ගහන්නේ. කම්කරු වගේ පුතා ඉන්දියාවේ අගමැති හම්බවෙන්න යද්දි සමහරුන්ට ඒක පුශ්ණයක්. ටයි කෝට දාගෙන යනකොට වෙන කතාවක්. ඕක තමයි දේශපාලන කුහකත්වය.

මම හිතනවා මේ මහින්ද සුසංයෝගය අපේ වාසනාවට පහළ වුණ එකක්. ඒ දෙදෙනාගෙන් අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන අවශ්‍යතා නොපිරිහෙළා ඉටු කර ගන්නට පුළුවන් කියලා මට දැඩි විශ්වාසයක් තියෙනවා.

ඔබ ඡන්ද අපේක්ෂා කරන්නේ කම්කරුවන්ගෙන් හා පැල්පත් වාසීන් ගෙන් පමණක් ද?


නෑ මේ වෙලාවේ කැළණිය විශ්වවිද්‍යාලය ආචාර්ය මහාචාර්යවරු පවා මට උදව් කරනවා. ඔවුන් දන්නවා අපි කවුද කියලා. සියලුම දෙනා අපට ඡන්දය ලබා දෙනවා. කිසිදු පංති භේදයක් නෑ. කැලණිය වගේම ගම්පහ දිස්ත්‍රික්කය පුරාම අපට කරන්න විශාල වැඩ කොටසක් තියෙනවා. අපි හිතනවා මේ පාලක සුසංයෝගය බිහිවුණේ රටේ වාසනාවට කියලා.

ගම්පහ ඡන්ද දායකයන්ට මොකක්ද කියන්න තියෙන්නේ?


අපි ජනතාව වෙනුවෙන් ප්‍රතිපත්තිගරුකව හිටියා. හැම වෙලාවෙම අපේ ජාතිය වෙනුවෙන් පෙනී හිටියා. රටේ අර්බුද හා ව්‍යසනවලදී අපි ජනතාවගේ යහපත සඳහා පාර්ලිමේන්තුවේත් ඉන් පිටතදීත් වැඩ කළා. ජනතාව ඒක හොඳටම දන්නවා. අපි විශේෂ සැලකිල්ලක් දක්වන්නෙ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නංවන්නට. පැල්පත් වාසීන්ගේ සුභ සාධනය වෙනුවෙන් වැඩ කරන්නට සැලසුම් හදලා තියනවා. අපි ඔවුන් වෙනුවෙන් කැලණියෙ මහල් නිවාස සංකීර්ණ ඇති කරන්නට බලාපොරොත්තු වෙනවා.

කසළ ප්‍රශ්ණය විසඳන්නේ නැද්ද?


අරුවක්කාරු ව්‍යාපෘතිය කරන්නේ කැලණිය මානෙල්ගම කේන්ද්‍ර කොට ගෙන. අපි විශ්වාස කරනවා ඉදිරියේදී ඒ කසළ ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලැබෙයි කියලා.

කැලණියෙ තරුණ පරපුර මත් ද්‍රව්‍ය වලට හැබැයි වෙලා නේද?

ඔව් විශාල ලෙස ඉන්නවා. අපි මේ වෙන විට වෙනවිට කොවිඩ් – 19 වසංගතය පරාජය කරල ඉවරයි. ඒ වගේම මේ මත්ද්‍රව්‍ය අභියෝගයත් පාතාලයත් නැති කරනවාමයි. කුඩුකාරයන්ගෙන් අපේ රට බේරා ගන්නට මේ රජයට පුළුවන් කියන දැඩි විශ්වාසය අපට තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *