බස්නාහිර පාසල් රැසක් පෙබරවාරි 15ට පෙර ආරම්භ කිරීමට සූදානම්-හෙට 11 වසර

බස්නාහිර පාසල් රැසක් පෙබරවාරි 15ට පෙර ආරම්භ කිරීමට සූදානම්-හෙට 11 වසර

බස්නාහිර පළාතේ අවදානමක් නොමැති ප්‍රදේශවල පිහිටි පාසල් පෙබරවාරි මස 15 වනදාට ප්‍රථම ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තුවන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව බස්නාහිර පළාතේ පාසල් 900කට ආසන්න සංඛ්‍යාවක් එලෙස ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පළාත තුළ පවතින 1576ක් වන සමස්ත පාසල් සංඛ්‍යාවෙන් පාසල් 900ක් සෞඛ්‍ය නිර්දේශ අනුව විවෘත කිරීමේ හැකියාව දැනට පවතින අතර සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදෙන නිර්දේශ පදනම් කරගනිමින් විධිමත් වැඩපිළිවෙලක් යටතේ ඊට අදාළ පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙයි.

හුදකලා කරඇති පොලිස් බලප්‍රදේශ හැරුණුවිට බස්නාහිර පළාතේ සෙසු පාසල් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණදෙන සිසුන් වෙනුවෙන් පමණක් හෙට (25) සිට විවෘත කිරීමට නියමිතය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන මාර්තු මස පළමු වැනිදා ආරම්භවීමට නියමිත අතර බස්නාහිර පළාතෙන් පමණක් එම විභාගය සඳහා සිසුන් 79,000ක් පෙනී සිටින බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

එම සිසුන්ගේ මගහැරී ගිය ඉගෙනුම් කටයුතු කඩිනමින් ඉටුකරදීම වෙනුවෙන් මෙලෙස හෙට දිනයේ සිට පාසල් විවෘත කිරීමට තීරණය කළ බව අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ අතර ලබන පෙබරවාරි මස මැද භාගයට පෙර බස්නාහිර පළාතේ අවදානම් ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පෙරපාසල් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු ද සූදානම් කරඇති බව ප්‍රාථමික අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.

මේ වනවිට කොවිඩ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් කොග්ගල ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක රැඳී සිටින පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් මේ බව සඳහන්කර තිබේ.

ඊට අදාළ සාකච්ඡා තවදුරටත් පැවැත්වෙමින් තිබෙන අතර පෙරපාසල් සඳහා අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ හා විෂබීජනාශක ඇතුළු ද්‍රව්‍ය ලබාදීමට මේ වනවිට පියවර ගනිමින් සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත ප්‍රකාශකර ඇත

උපුටා ගැනිම-අද දෙරණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *