පොලිතින් තහනමට විසඳුමක් – දිරා නොයන පොලිතින් වෙනුවට පරිසර හිතකාමී පොලිතින් .

පොලිතින් ආශ‍්‍රිත නිශ්පාදන අප රටට පමණක් නොව මුළු ලෝකයටම තර්ජනයක් වී ඇත. බොහෝ විට අප රටේ ලන්ච් ශීට්, පොලිතින් බෑග්, ආහාර ඇසුරුම් භාවිතයෙන් පසු අක‍්‍රමවත් ලෙස පරිසරයට මුදා හරිනවා. මේවා දිරාපත් වීමට වසර ගණනාවක් ගතවීම හේතුවෙන් පාරිසරික හා සමාජීය ගැටළු ගණනාවක් පැන නැගී තිබෙනවා. ඩෙංගු රෝගය වසංගත තත්වයට පත්වීමට ද මේ තත්වය බලපා තිබේ. පවතින තත්වය සැලකිල්ලට ගෙන වර්ථමාන ජනාධිපතිවරයා පරිසර අමාත්‍යවරයා ලෙස අද සිට (සැප්තැම්බර් 01 සිට)පොලිතින් භාවිතය තහනම් කිරීමට කටයුතු කර ඇත.
එම තහනම නිසා ඒ ආශ‍්‍රිත රැකියාලාභීන් හා පාරිභෝගිකයින් ද දැඩි අපහසුතාවයකට පත්වන බව බොහෝ දෙනා මත පළකලා. එහෙත් එසේ බිය විය යුතු නැහැ. නිශ්පාදන කර්මාන්ත බිඳවැටීමක් හෝ රැකියා අහිමි වීමක් සිදු නොවේ. ඒ සඳහා දිරාපත්වන පරිසර හිතකාමී විකල්ප පොලිතින් නිශ්පාදන ක‍්‍රමයක් හඳුන්වා දීමට ශ‍්‍රී ලාංකික ඉංජිනේරුවරයෙකු වන අමිල් ප‍්‍රියන්ත මහතා ඉදිරිපත් වී තිබෙනවා.
මෙම පරිසර හිතකාමී විකල්ප පොලිතින් වර්ගය නිශ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ලෙස භාවිත කරනු ලබන්නේ දේශීය බඩඉරිඟු , සහල්, අල වර්ග, වැනි පරිසර හිතකාමී ආහාරයට ගනු ලබන ද්‍රව්‍යයි. මේ සඳහා ඉවතලන එළවළු, පලතුරු, ධාන්‍ය වර්ග භාවිත කළහැකි බව ද අමිල් ප‍්‍රියන්ත මහතා ප‍්‍රකාශ කර සිටිනවා.
ලොව සංවර්ධිත රටවල දැනටමත් මෙම පරිසර හිතකාමී පොලිතින් භාවිත කරනු ලබනවා. එහෙත් මෙය ශ‍්‍රී ලාංකාවට හඳුන්වාදීමට මෙතෙක් කිසිවකුත් පියවර ගෙන නැහැ. මෙම පරිසර හිතකාමී පොලිතින් මෙරටට හඳුන්වාදීමේ මාධ්‍යහමුවක් ඉංජිනේරු අමිල් ප‍්‍රියන්ත මහතා විසින් ගම්පහ යක්කල ප‍්‍රදේශයේදී පසුගියදා පවත්වනු ලැබීය. එහිදී ඔහු විසින් මෙම නව පොලිතීන් විශේෂයේ ශක්තිමත් බව හා පරිසර හිතකාමී බව වැඩිදුරටත් පෙන්වා දෙන ලදී. මෙම පොලිතීන් පිලිස්සීමේ දී දහනය වන්නේ කඩදාසි මෙනි. ජලය සමග මිශ‍්‍ර වූ විට දියවී යන මෙම පොලිතීන් ඉවත දැමූ විට ඉක්මනින් දිරාපත්වේ.
පරිසර අමාත්‍යංශය ඇතුළු අදාල බලධාරීන් මේ සඳහා අනුමැතිය ලබා දෙන්නේ නම්, තාක්‍ෂණික දැනුම අවශ්‍ය ව්‍යවසායකයින්ට ජාතියේ යුතුකමක් ලෙස සලකා එම දැනුම නොමිලේ ලබාදීමට දතමා කටයුතු කරන බව ද අමිල් ප‍්‍රියන්ත මහතා තව දුරටත් පැවසීය.
(වැඩිදුර විස්තර සහිත වාර්තා වැඩසටහන ළඟදීම බලාපොරොත්තු වන්න.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *