පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඩ්ගේ නීතීඥවරයා අත්අඩංගුවට

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඩ්ගේ නීතීඥවරයා අත්අඩංගුවට – රිෂාඩ්ගේ සොහොයුරාද බෝම්බකරුවන් සමග සමීපව කටයුතු කරලා

පාස්කු ප‍්‍රහාරයේ විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ නීතීඥවරයා වන හිජාස් හිස්බුල්ලා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පුත්තලම ප‍්‍රදේශයේදීයි.

අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී, ජාලිය සේනාරත්න කියා සිටියේ අදාළ නීතීඥවරයා පාස්කු ප‍්‍රහාරයේ බෝම්බකරුවන් දෙදෙනෙකු සමග සබඳතා පවත්වා ඇති බව තහවුරු වී ඇති බවයි.

හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ සොහොයුරෙකු වන රියාජ් බදියුදීන් ඇතුළු දෙදෙනෙකු ද, පාස්කු ප‍්‍රහාරයේ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, පුත්තලම ප‍්‍රදේශයේදීයි. ඔවුන් දෙදෙනා ද පාස්කු ප‍්‍රහාරයේ බෝම්බකරුවන් සමග සමීපව කටයුතු කර ඇති බව විමර්ශනවලදී තහවුරු වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී, ජාලිය සේනාරත්න කියා සිටියේ.

මීටපෙර මඩකලපුව සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුට සහය දුන් තවත් පුද්ගලයෙකු ඉකුත් දා අත්අඩංගුවට ගැනුණා.

එමෙන්ම කොටහේන, කොච්චිකඬේ, ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුට ආධාර අනුබල දුන් අයෙකු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් දා අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව මේවනවිට පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන් 119 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී, ජාලිය සේනාරත්න සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *