පාරට බහින්න බැරි තැනට පාතාලය හිස ඔසවලා—විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ

පාරට බහින්න බැරි තැනට පාතාලය හිස ඔසවලා—විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ

පොදුවේ මහජනතාවට පොදු ස්ථානවලට හෝ යෑමට නොහැකි වන ආකාරයෙන් මේ වනවිට පාතාල ක්‍රියාකාරකම් හිස ඔසවා තිබෙන බවත් මෙම අනතුරුදායක තත්ත්වය නැතිකොට රට තුළ කඩිනමින් ජනතාවට නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට වත්මන් ආණ්ඩුව වහාම ක්‍රියා කළ යුතු බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ‘මව්බිම’ට ප්‍රකාශ කළේය.

කුඩාවැල්ල, ග්‍රෑන්ඩ්පාස් ඇතුළු ප්‍රදේශ කිහිපයකදී පසුගිය දිනවල සිදු වූ පාතාල ක්‍රියාකාරකම් හේතුවෙන් ජීවිත කිහිපයක්ම අහිමි වූ බවත් මේ නිසා එම පුද්ගලයන්ගේ දරු පවුල් අන්ත අසරණ තත්ත්වයකට පත් වී ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි කාර්යය මණ්ඩලයේ සේවක මහතකු නිවාඩුවට තම බිරියගේ ගමට ගොස් මාළු මිලදී ගැනීම සඳහා කුඩාවැල්ල ධීවර වරායට ගොස් සිටියදී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් මරුමුවට පත්ව තිබේ.
මීට ඉහත ජා – ඇළ ප්‍රදේශයේදී පාතාලය සිදුකළ වෙඩි තැබීමකින් මේ සිද්ධි කිසිවකට සම්බන්ධ නැති මහමඟ මෝටර් රථයක ගමන් කළ කාන්තාවක්ද මරුමුවට පත්විය.

මෙකී කාරණාවලට අමතරව පාතාල ක්‍රියාකාරකම් හේතුවෙන් සාමාන්‍ය ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටිති. මෙම වසර තුළ රට පුරා සිදු වූ වෙඩි තැබීමේ සිද්ධි 49කින් පුද්ගලයන් 54 දෙනකු ජීවිතක්ෂයට පත්වී තිබෙන බව පොලිස් වාර්තාවල සඳහන් වන බවද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

තමන් අග්‍රාමාත්‍ය ධුරයට පත්ව සිටි දින 50කට ආසන්න කාලය තුළ පාතාලය මර්දනය කිරීම සඳහා නීතියට අනුව නිසි වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවූ බවත් එම කාලය තුළ උතුරේ මෙන්ම දකුණේද වෙඩි තබාගැනීමේ සිද්ධි, පහරදීමේ සිද්ධි ඇතුළු නීති විරෝධී ක්‍රියා සැලකිය යුතු මට්ටමකින් අවම වූ බවත් විපක්ෂ නායකයා පෙන්වා දෙයි.

කොටි ත්‍රස්තවාදී ක්‍රියා පැවැති කාලයේදී රටේ පොදු ස්ථානවලට යෑමට සාමාන්‍ය වැසියන් තුළ ඇතිව තිබූ භීතිය, පාතාල ක්‍රියාකාරකම් නිසා යළි සාමාන්‍ය ජනතාව තුළ ඇතිවෙමින් තිබෙන බවත් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

පාතාල ක්‍රියාකාරකම්, මත්කුඩු ජාවාරම් හේතුවෙන් සමාජය දැඩි භීතියකට පත්වීමත් සමඟම රට භාරගැනීමට සිටින දරු පරපුරද විනාශ වී යෑමට ඉඩ තිබෙන නිසා මේ තත්ත්වය කඩිනමින් මර්දනය කොට රටේ පොදු මහජනතාවට නිදහසේ ජීවත්විය හැකි වාතාවරණයක් ඇති කිරීමට ආණ්ඩුවේ දැඩි අවධානය යොමු විය යුතු බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *