පාතාලය නොතිබූ ගම්පහට පාතාලයන් ගේ ඇස- ලක්ෂ 50ක කුඩු සමඟ t-56 හසුවේ

පාතාලය නොතිබූ ගම්පහට පාතාලයන් ගේ ඇස- ලක්ෂ 50ක කුඩු සමඟ t-56 හසුවේ

ගම්පහ පොලිස් බල ප්‍ර දේශයට අයත් පත්දඩුවන ප්‍රදේශයේදී ඉකුත් 6 වෙනි දින ටී-56 ගිනි අවියක් සහ හිස් පතොරොම් ගැබ් 4ක් මහමග දමා පලායාමේ සිද්ධියට අදාළ සැකකරු අත් අඩංගුවට පත්වීමෙන් පසුව විමර්ශනය කරමින් සිටියදී ඊයේ (9) රාත්‍රියේදී රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා හෙරොයින් ග්රෑම් 500ක් සොයා ගත් බව ගම්පහ පොලිසිය පවසයි.

ගම්පහ කොට්ඨාස විශේෂ යතුරුපැදි ඒකකය මගින් වාහන පරීක්ෂා කළ අවස්ථාවේ මෙම සැකකරුගේ වාහනය පරීක්ෂා කරමින් සිටියදී පලා ගොස් ගිනි අවිය මහමග දමා ගොස් තිබී හමුව තිබිණි.

නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු දැනට බන්ධනාගාර ගතව සිටින ගණේමුල්ලේ සංජීව නැමැත්තාගේ ගෝලයෙකු බව අනාවරණය වී ඇති අතර මොහු කප්පම් මුදල් එකතු කිරීම සහ මත් කුඩු බෙදා හැරීම සිදු කරන බව ද ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ බව පොලිසිය පවසයි.

සැකකරුගේ ජංගම දුරකත විශ්ලේෂණ වාර්තාවට අනුව ලබා ගත් තොරතුරු මත කඩවත, රන්මුතුගල ප්‍රදේශයේ නිවසක තිබී ඊයේ (9) හෙරොයින් ග්රෑම් 500ක් සොයා ගෙන ඇති අතර එම නිවස සංජීව නැමැත්තාගේ අනියම් බිරිඳගේ බවත් හෙළිව තිබේ. ඇයද පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.

ඉකුත් 6 වෙනි සොයා ගන්නා ලද ගිනි අවිය එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත්ව තිබූ එකක් බව ද අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා සහ සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංක රංගන යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *