පත්කිරීම් විද්‍යාත්මකයි – චෝදනා ප්‍රතික්ෂේප කරනවා

විද්‍යාත්මක පදනමකින් අමාත්‍යාංශ වෙන් කළ ආකාරය සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

නව අමාත්‍ය මණ්ඩලයේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්  දිවුරුම්දීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

“නව අමාත්‍ය මණ්ඩලයේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස පත්වූ සියලුදෙනාට මම සුබපතනවා. ආශිර්වාද කරනවා ඔබෙත්, මගෙත් ආදරණීය මාතෘ භූමිය සහ ජනතාව වෙනුවෙන් සිය වගකීම් සහ යුතුකම් ඉටුකිරීමට ඔබට සියලු ආකාරයෙන් ධෛර්ය, ශක්තිය සහ වාසනාව ලැබේවා කියලා. ඒ වගේම මමත්, අගමැතිතුමත් ඔබ සියලුදෙනාට අවශ්‍ය එම සහයෝගය සහ අනුග‍්‍රහය සෑම අතින්ම ලබාදෙන බව ප‍්‍රකාශ කරනවා.

අමාත්‍ය මණ්ඩල පත් කිරීම් ඒ වගේම රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු පත්කිරීම් පිළිබඳව පසුගිය දශක කිහිපයේම ඉතිහාසය ගතහොත් මම හිතන්නේ කිසිම රාජ්‍ය නායකයෙකුට ඒ පිළිබඳව සියයට සියයක් ඒ පත්වු සියලුදෙනාගේම ප‍්‍රසාදය ලබා ගන්න පුළුවන් වෙලා නැහැ.

මම විශ්වාස කරනවා තමන්ට ලැබී තිබෙන අමාත්‍යාංශයේ වගකීම් සහ යුතුකම් ඉතාමත් හොඳින් ඔබ සෑම කෙනෙක්ම ඉෂ්ට කරයි කියලා. අදාළ ගැසට් නිවේදනයේ විෂය ක්ෂේත‍්‍රය තුළ තිබෙන කටයුතු වගේම ඕනෑම රාජ්‍ය අමත්‍යවරයෙකුට, නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට තමාගේ විෂය ක්ෂේත‍්‍රයට අදාළ බොහෝ සේවාවන් නිර්මාණය කරන්න පුළුවන්. තමන්ගේ හැකියාව, දක්ෂතාවය, දැනුම ඒ සියල්ල එක්ක එම කටයුතු කරන්න පුළුවන් ඕනෑම කෙනෙකුට. ඒ නිසා ක්ෂේත‍්‍රයේ සීමාව නොවේ හිතන්න ඕන, ඒ තුළ කරන කටයුතු වගේම ඊට එහා අපි යම් කාර්යයක් ඉටු කරන්නේ කෙසේද කියලා බලන්න ඕන.

දැන් මේ වසරේ මාස 04 ක් ගෙවි ගොස්. ඒ නිසා අතපසු වූ වැඩකොටස් වගේම දැනට කරන්න තිබෙන කාර්යයන් වාර්ෂික සංවර්ධන සැලසුම් ඉලක්ක සහගතව, කාර්යක්ෂම ඉටුකරන්න අපි ඔබ සියලුදෙනාට හැකියාව, වුවමනාව සහ අවබෝධය තිබෙනවා. ඒ නිසා රජය විදියට රට වෙනුවෙන් සහ මහජනයා වෙනුවෙන් අද තිබෙන ආර්ථික තත්ත්වයන් සහ දේශපාලන තත්ත්වයන් සැලකිල්ලට අරගෙන මේ කාර්යයන් සඳහා කඩිනම්ව හා කාර්යක්ෂමව අපි එක්වීමයි අවශ්‍ය වෙන්නේ.

ඊයේ පත්වූ අමාත්‍ය මණ්ඩලයත් අද පත්වූ රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙස රට වශයෙන් බලාගෙන ඉන්නවා අපි දැන් මී ළඟට කුමන ආකාරයේ වැඩකොටසක් ද ඉටුකරන්නේ කියලා.

දැන් විශේෂයෙන් ආණ්ඩුවට එරෙහි විවේචනවලදි බොහෝ දකින්න තිබෙන්නේ විද්‍යාත්මක පදනමකින් අමාත්‍යාංශ වෙන් කරනවා කිව්වට එහෙම වෙලා නැහැයි කියන එක. මම එම චෝදනාව ප‍්‍රතික්ෂේප කරනවා. මෙම අමාත්‍යාංශ අලුතෙන් සැලසුම් කරද්දි අගමැතිතුමත්, මමත් සාකච්ඡා කරලා බොහෝ නිවැරදි කිරිම් සිදු කළා. ඒ වගේම අමාත්‍යංශවල ආයතන, විෂය ගැසට් කිරීමේදී මම පැහැදිළිව සඳහන් කරන්න ඕන මේ විද්‍යාත්මක පදනම පැහැදිළිව ලෙසම සැලකිල්ලට ගන්නවා කියන එක. ඒ පිළිබඳව කවුරුවත් අමනාප වෙන්න එපා. මොකද රටේ සෑම කෙනෙක්ම බලාගෙන ඉන්නවා අපි කියපු දේ හරියටම කෙරෙයිද කියන කාරණාව දෙස. ඒ නිසා බොහෝ විවේචනාත්මකව තිබූණු අමාත්‍යාංශ දැන් හුඟක් වෙනස් වුණා.

ඊළඟට ආයතන වශයෙන් සිදුකළයුතු වෙනස්කම් අගමැතිතුමත්, මමත් සාකච්ඡා කරලා පැහැදිළි ලෙසම විද්‍යාත්මක පදනමෙන් එම ආයතන ගැසට් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි සෑම කෙනෙකුටම විශාල වැඩකොටසක් තිබෙනවා. මහජනතාව අප දෙස බලාගෙන ඉන්නවා අපේ කාර්යයන් මොන විදිහට ද ඉෂ්ට වෙන්නේ කියලා. විරුද්ධ පක්ෂය මොන විදිහේ චෝදනා එල්ල කළත් ඒ සියල්ලත් එක්ක ඔබ අප සෑම කෙනෙක්ම අවබෝධයෙන් කටයුතු කරන පිරිසක් ලෙස අපේ රජයේ සාර්ථකත්වය ඇතිකරලා බලාපොරොත්තුවන සංවර්ධන ඉලක්ක සමග යහපත් ආර්ථිකයක් සහ යහපත් සමාජ වටපිටාවක් ඇති කරන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන සමාජයක් තුළ අප සෑම කෙනෙක්ම එක්ව සුහදතාවයෙන්, සහයෝගීතාවයෙන් මිත‍්‍රශීලිව අවංකව කටයුතු කරමු කියන ගෞරවණීය ඉල්ලීම කරමින් ඔබ සියලුදෙනාට සුබ පතනවා. ආශිර්වාද කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *