නිව්යෝර්ක් ගමනේදී ජනපතිගේ ආරක්ෂාව අනතුරක????

නිව්යෝර්ක් ගමනේදී ජනපතිගේ ආරක්ෂාව අනතුරක????

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා සමුළුව ඇමැතීමට විදෙස් ගත වූ අවස්ථාවේදී එතුමාගේ ආරක්‍ෂාවට හා ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වූ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ කරුණු වාර්තා කර තිබේ.

ජනාධිපති ආරක්‍ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් සිල්වා මහතා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත සිදුකරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

2018 සැප්තැම්බර් 25 වැනි දින එක්සත් ජාතීන්ගේ මහා සමුළුව ඇමැතීම සඳහා 2018 සැප්තැම්බර් 22 වැනි දින රාත්‍රියේ ජනාධිපතිතුමා ඇතුළු දූත මණ්ඩලය කටුනායක ගුවන් තොටුපොළින් නිව්යෝක් බලා පිටත් වූ බවත් මෙම සංචාරයට පෙර ජනාධිපතිවරයාට ඇති තර්ජන පිළිබඳව බුද්ධි තොරතුරු අධ්‍යක්‍ෂවරයා විසින් වාර්තා කැඳවූ බවත් එම තොරතුරුවලට අමතරව ද්‍රවිඩ ඊළාම් සංවිධානයේ ඊළාම් රාජ්‍යයේ අගමැතිවරයා යැයි හඳුන්වනු ලැබූ රුද්‍ර කුමාර් යන අය විසින් එක්සත් ජාතීන්ගේ ගොඩනැඟිල්ල තුළදී හෝ ජනාධිපතිවරයා සහභාගි වන උත්සවවලට පැමිණ උද්ඝෝෂණ කිරීමට සැලසුම් කරන බවට කරුණු අනාවරණය වූ බව පැමිණිල්ලේ සඳහන් වෙයි.

එසේම මෙම සංචාරයේදී දූත පිරිස නිව්යෝර්ක් නුවර පාර්ක් ඇවනිව්හි ලොස් රිජන්සි හෝටලයේ දී නවාතැන් ගෙන ඇති අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට අමතරව තවත් රාජ්‍ය නායකයන්ද මෙම හෝටලයේ නවාතැන් ගෙන සිට ඇති අතර ජනාධිපතිතුමා හා දූත මණ්ඩලය නවාතැන්ගෙන තිබූ කාමර අංක හා දුරකථන අංක ඇතුළු එතුමාගේ ආරක්‍ෂාවට තර්ජනයක් විය හැකි සියලුම තොරතුරු හා අති ප්‍රභූ ගමන් පර්යන්තයේ රැඳී සිටියදී ගත් ඡායාරූප ජනාධිපතිවරයා එහි රැඳී සිටි කාල වකවානුවේදීම ලංකා ඊ-නිව්ස් වෙබ් අඩවියේ පළ කර තිබූ බවත් තව දුරටත් පැමිණිල්ලේ සඳහන්ව තිබේ.

තවද දූත පිරිස නිව්යෝර්ක් නගරයෙන් පිටව යන අවස්ථාවේදී අති ප්‍රභූ ගුවන් පර්යන්තයේ දී සැකකටයුතු ලෙස හැසිරුණු ජාසිංහ විජේනායක, මලිත් ඉසුරු යන අයගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර ඔහු භාරයේ තිබූ ඇපල් වර්ගයේ දුරකථනයේද මෘදු පිටපතක් ලබා ගෙන ඒ පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන බවටත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

මවිබිම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *