නාකොටික් කුඩු විකුණපු හැටි හෙළිවේ –

නාකොටික් කුඩු විකුණපු හැටි හෙළිවේ –

මත්ද්‍රව්‍ය තොග පිටින් නිවෙස්වල හා සැප වාහනවල තබාගෙන ජාවාරම් කරලා – ව්‍යාජ වැටලීම් හරහා සම්මාන හා මුදලිනුත් ත්‍යාග ලබාගෙන

අයිපීගේ ලොකරයේ කොකේන්

  • නීති විරෝධී ගිනි අවි අපරාධකාරයන්ට විකුණා ඇති බවටත් සැකයක්
  • ව්‍යාජ පන්දාහේ නෝට්ටුත් හමුවෙලා
  • රඳවාගත් නාකොටික් නිලධාරීහු 12ක් රිමාන්ඞ්
  • නි. සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් උසාවියේදී තොරතුරු අනාවරණය කරයි

අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ටම ආපසු අලෙවි කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප‍්‍රශ්න කළ පොලිස් පරීක්‍ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 12 දෙනකු ලබන 21 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (8 දා) පස්වරුවේ නියෝග කළාය.

එම ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (8 දා) රාගම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ 13 වන සැකකාර පොලිස් කොස්තාපල් දිනේෂ් නිර්මල නමැත්තා ලබන 14 වැනිදා දක්වා රඳවාගෙන ප‍්‍රශ්න කිරීමටද ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නාය.

එකී ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අතරින් පිරිසක් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධවී එකී

ජාවාරම්කරුවන්ගෙන් ලබාගත් මත්ද්‍රව්‍ය තොග පිටින් සිය නිවෙස්වල හා ඔවුන් භාවිතා කළ සුඛෝපභෝගී වාහනවල සුරක්‍ෂිතව තබාගෙන ජාවාරම් කළ බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින්නේ යැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (8 දා) කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන්නේය.

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එකී ජාවාරමට අමතරව නීති විරෝධී ගිනි අවි ජාවාරමද සිදුකරන බැවින් හා එම පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී නීති විරෝධී ගිනි අවියක්ද සොයාගෙන ඇති බැවින් සැකකාර පොලිස් නිලධාරීන් මාර්ගයෙන් නීති විරෝධී ගිනි අවි මෙරටේ අපරාධකරුවන්ට ලැබී ඇති බවට සැකයක් මතුවී ඇති බැවින් ඒ සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කොට ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

දසවන සැකකාර පොලිස් කොස්තාපල්වරයා හා 11 වන සැකකාර පොලිස් කොස්තාපල්වරයා භාරයේ තිබී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 32 ක් ද අත්අඩංගුවට ගෙන ඇති බැවින් ඔවුන් නීති විරෝධී මුදල් නෝට්ටු ජාවාරමට සම්බන්ධ බවට සැකයක් මතුවී ඇතැයි ද එහිදී අධිකරණයට පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඒ සම්බන්ධයෙන් ද පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ඇතැයි ද ප‍්‍රකාශ කළේය.

එම නඩුවේ පළමු වන සැකකාර පොලිස් පරීක්‍ෂකවරයා භාවිතා කළ පෞද්ගලික ලොකරයේ තිබී කොකේන් මත්ද්‍රව්‍ය මිලිග‍්‍රෑම් 390 ක් සහ තවත් සැකකාර නිලධාරියකු සන්තකයේ තිබී හෙරොයින් ග‍්‍රෑම් 12 මිලි ග‍්‍රෑම් 22 ක්, ගංජා ග‍්‍රෑම් 4 ක්, ටී-56 ජීව උණ්ඩ කිහිපයක් ද අත්අඩංගුවට ගෙන ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

අත්අඩංගුවට ගන්නා හෙරොයින් තොග පිටින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විකුණා ආපසු ව්‍යාජ වැටලීම් සිදුකර පොලිස් අරමුදලින් ද රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ත්‍යාග, සම්මාන හා පැසසුම් ලිපි ලබාගෙන ඇති සමහර සැකකාර පොලිස් නිලධාරීන් එලෙස මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් සුඛෝපභෝගී ජීවිත ගතකර ඇති බවත් එහිදී අනාවරණය කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා හත්වන සැකකාර පොලිස් නිලධාරියා හා තවත් සැකකාර නිලධාරියකු මෑත කාලයේදී එලෙස උපයාගත් මුදලින් රුපියල් ලක්‍ෂ 170 ක් වැයකර කොට්ටාව අධිවේගී මාර්ගය අසල පිහිටි ඉඩම් දෙකක් මිලදී ගෙන ඇතැයිද අධිකරණයට පෙන්වා දුන්නේය.

මෙකී ජාවාරමට මේ වන විට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 17 දෙනාට අමතරව එම කාර්යාංශයේ සේවය කරන තවත් නිලධාරීන් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින බවද එහිදී අධිකරණයට පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඔවුන්ගේ කි‍්‍රයා කලාප සම්බන්ධයෙන් කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හෝ අධ්‍යක්‍ෂවරයා නිසි අධීක්‍ෂණයක් සිදුනොකිරීම නිසා ඔවුනට එවැනි නීති විරෝධී ජාවාරම් කිරීමට ඉඩකඩ විවෘතවී ඇති බවද පෙන්වා දුන්නේය.

මෙකී නිලධාරීන් සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ විමර්ශන අනුව ඔවුන් මත්ද්‍රව්‍ය නාශක කළාද නැතිනම් මත්ද්‍රව්‍ය ජාවාරම් කළාදැයි යන සැකය මතුවන්නේ යැයිද එහිදී අධිකරණයට පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙම විමර්ශනය සිදුකරනුයේ වෙලේ සුදා වැනි එක් නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සම්බන්ධයෙන් නොව සිය නිල ඇඳුම්, රාජකාරි බලතල භාවිතා කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුන හා ඒ සඳහා කුමන්ත‍්‍රණය කළ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සම්බන්ධයෙන් වන්නේ යැයිද අධිකරණයට පෙන්වා දුන්නේය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා ලබාදුන් තොරතුරු අනුව එහි නඩු භාණ්ඩ ගබඩාවේ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 700 කට ආසන්න ප‍්‍රමාණයක් ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් එකී ගබඩාව මුද්‍රා තැබීමට පියවර ගත් බව විමර්ශන අධීක්‍ෂණය කරන සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ අධිනීතිඥ තිවංක ආටිගල මහතා සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටි අතර සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා, ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ලලිත දිසානායක, පොලිස් පරීක්‍ෂක උපාලි බණ්ඩාර, පොලිස් පරීක්‍ෂක විජේසූරිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටියහ.

නීතිඥ වසන්ත පිටිගල, අජිත් පතිරණ ඇතුළු නීතිඥ මණ්ඩලයක් විත්තිය නියෝජනය කළහ.

උපුටා ගැනිම–දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *