දේශපාලනික කුණාටු තුන ගැන එඩ්වඩ් ගුණසේකර කියන කතාව

දේශපාලනික කුණාටු තුන ගැන එඩ්වඩ් ගුණසේකර කියන කතාව

කාලෙන් කාලෙට විවිධ දේශපාලන කතා බහ මහ කුණාටු විදියට ලාංකේය දේශපාලනය කළඹවවමින් හමා යනවා. මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා විසින් ක්‍රිකටි කුසලානය පිළිබඳව පසුගිය දා කරන ලද ප්‍රකාශය ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් තිගැස්මට ලක් කරන ලද කතාවත්, එක්සත් ජාතික පක්ෂයේ පවුරු පදනම් දෙදරා දෙකඩ වීමේ කතාවත්, මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාගේ දේශපාලනික නික්මයාමත් එවන් කුණාටු තුනක් බවට පත්වුණා.

වැඩිපුර ජනමාධ්‍ය තුල පෙනෙන්නට නොසිටියත්, ඉඳ හිට ජනතා අවධානයට ලක්වන පෙරළිකාර දේශපාලන චරිතයක් වන රී හිටපු අමාත්‍ය සමගි බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නායක එඩ්වඩ් ගුණසේකර මහතා අපට අහම්බෙන් හමු වුණා. ඒ සැනින් අප ඔහු ගෙන් ඉහත කී රට කැළඹූ කතා තුන පිළිබඳව අසන්නට අමතක කලේ නෑ.

ඒ කතා බහ ඇදී ගියේ මෙලෙසයි

2011 ක්‍රිකට් කුසලානය ගැන විශ්වාස කරන්නට පවා අපහසු ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් වෙමින් තිබෙනවා. පක්ෂයක් විදියට ඔබ නියෝජනය කරන සමගි ජන බලවේගයටත් මේ පිළිබඳව පිළිබඳව කිසියම් අදහසක් ඇති?

දෙදහස් එකොළහේ තිබුණේ අපේ ආණ්ඩුවක් නෙමෙයි නේ. තිබුණේ ඔවුන්ගේ ආණ්ඩුවක්. එය හෙළිදරව් කිරීම කරන පුද්ගලයා එවකට ක්‍රීඩා අමාත්‍ය ධුරය දැරුවා. ඒක තමන්ගෙ කාලෙ සිද්ධ වුවත් ඒත් ඇයි දැන් හදිසියේම අවුරුදු දහයකට පසුව මෙලෙස කතා කරන්නට පටන් ගන්නේ? එවන් අකටයුත්තක් සිදුව තිබුණා නම් ඒ ගැන සොයන්නට බලන්නට ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා කවුන්සලය තිබෙනවා. ක්‍රිකට් පාලක මණ්ඩලයක් තිබෙනවා. ඉතාම පැහැදිලිව අපි කියනවා ඔය නාට්‍යය තුළ තිබෙන්නේ වෙනත් සැගවුණු න්‍යාය පත්‍රයක්. මේ රටේ දැන් ඉස්මතුව ඇති දැවෙන ප්‍රශ්න ජනතාවගෙන් වසන් කිරීමට කරන උත්සාහයක් තමයි මේ. අද වන විට මේ රටේ වෙළෙඳ පොළේ ආහාර ඇතුළු සියලුම දේ වල මිල අහස තෙක් නැගෙමින් පවතිනවා. නිකමට හිතලා බලන්න, අද පරිප්පු කිලෝව කීයද? සීනි කිලෝවක් කීයද? අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල දවසින් දවස ඉහළ යනවා. ඒ විතරක් ද මිනිස්සුන්ට ගෙයක් දොරක් හදා ගැනීම පිළිබඳව හිතන්නටවත් විදිහක් නෑ. සිමෙන්ති මිලත් බොහොම වේගයෙන් ඉහළ යනවා. ඊට විරුද්ධව නැගෙන ජනතා විරෝධය ආපසු හරවන්නට තමයි මිනිස්සුන්ගෙ ඔලුවට මේ ක්‍රිකට් කතන්දරය බලහත්කාරයෙන් රිංගවන්නට උත්සාහ කරන්නේ. අමාත්‍යවරයා කිව්ව ඒ කතාව හරිද නැද්ද, වුණාද නැද්ද කියන එක වෙනම දෙයක්. ඒක වැරදියි කියලා අපි හිතමුකො. පුදුමය කියන්නෙ අවුරුදු දහයකට පස්සේ තමයි මේක ඇදලා ගන්නේ. ඒක කියන ඇමතිවරයාත් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන පොදු ජන පෙරමුණේ අපේක්ෂකයෙක්.බොහොම ලස්සනට මේ රටේ ජනතා ප්‍රශ්න යට ගහන්නට දරන කපටි උත්සාහයක් ලෙසයි අපි නං මෙය දකින්නේ. ඒ විතරක් නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට මේ රට ගෙන යන්නට බැරි බවට හොඳම සාක්ෂියක් තමයි මේ. දැන් මේ රටත් බංකොලොත්. ආණ්ඩුවත් බංකොලොත්. වෙනසක් අවශ්‍ය වෙලාවක තමයි රට පවතින්නේ. ජනතාවට යළිත් ආපසු හැරෙන්නට කාලය හරි.

මුලින් සීතල යුද්ධයක්ව පැවති එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක පදවිය පිළිබඳ ගැටුම දැන් එළිපිට එළිපිටම රඟ දැක්වෙනවා නේද? ඇත්තටම මොකද වෙන්නෙ කියලා මේ රටේ ජනතාව දැන ගන්නට කැමතියි?

සජිත් ප්‍රේමදාස මහතා කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක තුමා. එතුමා ඒ පදවියට පත් වන්නේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්දයෙන්. අදත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයක් අනුව තමයි සමගි ජන බලවේගය නිර්මාණය කරලා මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. එනිසා ඒ නිසා ඒ පිළිබඳ කිසිම ගැටළුවක් නෑ. සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා පමණක් නොවෙයි, සමගි ජන බලවේගයේ නායකයා පමණක් නෙමෙයි, අගමැති අපේක්ෂකයාත් වෙනවා. ඒකත් කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීරණයක්.

එක්සත් ජාතික පක්ෂයේ බලය, එහෙමත් නැත්නම් සිරිකොතේ බලය අල්ල ගන්න නේද? මේ කුරුමානම් අල්ලන්නේ?

බලය අල්ලන්න දෙයක් නෑ. පැහැදිලිව ම අපි එක්සත් ජාතික පාක්ෂිකයෝ. අපි ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ. ඔය රාජපක්ෂලාට විරුද්ධව යන්නට බැරි නූල් සූත්තර කාර මන්ත්‍රීවරු අතලොස්සක් තමයි එතැන ඉන්නේ. පැහැදිලිවම ඒකයි වෙන්නෙ. ඔය සියල්ලටම පිළිතුරු අගෝස්තු පස් වෙනිදා පැවැත් වීමට නියමිත මහ මැතිවරණයේ දී ජනතාව විසින්ම ලබා දෙයි.

එක්සත් ජාතික පක්ෂ නායකත්වයත් ආණ්ඩුවත් එක්ක කරන්නේ දේශපාලන ඩීල් එකක් කියලද ඔබ කියන්නේ?

ඒක ඉතින් කාටවත් වචනයෙන් කියන්නට අවශ්‍ය වෙන්නේ නෑනේ. දේශපාලන ඉවක් තියෙන ඕනම කෙනෙකුට බැලූ බැල්මටම තේරෙන දෙයක් නේ. පේන්නටම තියෙනවානෙ. නිකමට හිතලා බලන්න, රවී කරුණානායක හිටපු ඇමතිවරයා මෑතකදී පැහැදිලිවම කිව්වානේ ඔවුන් ජාතික ආණ්ඩුවක් හදනවා කියලා. පස්සේ වැඩේ නොපිටට යනකොට බය වෙච්චි අගමැති වරයා ඒක වහන්නට උත්සාහ කළා. වෙනත් කතාවක් කියලා ඒක වෙනස් කළා. ඉතින් ඩීල් කතාව දැන් ප්‍රසිද්ධ රහසක්.

මංගල සමරවීර අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂය හැර යාම වාසියක් නේද?

අනේ නෑ. ඒකෙ වාසියක්වත් අවාසියක්වත් ඇති දෙයක් නෑ. ඒක එක්තරා පුද්ගලයෙකු ගේ පෞද්ගලික තීරණයක් පමණයි. පක්ෂයට කිසිදු බලපෑමක් සිද්ධ වෙන්නෙ නෑ. මම අයින් වුනත් එක්සත් ජාතික පක්ෂය කියන දැවැන්ත පක්ෂයට කිසිදු බලපෑමක් සිද්ධ වෙන්නේ නෑ. අද ජනතා අවධානයට ලක් වන්නේ ඕවා නෙමෙයි. මුළු රටේම මිනිසුන්ට අවශ්‍ය වෙලා තිබෙන්නේ, එකතු වෙලා සිටින්නේ, සජිත් ප්‍රේමදාස මැතිතුමා අගමැති තනතුරට පත් කරන්නයි. සමගි ජන බලවේගය ජයග්‍රහණය කරා ගෙනයන්නටයි මේ රටේ බහුතර ජනතාව දැන් වෙහෙස ගනිමින් සිටින්නේ.

ඔබ එහෙම කිව්වට පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය අත්පත් කර ගන්නවා කියලා තමයි කියන්නේ. ඒක වෙයිද?

පසුගිය දා රතන හාමුදුරුවෝම කිව්වා ආණ්ඩුවට 113ක් වත් ගන්න ලැබෙන්නෙ නෑ කියලා. ඒක තමයි ඇත්ත කතාව. නමුත් මේ රටේ පොදු ජනතාව විශ්වාස කරනවා අපේ සමගි ජන බලවේගය අනිවාර්යෙන්ම ආසන එකසිය දහයක් දිනා ගන්නවා කියලා. පාරෙ තොටේ ඇවිදල බලන්නකෝ දුරකතනෙට මොන තරම් ජනතා ආශිර්වාදයක් සහ කැමැත්තක් තියෙනව ද කියලා. කිසිදු සැකයක් තියා ගන්නට එපා. අපි අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *