දේශපාලනඥයන් කියන විදිහට ණය දුන්නොත් රාජ්‍ය බැංකු කඩා වැටීමට ඉඩ තිබෙනවා

දේශපාලනඥයන් කියන විදිහට ණය දුන්නොත් රාජ්‍ය බැංකු කඩා වැටීමට ඉඩ තිබෙනවා

ඇමෙරිකන් ඩොලරය ශක්තිමත් වීම නිසා රුපියල බාල්දු වී ඇතැයි කීම ආණ්ඩුවේ ප්‍රලාපයක් බවත් එය නිෂ්පාදන ආර්ථිකය වෙනුවට වෙළෙඳපොළ ආර්ථිකයට යෑමේ ප්‍රතිලාභයක් බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජේ‍යෂ්ඨ කථිකාචාරිනී මාධවී හේරත් මහත්මිය ප්‍රකාශ කළාය.

ඇය එසේ පැවැසුවේ පෙරේදා (7දා) පිටකෝට්ටේ පිහිටි වියත්මඟ කාර්යාලයේදී පැවැති වෘත්තිකයන්ගේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. ඇය වැඩිදුරටත් මෙසේද පැවැසුවාය.

නිදහස් වෙළෙඳ ගිවිසුම ඔස්සේ සිදුවන්නේ මොනවාද කියලා කවුරුත් සැක කරනවා. සිංගප්පූරුව වරාය නගරයක්. එහි තියෙන්නෙ නිදහසේ වෙළෙ¼දාම් කරන ස්ථානයක්. දැනටමත් බදු නැතිව අපනයනය කරන්න අපට පුළුවන්. මේ ගිවිසුම හරහා සිදුවන්නේ අපේ රටට ආනයනය කිරීමේදී බදු නිදහස් වීමක්. මේ නිසා ඩොලර් මිලියන ගණනක් අප රටට අහිමි වෙනවා.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන නිසා මේ රටේ රාජ්‍ය බැංකු පද්ධතිය කඩා වැටෙන්න පුළුවන්. දේශපාලනඥයන් කියන දේවල් නෙවෙයි බැංකුවල තියෙන ප්‍රතිපත්ති තමයි බැංකුවලින් කරන්න ඕන. එහෙම නොකොට හිතවතුන්ට හිතුමතේ ණය දුන්නාම බැංකු පවත්වාගෙන යන්න බැහැ.

රට ආර්ථික, දේශපාලන, සංස්කෘතික නීතිමය ආදී සියලු අංශවලින් කඩා වැටීම නිසා විද්වතුන්ට නිහඬව බලා සිටින්න බැරි වී තිබෙනවා. මේ ආණ්ඩුවේ තිබෙන නොහැකියාව රටේ ආර්ථිකය කඩා වැටීමට හේතුවයි.
මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව රැකියා ලක්ෂ 10ක් විවෘත කරන බව කිව්වත් පසු ගිය මාස 3ට රැකියා 30,000ක් අහිමි වෙලා. තරුණ රැකියා වියුක්තිය 17.6% සිට 21.1% දක්වා වැඩි වෙලා. සමස්ත ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 71% සිට 76% දක්වා වැඩි වෙලා.

ආනයන අපනයන ආර්ථිකය අද වෙළෙඳපොළ ආර්ථිකයක් බවට පත් වෙලා. ආනයන වැඩිවීම නිසා රටේ ආර්ථිකය පිරිහිලා. මේක ලෝකයේ තත්ත්වයක් නෙවෙයි. ශ්‍රී ලංකාවේ නොහැකියාවයි.
ඉන්ජිනේරු හර්ෂ චන්ද්‍රසේන

ලංකාවට එන බදු ආදායම්වලින් වැඩි වශයෙන් ලැබෙන්නේ කර්මාන්ත අංශවලින්. අද ඒවා කඩා වැටිලා.

මොරටුව, පේරාදෙණිය සහ රුහුණ විශ්වවිද්‍යාල 3 පමණයි ඉන්ජිනේරුවො බිහි කරන්නෙ. ඒත් ඉතිහාසයේ නොවූ පරිදි ඔවුන්ට රැකියාවක් සොයා ගන්න නොහැකි වෙලා. මෙහෙම වුණාම ඒ අය ශ්‍රී ලංකාවෙ රැඳී සිටින්නෙ නැහැ.

මහාචාර්ය ආර්.ඒ. ඩබ්ලිව්. රණසිංහ මහතා
මේ ආණ්ඩුව බලයට පත්වන විට ශ්‍රී ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානය බවට පත් කරන බව කිව්වා. ඒත් දැන් කුඩු මධ්‍යස්ථානය වෙලා.

වැඩිම සිය දිවි නසාගන්න රට බවට පත්වෙලා. යහපාලනය කිව්වත් යහපාලන මූලධර්ම මොනවාද කියලාවත් මේ පාලකයෝ දන්නෙ නැහැ. වත්මන් පාලකයන් කරන්නේ බලය රැකගන්න ෂෝට් කට් සෙවීම පමණයි.

විවෘත විශ්වවිද්‍යාලයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය නීතිඥ රාජා ගුණරත්න
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 20 සංශෝධනය ගේන්නේ ස්ථාවර නායකත්වයක් නැති, විදේශිකයන්ට ඕනෑම දෙයක් කළ හැකි බිමක් සැකසීමයි. ජවිපෙ ජනතා නියෝජනයෙක් නැති පක්ෂයක්. ඒක ගේන්නේ මේ රට ෆෙඩරල් රාජ්‍යයක් කිරීමටයි.

නීතිඥ ජානක සකලසූරිය

ආණ්ඩුව බලයට පත් වූ පසු කළේ ගැටුම් නිර්මාණයයි. ඉතිහාස නොවූ විරූ විදියට සියලු ජාතීන්, ආගම් අතෘප්තිමත් වෙලා.

මවිබිම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *