දියවන්නාවට පියමන් කරන මිරිගම ප්‍රකට සමාජ සේවිකාව සුනේත්‍රා සමරකෝන් සියල්ල හෙළිකරයි

දියවන්නාවට පියමන් කරන මිරිගම ප්‍රකට සමාජ සේවිකාව සුනේත්‍රා සමරකෝන් සියල්ල හෙළිකරයි

කොෂිබා ක්‍රෙඩිට් පෞද්ගලික සමාගම ගැන මීරිගම පමණක් නොව ලංකාවේ කොයි කවුරුත් දන්නවා. පුංචි රෙදි කඩයකින් පටන් ගත් ව්‍යාපාරය ටිකෙන්ටික අතු ඉති ලා හැදී වැඩී අද වනවිට වාහන ආනයන කරන කීර්තිමත් වෙළද ආයතනයක් දක්වා වර්ධනය වෙලා. ඒ විශ්මය ජනක කාර්යභාරය පිටුපස සිටින්නේ කාන්තාවක් වීම විශේෂත්වයක්. අක්කර තිස් අටක පමණ මෝටර් රථ ධාවන පථයක හිමිකාරිත්වය දරන කොෂිබා ආයතනය නිර්මාණය කරමින් ව්‍යාපාරික ලෝකයේ දිගු ගමනක් සපැමිණි ඇය නමින් සුනේත්‍රා සමරකෝන්. ඇය ප්‍රකට සමාජ සේවිකාවක්. කිසිදු සැඟවුණු න්‍යාය පත්‍රයකින් තොරව, කිසිදු ලාභ අපේක්ෂාවක් නැතුව රටේත් ජනතාවගේත් සමාජයේත් පොදු යහපත සඳහා කැප වන ඇය ඇත්තටම පරමාදර්ශී චරිතයක්. මේ දිරිය කාන්තාව දැන් ජාතික දේශපාලන කරළියටත් පය තබලා. මේ කතා බහ ඇය සමගයි.

අද වන විට දේශපාලනය කියන්නේ එතරම්ම මිහිරි මාතෘකාවක් නෙවෙයි. ඇයි ඔබ දේශපාලනයට එන්නේ?

මම ජනතා සේවය පටන් ගත්තෙ අද ඊයෙක නෙවෙයි. මම දේශපාලනයට එන්නත් කවදාක්වත් හිතපු කෙනෙකුත් නෙවෙයි. නමුත් 2018 පළාත් පාලන මැතිවරණයේ දී ලැයිස්තුවෙන් මම මේ මීරිගම පුාදේශිය සභාවට තේරී පත් වුණා. එදා ඉඳලා අද වෙනකොට මම ජනතාවට බොහෝ සෙයින් ළං වුණා. ඒ නිසා සුනේත්‍රා සමරකෝන් කියන නම මීරිගම හැම මනුස්සයෙක්ගෙම හදවතේ තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කල්පනා කළා සුනේත්‍රා සමරකෝන් ට මීරිගම සංවිධායක ධූරය දුන්නොත් පුශස්ත සේවයක් කරන්න පුළුවන් වෙයි කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳිලා වසර දෙකක් වැනි කෙටි කාලෙකින් තමයි මට සංවිධායක ධුරය ලැබෙන්නේ. කිසිදු පදවි තානාන්තරයක් නොමැතිවත් කරගෙන ආව ජනතා සේවය තව සිය දහස් ගුණයකින් වැඩි කරන්න පුළුවන් කියලා හිතුනා දේශපාලනයට ආවොත්. මගේ දේශපාලන සම්ප්‍රාප්තිය සිද්ධ වෙන්නෙ එහෙමයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳගෙන, අපේ ජන බල පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ ඇයි ?

බලාපොරොත්තු වුණේ මෙවර ශ්‍රී ලංකා නිදහස් පස්සෙන් ඉල්ලන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදුජන පෙරමුණ අතර ඇති කර ගත් ගිවිසුම අනුව සියයට තිස් එකක් දිස්ත්‍රික්කයෙන් අපට දෙනවා කියලා එකග වුණා. ඒ කියන්නෙ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පහක් හෝ හයක්. නමුත් කුමන හේතුවක් නිසා හෝ අවසාන මොහොතේ නාම යෝජනා දෙන්න පුළුවන් වුණේ එක් අයෙකුට විතරයි. පසුගිය ජනාධිපතිවරණයේදී මම ගෝඨාභය මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා. මම මේ මීරිගම ආසනයේ ග්‍රාම සේවක වසම් 149 ක රැස්වීම් පැවැත්තුවා. ජනතාව දැනුවත් කරමින් ගමින් ගමට ගියා. ගෝඨාභය මහතා ජනාධිපති කළ යුතුමයි කියන මතය සමාජගත කළා. ඒත් මට පොදු පෙරමුණෙන් නාමයෝජනා ලැබුණේ නෑ. පස්සෙ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට වෙනම තරග කරමු කියන යෝජනාව නායකත්වයට ඉදිරිපත් කළා. අඩුම ගණනේ ගම්පහ දිස්ත්‍රික්කයටවත් අපි වෙනම තරග කළ යුතුය කියන මතයේ අපි හිටියා. ඒත් පක්ෂ නායකත්වය ඒකට එකඟ වුණේ නෑ. ඔවුන් බැලූවේ තම තමන් ගැන විතරයි. ජනතාව ගැන හිතුවේ නෑ. ඉතින් මම කල්පනා කළා ජනතාවට සේවය කරන්න පක්ෂයක් පාටක් අවශ්‍ය නෑ කියලා. ඒ ජනතා මෙහෙවර හදවතින්ම කරන්න පුළුවන්. ඒ නිසා මම තීරණය කළා ස්වාධීනව හරි මැතිවරණයට ඉදිරිපත් වෙන්න. එහෙම ඉන්න කොට තමයි අතුරලියේ රතන හාමුදුරුවෝ මගේ නිවසටම ඇවිල්ල අපේ ජන බල පක්ෂයට සම්බන්ධ වෙලා මැතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා මට කිව්වෙ. අපේ ජන බල පක්ෂයේ ඉන්නෙත් ගෝඨාභය මහතා ජයග්‍රහණය කරගන්න වැඩ කරපු අය.

ඒ වුණාට පොදුජන පෙරමුණෙන් මීරිගමට නාමයෝජනා දීලා තියෙන්නෙ ජනතා බලය වැඩි ම කෙනාට කිව්වොත් ඒක වැරදි ද?

එකට මම එකඟ වෙන්නේ නෑ. එයාටත් ඒක ලැබෙන්නේ පොදුජන පෙරමුණට මට කලින් සම්බන්ධ වුණ නිසා වෙන්න ඇති. ජනතා සේවයට සුදුස්සා කවුද කියලා සලකලා නෙවෙයි ඒ තේරීම කළේ.

පොදු ජන පෙරමුණේ සාමාජිකයෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙස බලන්නේ වපර ඇසින්. එහෙම වුණාම මිරිගම ජනතාව ඔබට සහය දෙයි ද?

මට පක්ෂයවත් පාටවත් වැදගත් වෙන්නේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෙලා ජනතා සේවය කරන්නත් කලින් ඉඳලා සමාජ සේවිකාවක් විදියට විශාල වැඩ කොටසක් ඉටු කළා. ඒ නිසා ජනතාවගේ හදවත්වල මගේ නම ලියවෙලා තියෙනවා. මට අනිවාර්යෙන් ම ජයග්‍රහණය කරන්න පුළුවන්.

පොදුජන පෙරමුණ හදලා කෙටි කලකින් ජනතා ආකර්ෂණය දිනාගත්තත් අපේ ජන බල පක්ෂය එතරම් ජනප්‍රිය නැහැ නේද? ඔබ සිටින තැන හරි කියලා ඔබ විශ්වාස කරනවා ද?

ඔව්, මම විශ්වාස කරනවා. හේතුව ඥානසාර හාමුදුරුවෝ තමයි අපේ පක්ෂයේ සභාපතිධූරය දරන්නෙ. රතන හාමුදුරුවෝ තමයි පක්ෂයේ නායකත්වයේ ඉන්නෙ. පාස්කු ප්‍රහාරය සිද්ධ වෙනකොට ඊට කලින් ඔය සහරාන් ගැනත්, ඔය ප්‍රහාරය සිදුවන බවත් රටට කිව්වා. බලධාරීන් දැනුවත් කළා. නමුත් කිසි කෙනෙක් ඇහුම්කන් දුන්නේ නෑ. රතන හාමුදුරුවෝ වස වස විසෙන් තොර ආහාර පාන ගැන වසර ගණනාවක සිට හඩ නගනවා. අනුරාධපුරයෙන් එහා පැත්තේ හැම පවුලකම වගේ වකුගඩු රෝගියෙක් ඉන්නවා. පුංචි දරුවන්ට පවා වකුගඩු රෝගය වැළඳිලා. හේතුව අපේ පොළොවෙ පස වස විස වලින් පිරිලා තිබීම. ඉතින් අනාගතය දකින්න තරම් බුද්ධිමත් යතිවරයන් ඉන්න පක්ෂයකින් ඉදිරිපත් වෙන්න ලැබීමත් සතුටක්. ඒක නිසා මම ඉන්නෙ නිවැරදි තැනක කියලා කියන්න පුළුවන්.

පොහොට්ටුවේ චන්ද කඩල අපේ ජන බල පක්ෂය දිනවන්න ඡන්ද දායකයෝ පෙළඹෙයි ද?

එක්සත් ජාතික පක්ෂය සජිත් පිල, රනිල් පිල කියලා දෙකඩ වෙලා. මේ රටේ මිනිස්සු ඔය පක්ෂය ගැන කලකිරිලා ඉන්නේ. පොදු ජන පෙරමුණටත් ඔවුන්ටත් අපටත් කාටත් වුවමනා වෙලා තියෙන්නෙ ගෝඨාභය ජනාධිපති තුමාගෙ පාර්ලිමේන්තුවට හොඳ අවංක කණ්ඩායමක් ලබලා දීමටයි. එක මුළු රටටම තියෙන බලාපොරොත්තුවක්. ජනතාව දන්නවා මම කොහොම කෙනෙක් ද කියලා. මම පක්ෂයක් බලන්නේ නෑ. පාටක් බලන්නෙ නෑ. ගම්පහ ජනතාව මට විශ්වාසයි.

පාර්ලිමේන්තුවට යන්න නම් ජනතාව දිනා ගත යුතු වෙනවා. අපේ ජන බල පක්ෂය ජනතාව දිනා ගන්න මොකක්ද ඉදිරිපත් කරන තේමාව?

අපේ රටේ දැවෙන ප්‍රශ්න ගණනාවක් පවතිනවා. පාට පක්ෂ මාරු කර කර අවුරුදු හැත්තෑ ගණනක් රටේ කාලය නාස්ති වුණා. ඔය හැම ප්‍රශ්නයකටම පාලකයෝ වගකියන්න ඕන. අපේ දරුවන්ගේ අනාගතය ගොඩනගන්න ලොකු කැපකිරීමක් කරන්න වෙලා තියෙනවා. මේක ඒ සදහා ලැබෙන අවසාන අවස්ථාව ද කියන්න බෑ. අපි තෝරාගත් නායකයා රටේ ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා. කොරෝනා වසංගතය ආපු වෙලාවේ වුණත් ඒක තුරන් කරන්න නිවැරැදි තීන්දු තීරණ ගත්තා. ඒ ගෞරවය ගෝඨාභය ජනාධිපතිතුමාට හිමිවිය යුතුමයි. එතුමා ගැන අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව බලන්න. අබලි යකඩ වලට විකුණන්න තීන්දු කරලා තිබුණු කම්හලට ආයෙත් පණ දුන් හැටි. දැන් බොහෝ දේවල් අපේ ම රටේ නිෂ්පාදනය වෙනවා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ කාලේ අපේ රටේ දැවැන්ත කර්මාන්ත ශාලා තිබුණා. තුල්ටෙක්ස්, කැළණි ටයර්, ලංලෝ වගේ. නමුත් එජාපයේ දේශපාලකයෝ ඒවා විනාශ කළා. නැත්නම් විකුණලා දැම්මා. ගෝඨාභය ජනාධිපතිතුමා දවසින් දවස අපේ බලාපොරොත්තු ඉටු කරමින් ඉන්නවා. අපේ ජන බල පක්ෂයේ බලාපොරොත්තුවත් ඒකයි. ස්වදේශීය නිෂ්පාදන ආර්ථිකය දියුණු කිරීම අපේ අරමුණයි. අධ්‍යාපනය වැඩි දියුණු කරන්න, වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය කරන්න, පුනර්ජනනීය බල ශක්තිය ප්‍රයෝජනයට ගන්න වගේ අරමුණු අපටත් තියෙනවා. ඒ වගේ හොඳ දැක්මක් අපට තියෙන්නෙ. අපේ පක්ෂයේ හොඳ දක්ෂයෝ ඉන්නවා. නිෂ්පාදකයෝ, ව්‍යවසායකයො, නීතිඥයෝ, කලාකරුවෝ, රණවිරුවෝ අපේ පක්ෂයේ ඉන්නවා. ඉතින් ගෝඨාභය ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කණ්ඩායමට අපි එකතු වුණොත් එතුමාට මේ රට සංවර්ධනය කරන්න පහසු වෙනවා.

බොහෝ අපේක්ෂකයෝ මැතිවරණයට ඉදිරිපත් වුණාට තමන්ගේ බල ප්‍රදේශයේ ඇති ගැටළු ටිකවත් අධ්‍යනය කරල නෑ. ඔබවත් එහෙම අධ්‍යයනයක් කළාද?

පානීය ජලය පිළිබඳ ප්‍රශ්නයක් ගම්පහ ට තියෙනවා. මා ඔයේ ජලය පිරිසිදු කරලා ගම්පහ ජල ප්‍රශ්නය විසඳන්න අවස්ථාව ලැබුණොත් මම එතනින් පටන් ගන්නවා. ආර්ථික අපහසුතා ඇති, දුගී භාවයෙන් පෙළෙන ගම් තියෙනවා. නිවාස ප්‍රශ්නයක් තියෙනවා. ඔබ විශ්වාස කරනවා ද වැසිකිලි වත් නැති නිවාස තවමත් මේ ගම්පහ තිබෙනවා කිව්වොත්. ඔවුන් වෙනුවෙන් කඩිනම් මැදහත් වීමක් කළ යුතුව තිබෙනවා.

දේශපාලකයෝ විසින් ඡන්ද දායකයා දිගින් දිගටම රැවට්ටීම නිසා 225 ම එපා කියපු ජනතාවගෙ ගැටළු වලට විසඳුම් තිබෙනවාද?

ගම්පහ කියන්නේ වැඩිම ජනගහනයක් වෙසෙන දිස්ත්‍රික්කයක්. පාසල් අධ්‍යාපනය නිම කරලා එළියට එන තරුණයන්ට කරන්නට රැකියාවක් නොමැතිව ඉන්නවා. ඔවුන්ට හොඳ වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථානයකින් තාක්ෂණය සහිත අධ්‍යාපනයක් ලබා දීමට අවධානය යොමු කළ යුතු වෙනවා. රජයේ රැකියාවක් ම බලාපොරොත්තු වීම නෙවෙයි, ඊට වඩා හොඳ අනාගතයක් ගොඩනගා ගන්නට පෞද්ගලික අංශයේ රැකියා සඳහා වුණත් ඔවුන් පුහුණු කළ යුතුයි. අද වන විට කාන්තාවන් ස්වයං රැකියාවක් ලෙස රූපලාවණ්‍යාගාර පවත්වාගෙන යනවා. ඔවුන්ගේ රැකියාවේ ගුණාත්මක බව වැඩි කරන්නට අපි කටයුතු කළ යුතු වෙනවා. තරුණයෝ නිකරුනේ කාලය ගතකරන කොට නොයෙක් සමාජ විරෝධී වැඩ වලට යොමු වන්නට ඉඩ තිබෙනවා. ගම්පහ කියන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙනුත් මුලින්ම කියැවෙන නමක්. මේ උවදුර නැති කරන්නට පොලීසිය සමග එක්වී මේ වන විටත් වැඩ සටහන් රැසක් මා දියත් කොට තිබෙනවා. තරුණයෝ ක්‍රීඩා වලට යොමු කරන්නටත් මම විශාල වශයෙන් උපකාර කරලා තිබෙනවා. දරුවන් සිටින මවක් ලෙස මමත් මත්ද්‍රව්‍ය උවදුර ගැන බොහෝ සංවේදී වෙනවා. එ් වේදනාව මමත් අඳුරනවා. මගේ එක මූලික බලාපොරොත්තුවක් තමයි මේ තරුණ පරපුර රැක ගැනීම සහ ඔවුන්ට හොද අනාගතයක් නිර්මාණය කරන එක.

දේශපාලනඥයින්ට චෝදනාවක් තිබෙනවා කොරෝනා වසංගත කාලයේ පෙනෙන්නටවත් නො සිටි බවට. ඒ කාලේ ඔබ මොනවද කළේ?

මම මුලින්ම කළේ ජනතාව අතර වියලි ආහාර බෙදා හැරීමයි. ඒ ආහාර වාහන වල දමා යැව්වත් මම ගියේ නෑ. ආහාර භෝග පැළ විශාල ප්‍රමාණයක් බෙදා දුන්නා. ගෙවතු වගා දස ලක්ෂයක් ඇති කරන්නට තමයි බලාපොරොත්තුව තිබුණේ. මිරිස්, බටු, බණ්ඩක්කා සහ තක්කාලි වගේ පැල වර්ග බෙදා හැරියා.

දේශපාලකයෝ පුංචි දෙයක් කරලා දැවැන්ත ප්‍රචාරයක් දෙනවා. විශාල වැඩ කොටසක් කළා කියන්නේ ඔබත් ඒ විදියටද? රටට දැනෙන දෙයක් කළේ නැද්ද?

ඇත්තටම ජනතාවට අර රුපියල් පන්දාහ ලැබෙන්නට පෙර ඔවුන් දැඩි පීඩනයකට ලක් වෙලයි හිටියේ. ඒ නිසා මීරිගම හැම පැත්තකටම වගේ සහල් බෙදා හැරියා. ඒත් ඡායාරූපවලට ඉන්න මම ගියේ නෑ. මේ ටික වුණත් මම කියන්නේ දේශපාලනයට ආ නිසයි.

හරි. සමාජ සේවිකාවක් විදිහට ඔබ මොනවද කරලා තියෙන්නේ?

මාව මේ තරම් ප්‍රචලිත වුණේ දේශපාලනයට ආ නිසයි. නමුත් අර යුද්ධය දරුණුවට තිබුණු කාලයේත්, රණවිරුවෝ මැරෙන වෙලාවෙත්, රණවිරු දරුවෝ ගැන ලොකු වේදනාවක් මට ඇති වුණා. මම අම්මා කෙනෙක් විදියට ඒ වෙලාවේ ලක්ෂ ගණනක් වටිනා ගිලන් රථයක් අඹේපුස්ස යුධ හමුදා කඳවුරට පරිත්‍යාග කළා. ඒ කාලේ සිටිය හමුදාපති ජෙනරාල් ෆොන්සේකා. ඒ වගේම විශාල මුදලක් වැය කරලා තලගම රජමහා විහාරයට අවශ්‍යය යටිතල පහසුකම් සහ ඉදිකිරීම් කරලා දුන්නා. ගම්පහ විතරක් නෙමෙයි රට පුරා ම පන්සල් වලට උපකාර කරලා තියෙනවා. ජනතාව ඒවා ගැන දන්නවා

ඔබ කරපු සමාජ සේවාවේ යටි අරමුණ කවදා හෝ දේශපාලනයට පැමිණීම නේද?

නෑ. ඇත්තටම නෑ. මම හොඳ බෞද්ධයෙක්. මම පව් පින් විශ්වාස කරන කෙනෙක්. දෙයක් ආපසු බලාපොරොත්තුවෙන් කාටවත් උදව් කරන්නේ නෑ මම.

මජර දේශපාලන සංස්කෘතියක් ඇති රටක සැඟවුණු න්‍යාය පත්‍ර සහ යටි අරමුණු ඇති දේශපාලකයන් දෙස ජනතාව බලන්නේ ප්‍රසන්න හැඟීමකින් නෙවෙයි. ඔබ දෙස දෙසත් එලෙස බලන්නට ඉඩ තිබෙනවා. ඔබටත් එලෙස යටි අරමුණු තිබෙනවා ද?

නෑ. කොහෙත් ම නෑ.මමත් හොඳ බෞද්ධයෙක් කියලා මුලිනුත් කිව්වනේ. රජයේ හෝ පොදු දේපොළ හෝ භාවිතා කිරීම් ගැන පසුගිය කාලයේ නිතර නිතර අසන්නට ලැබුණා. ගෝඨාභය ජනාධිපතිතුමාට ශක්තියක් වන්නට පාර්ලිමේන්තු යන්නට යන්නට බලාපොරොත්තු වන මම අවංක දේශපාලන චරිතයක්. ජනතා මුදල් එක සතයක්වත් මම අවභාවිතා කරලත් නෑ. කරන්නෙත් නෑ. හොරකම් කරන්නට තරම් ආර්ථික අහේනියක් මට නෑ. පාර්ලිමේන්තු යැවිය යුත්තේ අපි වැනි අවංක අය බව මම මේ ගම්පහ ජනතාවට යෝජනා කරනවා.

ඔබ මන්ත්‍රීවරියක් වුනොත් ඔබේ ව්‍යාපාර දියුණු කර ගන්නටත් මංපෙත් ඉබේම හැදෙනවා නේද?

නෑ. නෑ. මම කරන්නේ හොර දූෂිත ව්‍යාපාර නෙවෙයි. එනිසා මට ව්‍යාපාර සඳහා දේශපාලනයෙන් ගත යුතු දෙයක් නෑ. අර ගෙනත් නෑ.

ඔබ ව්‍යාපාරික ලෝකයේ මෙතෙක් දුරක් ආවේ කොහොමද?

මගේ ව්‍යාපාරික අතීතය ගැන ආපසු හැරී බලන විටත් දැනෙන්නෙ ලොකු සතුටක්. මම විවාහ වන්නට පෙර මගේ ස්වාමියා විසින් ටේලර් සාප්පුවක් පවත්වාගෙන ගියා. එදා එහි වැඩ කළේ සේවකයන් දෙදෙනෙක් පමණයි. අපේ පටන් පටන්ගැන්ම එතනයි. පසුව මීරිගම නගරයේ අපේම ගොඩනැගිල්ලක රෙදි සාප්පුවක් පටන් ගත්තා. මමත් එතන වැඩ කළා. මම මුලින් නම් රජයේ සේවිකාවක්. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ තමයි රැකියාව කළේ. ඒ රැකියාවෙන් මා ලද අත්දැකීම් අපේ ව්‍යාපාරය ජයග්‍රහණය කරා මෙහෙය වන්නට පන්නරයක් වුණා. ඊට පස්සේ සමාගමක් ලෙස ලියා පදිංචිය ලබා වාහන ආනයනය කරන්නට පටන් ගත්තා. ඊටත් පස්සෙ තමයි වාහන වලට මුල්‍ය පහසුකම් සැපයීමේ ව්‍යාපාරය පටන් ගත්තේ.

මේ හරිත වනයක් ලෙසින් පෙනෙන අංගනය මෝටර් රථ ධාවන පථයක්. මෙතන මොනවද සිද්ධ වෙන්නේ?

මේ ධාවන පථය හැදුවේ අපේ තරුණයින්ට. ඔවුන් මහා මාර්ග වල මෝටර් රථ ධාවන තරඟ වලට පුරුදු වෙනවා. ඒ ඔවුන්ට එවන් තැනක් නැති නිසයි. ඉතින් අපේ තරුණයන්ට මෙහෙම තැනක් හදලා දුන්නොත් ඔවුන්ට ජාත්‍යන්තර තරඟ වලට පවා යන්නට පුළුවන් පුලුවන් නේද කියලා මට හිතුණා. මම හිතුව වගේම මෙතැන පුහුණු වුණු තරුණයෝ ජාත්‍යන්තර තරඟවලින් ජයග්‍රහණ ලබා තිබෙනවා. එ්ක මට ලොකු සතුටක්. අක්කර තිස් අටක වපසරියකින් යුතු භූමි භාගයක නිර්මාණය කරලා තිබෙන මේ ධාවන පථය අඩි හැටක් පළල, කිලෝ මීටර් එක හමාරක් පමණ දිගින් යුක්තයි. ඒ අවට පරිසරය ගහ කොළ වලින් පිරි හරිත භූමියක් ලෙස සකසා තිබෙනවා. අපි මෙහි එක ගහක් කොලක් කපන්නේ නෑ. බෙහෙත් ගස්, පළතුරු ගස් වලින් මේ හරිත භූමිය පිරී පවතිනවා. හිත නිවන හරිම අපූරු පරිසරයක්.

ඒත් ඉතින් සල්ලිකාර පවුල්වල දරුවන්ට මිස සාමාන්‍ය ජනයාගේ දරුවන්ට මෙතැනට ඇවිත් පුහුණුවීම් කරන්න බෑනේ.

අපි මෙතන මුදල් අය කරන්නේ නෑ. නොමිලේමයි ලබා දෙන්නේ. පෝය දාට ඇර අනෙක් ඕනෑම දිනයක මේ රටේ ඕනෑම කෙනෙකුට මෙහි පැමිණ මේ ධාවන පථයේ පුහුණුවීම් කටයුතු කරන්නට පුළුවන්. මේක හැදුවේ පොහොසත් අයම ඉලක්ක කරගෙන නෙවෙයි.

ඔබ මැතිවරණයෙන් දිනුවොත් සහාය දක්වන්නේ ගෝඨාභය ජනාධිපතිතුමාට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරයා ලෙස සිටියත් ඔබ මැතිවරණයට ඉදිරිපත් වෙන්නෙ අපේ ජන බල පක්ෂයෙන්. ඉතින් ඔබ කොහොමද ඡන්දදායකයන් දැනුවත් කරන්නේ?

අපේ ජන බල පක්ෂයේ ලාංඡනය කොඩිය. ඔබේ වටිනා ඡන්දය කොඩිය සලකුණට ලබා දෙන්න. ඒ වගේම අපේ අංකය වන …….ඉදිරියේ ඔබේ මනාපය සලකුනු කරයි කියලාත් මම දැඩි ලෙස විශ්වාස කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා, අපේ ජන ජන බල පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත්වීම මට අභියෝගයක් වුණා. නමුත් මම සාමාන්‍ය ජීවිතයේදී නොයෙක් අභියෝග වලට මුහුණ දුන්නු කාන්තාවක්. ඒ හැම අභියෝගයක්ම ජය ගත්තා වගේ මම මේ අභියෝගයත් ජය ගන්නවා. ඉතිහාසය පුරාම පුරාම, රටට සිද්ධ වීමට ඇති අනතුරු කලින්ම දැකපු, හැම අභාග්‍යසම්පන්න අවස්ථාවකදීම ඒක මුලින්ම හඳුනාගත් හාමුදුරුවන් වහන්සේලා අපේ ජන ජන බල පක්ෂය සමග සම්බන්ධ වී සිටිනවා. උන්වහන්සේලාගේ සෙවණේ සිට කටයුතු කරන්නට ලැබීම ම සතුටට කාරණාවක්. මම අද සත්‍යය පැත්තේ හිටගෙන ඉන්නවා. මම අපේ ජනාධිපතිතුමාට ශක්තියක්වීමට වැඩ කරමින් සිටින බව අපේ මීරිගම ඡන්දදායකයන්ට කියන්නට කැමතියි.

මේ ඡන්ද ව්‍යාපාරයේ අරමුණ සිංහල බෞද්ධ ඡන්ද ලබා ගැනීම කියලා පෙනෙනවා. අවසාන වශයෙන් කියන්න, ඔවුන්ගෙන් ඔබට මොන වගේ ප්‍රතිචාරයක් ලැබෙයි ද කියලා.

අපේ රට, දැය, සමය වෙනුවෙන් පෙරට ආ හාමුදුරුවන් වහන්සේ ප්‍රමුඛ හොඳ කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යවන්න ඕන. අර 225 ම එපා කිව්ව අය පවා මේ මොහොතේ අපේ ජන බල පක්ෂයට සහයෝගය දක්වන බව විශ්වාසයි. ඒ වුණත් තුනෙන් දෙකේ බලය කිසිදු පක්ෂයකට තනිව ලබා ගන්නට බැරි බව තමයි ඇත්ත කාරණාව. ඒ නිසා එතැන දී ජනාධිපතිතුමාට ශක්තියක් වීමට නව දේශපාලන බලවේගයක් අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ තීරක බලය අපි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *