දකුණ සොලවන ඝාතන රැල්ල හික්කඩුවෙන් මතුවෙයි // ගවේෂණාත්මක සටහන

අම්බලන්ගොඩ හික්කඩුව ඇල්පිටිය ඝාතන ත්‍රිකෝණයේ සිට

ජයකාන්ත ලියනගේ වාර්තා කරයි

හික්කඩුව තැපැල් කාර්යාලය අසලදී ඊයේ (23) සවස වෙඩිතබා ඝාතනය කරන ලද අයගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (24) පෙරවරුවේ බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් සමන්ත ද අබ්‍රේව් මහතා විසින් බළපිටිය මූලික රෝහලේ දී පවත්වන ලද අතර මෘත දේහය ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ගෙන ගොස් එහිදී පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙසට බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මේ අනුව අද (24) ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේදී ඝාතනයට ලක් වූ අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණි.

ඝාතනය සම්බන්ධයෙන් හික්කඩුව පොලීසිය අද (24) දිනය වන විට සැකකරුවන් දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන තිබූ බව දැන ගන්නට තිබේ. මෙයින් එක් අයෙක් ඊයේ (23) දිනයේදීත් අනෙක් සැකකරු අද (24) දිනයේත් අඩංගුවට ගෙන තිබේ. මොවුන්ගෙන් පළමුවෙන් අත් අඩංගුවට ගත් පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙන බවත් සැකකරුවන් දෙදෙනාම සම්බන්ධයෙන් තව දුරටත් පොලිස් පරීක්ෂණ පවත්වන බවත් හික්කඩුව පොලීසියට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

ඝාතනයට ලක්ව ඇත්තේ හික්කඩුවේ පදිංචි නල්ලාහන්දි ජනිත් නිශාන්ත (37) නැමැති අයයි. ඊයේ (23) සවස 2.45 ට පමණ ඝාතනයට ලක් වූ අය බද්දේගම – හික්කඩුව මාර්ගයේ හික්කඩුව තැපැල් කාර්යාලය අසලින් පාර මාරු වෙමින් සිටියදී බද්දේගම දෙසින් පැමිණි යතුරු පැදියක පැමිණි දෙදෙනකු විසින් මොහු වෙඩි තබා ඝාතනය කර තිබෙන බව හික්කඩුව පොලීසිය කියයි. යමහා එෆ් – 02 වර්ගයේ යතුරු පැදියකින් පැමිණි පැමිණි දෙදෙනාගෙන් යතුරු පැදියේ පිටුපස පැමිණි අය විසින් ටී – 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බව හික්කඩුව පොලීසිය මෙතෙක් කරන ලද පරීක්ෂණ වලදී තහවුරුකර ගෙන තිබේ. යතුරු පැදියේ පැමිණි දෙදෙනාම කළු පැහැති වයිෆර් සහිත හිස් වැසුම් පැලද සිට ඇති බවද පොලීසිය කියයි. ඝාතනයට ලක් වූ අය සරමකින් හා කමිසයකින් සැරසී ජංගම දුරකතයක් ක්‍රියාත්මක කරමින් පාර මාරු වෙමින් සිටියදි මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

වෙඩි වැදීමෙන් තුවාල ලත් අය බළපිටිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ. වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී ටී – 56 පතුරම් කොපු 02 ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. නමුත් ඝාතනයට ලක් වූ අයගේ සිරුරේ වෙඩි පහර 03 ත් තිබෙන බවද හික්කඩුව පොලීසිය කියයි. මොහු මීට වසර ගණනාවකට පෙර සිදු වූ මිනී මැරුමකට සම්බන්ධ බවත් මේ වන විට අධික ලෙස හෙරෝයින් වලට ඇබ්බැහි වී සිට ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබේ. හෙරෝයින් පානය සදහා විවිධ පුද්ගලයින්ගෙන් කප්පම් ගැනීම් සම්බන්ධයෙන්ද ඝාතනයට ලක් වූ අයට චෝදනා එල්ල වී තිබෙන බවත් හික්කඩුව පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. නමුත් ඔහු ටී – 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමට තරම් දරුණු ගනයේ අපරාධ කාරයෙක් නොවන බවත් ඒ නිසා මෙම ඝාතනය පිටුපස ඔහුගේ සහෝදරයා ඉලක්ක කිරීමක් සිදු වී තිබේද යන්න සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පවත්වන බවත් හික්කඩුව පොලිසියට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

ඝාතනයට ලක් වූ අයගේ සහෝදරයා 2015 මාර්තු 23 දින වෙඩිතබා ඝාතනය කරන ලද හික්කඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් (35) නැමැති අයගේ සමීපතමයෙකු බවද හික්කඩුව පොලීසිය කියයි. නල්ලාහන්දි ලලිත් නිශාන්ත (34) නැමැති ඝාතනයට ලක් වූ අයගේ මෙම සහෝදරයා මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් රහසිගත ජීවිතයක් ගත කරන බවත් ඔහුද මිනී මැරුම් කිහිපයකටම සම්බන්ධ බවට අත් අඩංගුවට ගැනීම සදහා සොයන අයෙකු බවත් හික්කඩුව පොලීසිය කියයි.

මනෝජ් මෙන්ඩිස් ඝාතනයේ ප්‍රධානතම සැකකරුවා වන්නේ නො. 06, තෙල්වත්ත, හික්කඩුව ලිපිනයේ පදිංචි අරුමාහන්දි ලසිත් මධුසංක ද සිල්වා (27) නොහොත් පොඩි ලැසී නැමැති අයයි. මනෝජ් මෙන්ඩිස් ඝාතනය සහ 2016 දෙසැම්බර් 05 දින ඝාතනය කරන ලද අම්බලන්ගොඩ, ඉඩන්තොට, තිරිමාදුර ඉන්දික ද සොයිසා (33), අගම්පොඩි දේවිකා ද සොයිසා (27) සහ ඔවුන්ගේ දරුවා වන තිරිමාදුර රන්දික ද සොයිසා (04) යන පුද්ගල ඝාතනයන් සම්බන්ධයෙන් පොඩි ලැසී මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මනෝජ් මෙන්ඩිස්ගේ කණ්ඩායම සහ පොඩිලැසීගේ කණ්ඩායම අතර දිගු කලක සිට සිට පවතින මරා ගැනිල්ලේ ප්‍රතිඵලයක් ලෙස ඊයේ (23) ඝාතනය සිදු කරන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි. පොඩි ලැසී බන්ධනාගාරයේ සිට මෙම ඝාතනය මෙහෙයවා තිබේද යන්න සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ බවත්වන බවද හික්කඩුව පොලීසිය කියයි.

කරන්දෙණියේ හිතහොද දොස්තර නමින් ප්‍රකට වෛද්‍ය ප්‍රියංක ප්‍රසාද් ජයසිංහ මහතාට 2011 සැප්තැම්බර් 25 දින වෙඩිතබා ඝාතනය කිරීම සහ 2016 ජනවාරි 09 දින අම්බලන්ගොඩ සිට ගලගොඩ දක්වා දිවෙන මාර්ගයේ කැලෑබද ප්‍රදේශයක් වන ඉඩන්තොට යුනර්ලයිට් හෝටලය පිටුපස මාර්ගයේදී කිරින්ද ගමගේ සුසන්ත මෙන්ඩිස් (24) නොහොත් ‘’සුසා” නැමැති අයගේ ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය අත් අඩංගුවට ගෙන තිබුණේ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මාදම්පාගම, ඉඩන්තොට පදිංචි සොබනාහන්දි ජයලත් ද සිල්වා (29), ඔහුගේ සහෝදරයා වන මීටියාගොඩ, මහවත්තේ පදිංචි සොබනාහන්දි සනත් ද සිල්වා (33) නොහොත් ‘’රාජු’’ අම්බලන්ගොඩ, මාදම්පාගම පදිංචි මුරුක්කුවාදුර වසන්ත සොයිසා (24) නොහොත් ‘’වසා” සහ එම ලිපිනයේම පදිංචි අගම්පොඩි සජිත් සමන් ප්‍රියන්ත (20) නොහොත් ‘’සමන් කොල්ලා” නැමැති තිදෙනාය. හිතහොද දොස්තර ඝාතනය සම්බන්ධයෙන් පළමු හා දෙවැනි සැකකරුවන් වන අයිය මලෝ දෙදෙනා සමග චින්තක රුවන් ජයසේන හා යුද්ධ හමුදා කපිතාන් වරයෙකු වූ චන්දන වික්‍රමසිංහ නොහොත් සුදු මල්ලී නැමැති අයද අත් අඩංගුවට ගෙන තිබුණි. මොවුන්ගෙන් සැකකකාර අයිය මලෝ දෙදෙනා මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර ඔවුන් දෙදෙනා පොඩි ලැසීගේ පාතාල කල්ලිය නියෝජනය කරයි. මෙම අයිය මලෝ දෙදෙනාද යුද්ධ හමුදාවෙන් පලාගිය දෙදෙනකු වන අතර හිතහොද දොස්තර ඝාතනයට ඔවුන්ට ආධාර අනුබල දුන් බව කියන සුදු මල්ලී නැමැති අය පෙරේදා (23) හික්කඩුවේදී සිදු කරන ලද ඝාතනයට සහය දක්වා තිබේද යන්න සම්බන්ධයෙන් පොලිසියේ අවධානය යොමව තිබෙන බව හික්කඩුව පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. ගලගොඩ සුසා ඝාතයට ඇප පිට නිදහස්ව තිබියදී 2017 මැයි 30 දින අහුන්ගල්ල, මිද්දරමුල්ලේදී වෙඩිතබා ඝාතනය කරන ලද මාකුඹුර, අහුන්ගල්ල ලිපිනයේ පදිංචි ප්‍රියන්ජන ද සිල්වා (29) නැමැති අයගේ ඝාතනය සම්බන්ධයෙන් සොබනාහන්දි සනත් ද සිල්වා (33) නොහොත් ‘’රාජු’’ නැවතත් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මොහුගේ සහෝදරයා වන හිත හොද දොස්තර ඝාතනයේ ප්‍රධාන සැකකරු සොබනාහන්දි ජයලත් ද සිල්වා (29) යන අයගේ උපදෙස් පරිදි අම්බලන්ගොඩ, ඉඩන්තොට ත්‍රි පුද්ගල ඝාතනය කල බවද පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබුණි.

අම්බලන්ගොඩ, මීටියාගොඩ හන්දියේදී 2016 දෙසැම්බර් 12 දින මීටියාගොඩ හන්දියේ එලවළු, පලතුරු වෙළෙදාමේ නිරත වූ වෙළෙන්දකු වන මහවත්ත, මීටියාගොඩ ලිපිනයේ පදිංචි හික්කඩුව පල්ලියගුරුගේ විපුල් ප්‍රියන්ත (45) නැමැති අය ඝාතනය කර ඇත්දෙ මෙම පාතාල කණ්ඩායම් දෙක අතර ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස බවද අම්බලන්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

2017 මැයි 06 දින පොඩි ලැසීගේ කණ්ඩායම විසින් ඉමදූව, දික්කුඹුර හන්දියේදී ඝාතනය කරන ලද දේමුණි සුදත් ප්‍රියන්ත (42) නොහොත් කළු නැමැති අයද මනෝජ් මෙන්ඩිස්ගේ කණ්ඩායමේ අයෙකි. ඔහුගේ එක් අතක බාහුවේ මනෝජ් මෙන්ඩිස්ගේ ඡායාරූපය පච්ඡයක් ලෙසද කොටා තිබී ඇත.

කලක් එකම කණ්ඩියමේ සිටි මනෝජ් මෙන්ඩිස් හා පොඩිලැසී කණ්ඩායම් දෙකේ මරා ගැනීමේ ඉතිහාසය පොඩිලැසීගේ පියාගේ ඝාතනය දක්වා දිව යන්නක් බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී ඇත. ආරම්භයෙදී පොඩිලැසී සිය පියාගේ ඝාතකයන්ගෙන් පලි ගැනීම සදහා මෙහෙයවන ලද්දේ ඔහුගේ මව විසින් බව කියති. පොඩි ලැසි විසින් සිය පියාගේ ඝාතනයට සැකකරන මනෝජ් මෙන්ඩිස් ඝාතනයෙන් ඇරඹි දකුණේ මරාගැනිල්ල කවදා කෙලවර වේදෝ යන්න දන්නා කිසිවෙක් මිහිපිට නොමැති අතර එය ශ්‍රී ලංකා පොලීසිය ලද දැවැන්ත පරාජයක් බවද කිව යුතුය. මේ වෙනුවෙන් තවත් කොපමණ මිනිස් ජීවිත බිලිදිය යුතුද යන්න විමසිය යුත්තේ පොලීසියෙන් පමණි. දූෂිත බන්ධනාගාර නිලධාරීන් හරහා රිමාන්ඩ් බන්ධනාගාර සැකකරුවන් වෙත ලැබෙන ජංගම දුරකතන මෙම තත්ත්වයට සැලකිය යුතු මට්ටමක වගකීමක් සපයනු ලබයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *