දකුණේ උණ රෝගයෙන්— ජීවිත බිලිගත්තේ ඉන්හේලර් දියරය දැයි සැක

දකුණේ උණ රෝගයෙන්— ජීවිත බිලිගත්තේ ඉන්හේලර් දියරය දැයි සැක

දකුණේ පැතිර යන වෛරස්‌ උණ රෝගයෙන් දරුවන් මිය ගොස්‌ ඇත්තේ ඉන්හේලර් කිරීම සඳහා යොදාගන්නා දියරයක්‌ නිසා විය හැකි බවට පවතින සැකයක්‌ මත එම දියරය භාවිත නොකරන ලෙසට ඊයේ (12 දා) මෙරට සියලු රෝහල්වලට දැනුම් දී තිබේ.

මෙම දැනුම් දීම සියලු රෝහල්වලට “ඔන්ලයින්” මාර්ගයෙන් හා දුරකථන පණිවිඩ මගින් ලබාදී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ “දිවයින”ට ප්‍රකාශ කළේය.

ඉන් හේලර් කිරීම සඳහා ලබා දෙන ට්‍රොපියම් ) ඖෂධයේ කුඩු දිය කිරීම සඳහා මෙම දියරය පකිස්‌ථානයෙන් ආනයනය කර තිබෙන්නේ ගතවූ මාසය ඇතුළතදී බවද හෙතෙම කීවේය.

නිවැරදි පරීක්‍ෂාවකින් තොරව මෙම දියරය රෝහල් වෙත යවා ඇතැයි කී හෙතෙම රෝගීන්ට මෙය භාවිත කරන අතර තුර සාම්පල කීපයක්‌ වෛද්‍ය පර්යේෂණ ආයතනයටත් කරාපිටිය රෝහලේ සහ කොළඹ ළමා රෝහලේ ක්‍ෂුද්‍ර ජීවී විශේෂඥ වෛද්‍යවරුන් වෙත පරීක්‍ෂණ කටයුතු සඳහා ලබා දී ඇතැයිද කීය.

එම පරීක්‍ෂණවලදී මෙම දියරය තුළ ක්‍ෂුද්‍ර ජීවීන් සිටින බවට තහවුරු වී ඇති අතර ඒ අනුව එය භාවිතයට නොගන්නා ලෙස සියලු රෝහල් වෙත දැනුම් දී තිබෙන බවද හෙතෙම කීවේය.

කෙසේ වෙතත් මෙම දියරය මේ වන විට වෛද්‍ය සැපයීම් අංශයේ ගබඩාව තුළ නැති බව එහි නිලධාරියෙක්‌ “දිවයින”ට ප්‍රකාශ කළේය.

මේ වන විට දකුණේ දරුවන් දහඅට දෙනකු (18) මෙම වෛරස්‌ උණ නිසා මරණයට පත්ව ඇත. මෙම දරුවන්ගේ මරණයට සෘජුව වගකිව යුත්තේ මෙම දියරය බවට මෙතෙක්‌ පරීක්‍ෂණවලින් තහවුරු වී නැති නමුත් ඒ පිළිබඳ පවතින සැකය මත එය භාවිත කිරීම අත්හිටු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්‌ පැවසුවේය.

දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *