දකුණු අප‍්‍රිකාවේ ක‍්‍රිකට් හොල්ලන.–.ඉන්දියාවේ ගොවි පවුලකින් ආ දිරිය කත

දකුණු අප‍්‍රිකාවේ ක‍්‍රිකට් හොල්ලන.–.ඉන්දියාවේ ගොවි පවුලකින් ආ දිරිය කත

දකුණු අප‍්‍රිකාවේ ක‍්‍රිකට් හොල්ලන.–.ඉන්දියාවේ ගොවි පවුලකින් ආ දිරිය කත

ක‍්‍රිකට් ලෝකයේ බලපුළුවන්කාරයෝ සිටින්නේ ඉන්දියාවේය. ඉන්දියාවේ සල්ලි නැතිනම් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයටද ක‍්‍රිකට් කරගෙන යෑමට අසීරුය. එබැවින් ඉන්දියාව හැම විටම ක‍්‍රිකට් බලවතා කවුරු වුණත් ඔවුන්ගේ පදයට නටන්නට හැකි පිරිසක් ලෝක ක‍්‍රිකට් පරිපාලනයට තල්ලූ කරයි. මේ කතාව ඉන්දියාවේ ගොවි පවුලක ඉපදුන තරුණියක් දැන් දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් පරිපාලනය කරන හැටිය.

කුගන්ඩි‍්‍ර ගෝවෙන්ඩර් යනු 46 හැවිරිදි වියේ පසුවන කාන්තාවකි. ඇය දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් ආයතනයේ වැඩ බලන ප‍්‍රධාන විධායක නිලධාරිණිය ලෙස ඉකුත් මාසයේ පත්වීම් ලැබුවේ කාන්තාවක් දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් ආයතනයේ එම තනතුරට පත්වූ පළමු අවස්ථාවද සටහන් කරමිනි. නමුත් මේ කතාව ඇය ඉන්දියාවේ ඉපදුන දුප්පත් ගොවි පරම්පරාවක උරුමක්කාරියක් වී දකුණු අපි‍්‍රකාවේ ක‍්‍රිකට් හසුරුවන්නට පැමිණි සුන්දර ගමන ගැනය.

කුගන්ඩි‍්‍රගේ සීයා 1800 ගණන්වල අගභාගයේදී මදුරාසියේ සිට දකුණු අප‍්‍රිකාවේ ඩර්බන් වෙත සංක‍්‍රමණය වී ඇත. ඔහු ඉන්දියාවේ ගොවියෙකු වශයෙන් කටයුතු කරමින් සිටි යුගයේදී මෙම සංක‍්‍රමණය සිදුවී තිබේ. ඩර්බන් වෙත පැමිණි එම ගොවියා උක් වගාව වෙනුවෙන් ඩර්බන් හී පදිංචි වූ අතර එහිදී ඔහුගේ පරම්පරාවට උපන් දියණියකගේ දියණියක් අද දකුණු අපි‍්‍රකාවේ ඉහළම ක‍්‍රිකට් පුටුව දක්වා ගොස් තිබේ.

දුප්පත්කම හේතුවෙන් ඉගෙනීම නවත්වන ලෙසට කුගන්ඩි‍්‍රට දෙමාපියන් කියු වාර ගණන් අසීමිතය. නමුත් තමාගේ ඉගෙනීමට ඇති හැකියාව ඇය වටහා ගත් බැවින් ඒ ශිල්පය අත නොහැර ඉදිරියටම ගොස් දැන් නැවතී ඇත්තේ ලොව දරුණුතම ක‍්‍රිකට් පරිපාලනය හසුරුවන්නට තරම් බලසම්පන්න ජවයකින් සහ උපාධිවලින් සන්නද්ධවය.

දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් හැසිරවීම පිරිමියකුටවත් කළ හැකි කර්තව්‍යයක් නොවේ. එහි ඇති දූෂණ, අක‍්‍රමිකතා, වර්ගවාද ඇතුළු අලකලංචි ඉතිහාසය පුරාම තිබුණි. මෙවර කුගන්ඩි‍්‍රටද හිමිවූ තනතුර ලොකු වුවද දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් යනු කුණු ගොඩකි. හිටපු ලොක්කන් සල්ලි පිල්ලි ගසා මාරුවී තිබේ. එබැවින් දකුණු අප‍්‍රිකානු ජාතික ක‍්‍රිකට් කණ්ඩායමටත් පඩි දීමට නොහැකිව නාස් පුඩු දෙකටම ක‍්‍රිකට් ආයතනය හිරවී තිබේ. නමුත් මේ නාඹර කෙල්ල පැය 17 ක් ඒ වෙනුවෙන් දවසට කැප වෙමින් දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් හදන්නට කරන වෑයම ශ‍්‍රී ලංකාවද කොපි කළ යුතු ආදර්ශවත් චරිතයකි.

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් හදන්නට දිනකට පැය 17 ක් වෙහෙසෙන සේවකයෙක් ඉතිහාසයේ සිටියේද යන්නවත් අපි නොදනිමු. එබැවින් මේ දිරිය කත ලෝක ක‍්‍රිකට් ක‍්‍රීඩාවටම අපූරු පණිවුඩයක් දීමට දැන් සැරසී සිටින්නේ අනාගත දකුණු අපි‍්‍රකානු ක‍්‍රිකට් ඔසවා තැබීමේ පීඩනයද කරමත දරාගෙනය. නමුත් තමන් පැමිණි කටුක ගමන ඇයට නිතරම ආභරණයක් වූවාය.

‘‘මම හැදී වැඩුණේ සාමාන්‍ය ඉන්දියානු නිවසක. මගේ වෘත්තීය ගමනට මගේ දෙමාපියන් එපා කියූ අවස්ථා බොහොමයක් තියෙනවා. ඒ අය හිතුවෙත් නැහැ මම මෙච්චර දුරක් ඒවි කියලා. මම මගේ අම්මා සමග කතා කරන විට නිතරම මම මැජික් වචන ටිකක් භාවිතා කළා. එහිදී මම නිතරම කිව්වේ මම මගේ වෘත්තීය ගොඩනගා ගත යුතුයි කියලා. මගේ අම්මා පාසල් අධ්‍යාපනය ඒ තරම් කරලා නැති වුණත් ඇය බුද්ධිමත්. ඒ නිසා මට මේ ගමන එන්න පුළුවන් වුණා. ’’ යැයි ඇය පැවසුවාය.

කුගන්ඩි‍්‍රගේ මව සහ පියා දකුණු අප‍්‍රිකාවේ රෙදි කම්හලක සේවය කර තිබේ. ඇයටද එක්තරා කාලයක දකුණු අප‍්‍රිකාවේ වර්ණ භේද වාදය හේතුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයද අඩපණ කර ගැනීමට සිදුවිය. ඒ කාලයේදී දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට්ද තහනමට පත්ව තිබුණි. එබැවින් දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් ඔසවා තබන හැටි ඇය තුළ හොඳ සැලැස්මක් ඇත්තේ ඉන්දියාවේ ක‍්‍රිකට් උණද ඇති නිසාය.

‘‘දකුණු අප‍්‍රිකාවේ තිබුණ වර්ණභේද වාදය නිසා අපිට ඒ කාලයේදී ඉන්දියානුවන් සමග විතරක් ජීවත් වීමට සිදු වුණා. එහිදී මම ගියේ ඉන්දියානුවන් ඉන්න මිශ‍්‍ර පාසලකට. ’’ මේ සිදුවීම්වලින් තෙම්පරාදු වී සිටින කුගන්ඩි‍්‍ර දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් ප‍්‍රධාන පුටුවට පැමිණි පසු ග‍්‍රැහැම් ස්මිත්, මකායා නිට්නි සහ ලූන්ගි එන්ගිඩි යන කළු සුදු සියලූ දෙනා සමගම සාකච්ඡා කරමින් දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට්වලට අවශ්‍ය සහය ලබා ගැනීමට සමත්ව තිබේ. එය ඇතැම් විට විවේචනයට ලක්වූ අවස්ථා තිබුණද හරි දේ කරන්නට ඇය නිර්භීතව වූවාය.

දකුණු අප‍්‍රිකාවේ ජීවත්වන්නට කුගන්ඩි‍්‍රට හැකි වූයේ ඇගේ සීයා වන ෂුන්මුගන් ගෝවේනඩර් නිසාය. එබැවින් කුඩා කාලයේ ඇය හැදී වැඩුණු ඩර්බන් හී වෙරුලම් ගොවිපොළේ කාලය ගත කිරීමටද ඇය තවමත් ප‍්‍රියතාවයක් දක්වයි. ‘‘මගේ සීයා කම්කරුවකු ලෙස තමයි ඩර්බන්වල උක් ගොවිපොළකට ආවේ. ඔහු බොහොම වෙහෙස මහන්සි වී වසර ගණනාවක් වැඩ කළා. පසුව මගේ සීයා ඉඩමක් මිලදී ගත්තා. මගේ අම්මා විවාහ වුණාට පස්සෙ ඒ ගොවිපොළේ වැඩ කළා. අපේ කුඩා කාලය පොහොසත් මිනිස්සු වගේ නොවුණත් පී‍්‍රතිමත් කාලයක් එහිදී තිබුණා. මුළු දවසම වෙහෙස මහන්සි වී වැඩ කරන ආකාරය ඒ කාලයේ සිට මම දැන ගත්තා. ’’

කුගන්ඩි‍්‍ර ක‍්‍රිකට් කෙරෙහි ඇල්මක් දක්වන්නේ ඇයගේ වැඩිමහල් සොහොයුරන් දෙදෙනා ක‍්‍රිකට් ක‍්‍රීඩා කළ බැවිනි. පසුව විශ්වවිද්‍යාලයේදී ඇයද ඩර්බන් හී කිංස්මිඞ් ක‍්‍රීඩාංගණයේදී ක‍්‍රීඩා කිරීමටත් එහි සේවය කිරීමටත් ස්වචේඡාවෙන්ම ඉදිරිපත්ව තිබේ.

‘‘ස්වාභාවිකම කාන්තාවක් නායිකාවක් වන්නේ සංවේදනය තුළින්. එය නිෂ්පාදනය කළ හැකි ගුණාංගයක් නොවේ. අර්බුද කළමනාකරණය කිරීමේදී කාන්තා නායකත්වය වඩාත් ඵලදායි වෙනවා. කෝවිඞ් 19 වසංගතය අතරතුර අපි එය දැකලා තියෙනවා. ජර්මනියේදී මර්කෙල් කර දේත් නවසීලන්තයේදී ජසින් කළ දේත් අපි දැක ඇත්තෙමු. ’’ යැයි කුගන්ඩි‍්‍ර පැවසුවාය. ඒ අනුව ඇයට දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් ඔසවා තැබීම අපහසු නොවන බවටද ඉඟි කළාය.

ගොවි පවුලක ඉපදුන කුගන්ඩි‍්‍ර දැන් දකුණු අප‍්‍රිකානු කි‍්‍රකට් හදන්නට අත ගසා ඇත්තේ අනුග‍්‍රහකයන් සමග ඉහළම සබඳතාවක් පවත්වමිනි. ඇය විශ්වාසය, විනිවිදභාවය, හානි කර චෝදනා මෙන්ම කණ්ඩායම් තේරීමේදී ඇති කළ යුතු ප‍්‍රතිපත්ති යන සෑම අංශයක් කෙරෙහිම ඇස් යොමා තිබේ.

‘‘මම ඔබට කියන්නෙ වෙනසක් අවශ්‍ය නම්, ඔබ දැකීමට අවශ්‍ය වෙනසෙහි කොටසක් වීමට ඔබ සූදානම් විය යුතුයි. අපේ රට එක්සත් කිරීමට ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ බලය පෙන්වීමට පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ’’ යැයි මෙම නිර්භීත තරුණිය සිය රාජකාරිය ආරම්භ කරමින් පැවසුවාය.

උපුටා ගැනිම–දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *