තැපැල් සටනට දින 14යි– වෘත්තීය සමිති 25ක සහාය ලබාගැනීමට තීරණ

තැපැල් සටනට දින 14යි– වෘත්තීය සමිති 25ක සහාය ලබාගැනීමට තීරණ

අඛණ්‌ඩ වැඩවර්ජනයේ සහ උපවාසයේ යෙදී සිටින තැපැල් සේවකයන්ට විසඳුමක්‌ නොලැබීම නිසා සහෝදර රාජ්‍ය ආයතනවලට සම්බන්ධ වෘත්තිය සමිති 25 ක සහය ලබාගැනීමට අද (25 වැනිදා) ගිවිසුම් ගතවන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්‌ඩාර මහතා පැවැසීය.

මෙම ගිවිසුම් ගතවීමට ලංකා බැංකු, ලංකා වතුකම්කරු, වරාය, අධ්‍යාපනය, ගුරු සංගම්, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්‌ථානයට අයත් සංගම්ද එක්‌වන බව ඒ මහතා කීවේය.

අදට (25 වැනිදා) දින 14 ක්‌ සපිරෙන තැපැල් වර්ජනයට විසඳුමක්‌ ලබාදීමට බලධාරීන් කටයුතු කර නොමැති බවත් ඊයේ (24 දා) මේ සම්බන්ධයෙන් මල්වතු සහ අස්‌ගිරි පාර්ශවවල මහනාහිමිවරුන් බැහැදැක තැපැල් සේවක ගැටලුව සම්බන්ධයෙන් උන්වහන්සේලා දැනුවත් කළ බවද ඒ මහතා සඳහන් කළේය.

තැපැල් සේවකයන් වසර 12 ක්‌ තිස්‌සේ තමුන්ට බලපාන ගැටලුවට විසඳුම් ලබාදෙන ලෙස කළ ඉල්ලීම්වලට බලධාරීන් විසඳුමක්‌ ලබානොදීම නිසා අඛණ්‌ඩ වැඩවර්ජනය පටන්ගත් බවත් තම ගැටලුවට විසඳුම් ලැබෙන තෙක්‌ වැඩවර්ජනය අත්නොහරින බවත් චින්තක මහතා කීය. මේ සම්බන්ධයෙන් අද (25 වැනිදා) දහවල් 12.00 ට තැපැල් දෙපාර්තමේන්තු මූලස්‌ථානය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක්‌ පවත්වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *