තල්මසාගෙන් සැදෙන කෝටි 37 ක ඇම්බර් ධීවරයින්ට අහිමියි-රාජසන්තක යි

තල්මසාගෙන් සැදෙන කෝටි 37 ක ඇම්බර් ධීවරයින්ට අහිමියි-රාජසන්තක යි

මුන්දලම මුහුදු තීරයේදී නාවික හමුදාවෙන් සොයාගත් කෝටි 37 ක ඇම්බර් රාජසන්තකයි

මුන්දලම – උඩප්පුව මුහුදු තීරයේදී නාවුක හමුදාව මගින් සොයා ගනු ලැබු කෝටි තිස්‌ හතක්‌ (37) පමණ වටිනාකමක්‌ ඇතැයි සැළකෙන “ඇම්බර්” නොහොත් “ඇම්බර්ග්‍රීස්‌” නමැති ද්‍රව්‍යය සම්බන්ධයෙන් ධීවරයන් හා නාවුක හමුදාව අතර පැවැති නඩුව හමාර කරමින් එම ඇම්බර් කිලෝ 32.3 ක ප්‍රමාණය රාජසන්තක කිරීමට පුත්තලම දිසා විනිසුරු හා මහෙස්‌ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේය.

එසේම මෙම ඇම්බර් තොගය ජාතික නාරා ආයතනය මගින් තක්‌සේරු කොට වටිනාකම තහවුරු කොට ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමටද මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කරන ලදී.

මෙකී තීන්දුවට එරෙහිව පැමිණිලි පාර්ශ්වය වන ධීවරයෝ අභියාචනාධිකරණය වෙත ඇපෑලක්‌ ඉදිරිපත් කළහ.

පසුගිය 2016 වසරේ ඔක්‌තෝබර් මස මුන්දලම පොලිසිය විසින් ගොනු කරන ලද මෙම නඩුව පුත්තලම මහාධිකරණයේත් මහෙස්‌ත්‍රාත් අධිකරණයේ දිගු කලක්‌ ඇසුණේ ධීවරයන් මෙන්ම නාවුක හමුදාවද මෙම ඇම්බර් තොගයේ අයිතිය තමන් සතු බව අධිකරණය හමුවේදී ප්‍රකාශ කිරීම නිසාය.

ධීවරයන් පැවැසුවේ කොළඹට නුදුරු කලුතර ප්‍රදේශයේදී මුහුදේ පාවෙමින් තිබියදී තමන් පීනා ගොස්‌ එය රැගෙන අවුත් කල්පිටිය උඩප්පුව ප්‍රදේශයේදී ගොඩ බා තිබු අවස්‌ථාවේදී නාවුක හමුදාව එය අත්අඩංගුවට ගත් බවය.

නාවුක හමුදාව ප්‍රකාශ කර සිටියේ වැල්ලේ සඟවා තිබියදී තමන් ආරක්‍ෂාව පතා ඒවා අත්අඩංගුවට ගත් බවයි.

ධීවර පිරිස්‌ පැවැසුවේ මෙවැනි මුහුදේ පාවෙන ද්‍රව්‍ය සම්මතයක්‌ ලෙස හිමි වන්නේ දුප්පත් ධීවරයන්ට බවත් මෙම නඩු තීන්දුව පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බවත්ය.
උපුටා ගැනිම–දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *