තනි පුද්ගලයෙකුගේ උවමනාවට මිනුවන්ගොඩ නගර සංවර්ධනය කඩාකප්පල් කර දැමීමට ඉඩ දෙන්නේ නෑ — මිනුවන්ගොඩ නගරාධිපති

මිනුවන්ගොඩ නගර සංවර්ධනය නගරාධිපතිගේ අභිමතයට යටවෙලා -යන පුවතට ආදාලව ලිපියක් මිනුවන්ගොඩ නගරාධිපති නිල් ජයසේකර මහතා අප වෙත යොමුකර ඇත

මිනුවන්ගොඩ නගරාධිපති තුමන් එවන ලද ලිපිය මගින් සදහන් කරණ කරුණු කිහිපයකට නැවත අවධානය යොමු කරවමි. එනම් ඇතැම් දේශපාලකයන් හෝ ව්‍යාපාරිකයන් අධිකරණයට යාම නිසා සංවර්ධනය ප්‍රමාද වූ බවයි .ගරු නගරාධිපතිතුමනි යම් පුරවැසියෙකු අධිකරණයට යන්නේ තමන්ගේ අයිතිවාසිකම් නීත්‍යානුකුලව ලබාගැනීම සදහාය.එය මිනිස් අයිතිවාසිකමකි එහි හරි වැරැද්ද තීරණය කරන්නේ අධිකරණය බව පමණක් අපගේ පුවතේ සමස්ත සාරාංශය බව සදහන් කරමි.

ඒ හැරෙන්නට ඔබ තුමගේ පියාගේ කඩය ගැන සදහන් කරන්නේ අදාල ඉඩම් හිමිකරුගේ ප්‍රකාශය මගිනි ඒ ඔහුගේ අදහස මිස අප වෙබ් අඩවියේ අදහසක් නොවේ.ඔබට ඒ සම්බන්ධයෙන් යම් සිත්තවුලක් සිදුවීනම් ඔබගේ ප්‍රකාශය ඇතුලත් මෙම ලිපිය මගින් එය නිශේධනය වනු ඇත. ගරු නගරාධිපතිතුමන් විසින් මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති තුමන්ට එරෙහිව සිදුකරන චෝදනාව සම්බන්ධයෙන් අප ඔහුගෙන් විමසීමක් සිදු කිරීමට බලාපොරොත්තු නොවෙමි. මන්දයත් එය රජයේ සේවකයෙකු සහ මහජන සේවකයෙකු අතර ගැටුමක් ඇති කිරීමක් වන නිසා සහ එම ගැටළුව ප්‍රසස්ථ අයුරින් විසදිය යුතුයයි අප සිතන නිසාය.එබැවින් අප පලකල ලිපිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ නගර සභාවේ ගරු නගරාධිපති නීල් ජයසේකර මහතා අප වෙත එවන ලද ලිපිය මාධ්‍ය සදාචාරයට ඉහලින්ම ගරු කරමින් කිසිදු සංශෝධනයකින් තොරව පලකරමි.

 

සංස්කාරක

ලංකා ඒ බී සී නිවුස් වෙබ් අඩවිය

මහත්මයාණෙනි,

“මිනුවන්ගොඩ නගර සංවර්ධනය නගරාධිපතිගේ අභිමතයට යටත් වෙලා” මැයෙන් 2018.12.15 දින ඔබ වෙබ් අඩවියේ පලව ඇති වාර්තාව හා බැඳේ. මෙම වාර්තාව සාවද්‍යය. එහි සඳහන් බොහෝ කරුණු නිවැරදි නැත. මිනුවන්ගොඩ නගර සංවර්ධන සැලසුම සැකසුණේ 2000 වසරේ දීය. 2000වසරේ සැකසුනු මිනුවන්ගොඩ නගර සංවර්ධන සැලැස්ම වසර 18ක් තිස්සේ ක්‍රියාත්මක වූයේ කොටස් වශයෙනි. මෙම නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට යාමේදී ඇතැම් ව්‍යාපාරිකයන් හා දේශපාලඥයින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමද මෙම ප්‍රමාදයට හේතු විය. මෙම නඩු පවරා සිටි අය අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මිනුවන්ගොඩ නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ නිව්ටන් කුරුකුලසූරිය මහතාගේ බිරිඳ ද සිටීම විශේෂත්වයකි.

වාර්තාව මගින් පවසනු ලබන ඉඩමට අදාල සංවර්ධන කටයුතු ප්‍රමාද වී තිබුණේද හිටපු නගරාධිපතිවරයාගේ එජාප බිරිඳ වන නුර් ෆයිදා මහත්මිය පවරා තිබූ නඩුවක් නිසාය.

අදාළ ඉඩම නගර සංවර්ධනය සඳහා නගර සභාවට පවරා ගෙන ඇත්තේ 1999 ජූලි 22 අංක 1089 /18 හා 2001 ජනවාරි 4 වන දින 1165/ 19 /2001 යන ති විශේෂ ගැසට් පත්‍රය අනුව ය. මෙය නගර සභාවට පවරා ගෙන ඇත්තේ ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ 38 (ආ) වගන්තිය යටතේ ය. මෙම පවරා ගැනීමට එරෙහිව හිටපු නගරාධිපතිවරයාගේ (එජාප) බිරිඳ අධිකරණයට ගොස් තිබිණි. අභියාචනාධිකරණයේ අංක AC/ PHC/ 112/ 2008 යටතේ විභාගවූ නඩුවේ තීන්දුව 2015.12.14 ප්‍රකාශයට පත්වූ අතර, එමගින් මෙම ඉඩම රජය සතු ඉඩමක් බව ප්‍රකාශ විය.

අධිකරණ තීන්දුවෙන් පසුව ද අදාළ ඉඩම නගර සභාවට පවරා දීම හිටපු නගරාධිපතිවරයාගේ (එ.ජා.ප) බිරිඳ ප්‍රතික්ෂේප කර ඇත. ඒ සම්බන්ධයෙන් මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම්වරයා නැවත අධිකරණයට යාමට සූදානම් වූ විට, ඉඩම නගර සභාවට පවරා දීමට ඇය කටයුතු කළාය. ඒ 2018.08. 01 වන දිනයි.

මෙම ඉඩමට අදාළ නඩුව විභාග වන කාලය තුළ හිටපු නගරාධිපතිවරයාගේ බිරිඳ, නන්දාවතී නමැත්තියට මෙම ඉඩම හොර රහසේ විකුණා දමා තිබූ අතර, නන්දාවතී නැමැත්තිය විසින් මොහොමඩ් නැමැත්තාට මෙම ඉඩම විකුණා තිබිණි. ඒ 2002 වසරේදීය.

ඒ අනුව එම ඉඩම නගර සංවර්ධන සැලසුමට අනුව යෝජිත මාර්ගය ඉදිකිරීමට නගර සභාවේ 2018.11.13 දින සභාවට යෝජනා වූ අතර,එය ඒකමතිකව සම්මත විය. ඒ සඳහා විපක්ෂනායක (එ.ජා.ප.) ශ්‍රීමාල් මාරසිංහ මහතා විරුද්ධ වූ බව අදාළ වාර්තාවේ සඳහන් වුවද, මෙම යෝජනාව සම්මත වූයේ ඒකමතිකව බව අවධාරණය කරමි.මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන වෙන් කෙරුණේ 2018 වසරේ නගර සභා අරමුදල් වලින් වන අතර, ඒ අනුව මේ වසරේ දෙසැම්බර් 31 දිනට පෙර වැඩ අවසන් කළ යුතුව ඇත. මේ නිසා 2018 දෙසැම්බර් මුල් සතියේ ආරම්භ කිරීමට කටයුතු කළෙමි. ඊට අදාල සියලු ලිපි ලේඛන ද මේ සමග ඔබ වෙත එවමි.

නගර සභාව මගින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ විට මොහොමඩ් රිනොස් නැමැත්තා ඊට එරෙහිව මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි කළ අතර, අප විසින් මීට අදාළ නගර සභාවේ අයිතිය තහවුරු කරනු ලබන ලියකියවිලි මිනුවන්ගොඩ පොලිසියට ඉදිරිපත් කළෙමු. එහෙත් මිනුවන්ගොඩ පොලිස්පතිවරයා නගර සභාවේ ලිපිලේඛන පිළිනොගෙන අන්තනෝමතික ලෙස ව්‍යාපෘතිය නතර කිරීමට උත්සාහ කළ අතර, එයට එරෙහිව ගම්පහ ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් උපදෙස් දුන්නේ, මෙම ව්‍යාපෘති නීත්‍යානුකූල බැවින් එය ක්‍රියාත්මක කිරීමට නගර සභාවට ආරක්ෂාව හා සහයෝගය ලබාදෙන ලෙසය.

ඒ අනුව මිනුවන්ගොඩ නගර සභාව අදාළ ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට කටයුතු කළ අතර, එය වැළැක්වීම සඳහා මොහොමඩ් රිනොස් නැමැති අය කළුගල් සහ කන්ටේනර් පෙට්ටියක් යොදාගෙන නගර සභාවේ සේවකයන්ට ඊට ඇතුළුවීම වැළැක්වීමට පියවර ගෙන තිබේ. එය කර ඇත්තේ රජයේ නිවාඩු දිනයක් වන නත්තල් දිනයේ ය. ඊට එරෙහිව නගර සභා සේවකයන් මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි කළ ද, ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැත. පොලිසිය ද මෙහිදී කටයුතු කළේ නගර සභාවේ සංවර්ධන ව්‍යාපෘතිය අඩාල කිරීම සඳහාය.

තනි පුද්ගලයෙකුගේ උවමනාවට නගර සභාවේ සංවර්ධන ව්‍යාපෘති අන්තනෝමතික ලෙස කඩාකප්පල් කිරීමට මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කිරීමට එරෙහිව අප විසින් නැවත ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයාට පැමිණිලි කර ඇත. මෙම ඉඩම නගර සභාව සතු දේපලකි. අදාළ පුද්ගලයා සිදුකරන්නේ පොදු දේපල පනත උල්ලංඝනයකි. පොලිස් ස්ථානාධිපතිවරයා සිදු කරන්නේ ඒ සඳහා වක්‍රාකාරයෙන් සහාය පළ කිරීමයි. ඊට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට අපි අපේක්ෂා කරමු. මිනුවන්ගොඩ නගර සංවර්ධනය නගරාධිපතිගේ අභිමතයට ම සිදුකරන බවත්, මගේ පියාගේ ගොඩනැගිල්ලට යාමට මාර්ගයක් සකසා ගැනීමේ අරමුණින් මෙය සිදුකරන බවත් එම වාර්තාවේ සඳහන්ය.

මෙය මම දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමි. මගේ පියාට අයත් ගොඩනැගිල්ල ඇත්තේ, මිනුවන්ගොඩ කටුනායක – මීගමුව ප්‍රධාන මාර්ගයට මුහුණලා ය. එම ගොඩනැගිල්ලට ප්‍රවේශ මාර්ගයක් අවශ්‍ය නැත. අනෙක් අතට මිනුවන්ගොඩ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු, විපක්ෂ නායකවරයෙකු, ලෙස වසර 20ක කාලයක් කටයුතු කර ඇති මම, මගේ පෞද්ගලික උවමනාවන් වෙනුවෙන් මන්ත්‍රී ධූරය, විපක්ෂනායක ධූරය භාවිත නොකළ බව මිනුවන්ගොඩ නගර වාසී ජනතාව ඉතා හොඳින් දන්නා කරුණකි. වසර විස්සක් මා මිනුවන්ගොඩ නගර සභාව නියෝජනය කරන්නේ ත්, මෙවර නගරාධිපතිවරයා ලෙස මා යෝජනා වන්නේත් ඒ විශ්වාසය නිසාය.

මිනුවන්ගොඩ නගරයෙන් දෛනිකව සේවාවන් ලබා ගන්නා පිරිස ලක්ෂයකට අධිකය. වසර ගණනාවක් ඉබිගමනේ ගිය මිනුවන්ගොඩ නගර සංවර්ධනය ප්‍රසන්න රණතුංග මැතිතුමාගේ උපදෙස් පරිදි අප වේගවත් කළේ, ජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අරමුණ පෙරදැරිවය. මිනුවන්ගොඩ නගර සංවර්ධනයේදී මට ඇත්තේ එකම අභිමතයකි. ඒ ජනතාවගේ අභිමතයයි. කුමන බාධක පැමිණියද කවුරු ඒ සඳහා බාධා කළ ද, කුමන මඩ අවලාද නැගුවද, මිනුවන්ගොඩ ජනතාව වෙනුවෙන් නගර සංවර්ධනය නිසිලෙස ක්‍රියාත්මක කරන බව මම සපථ වෙමි. ඒ ජනතා අපේක්ෂාවන් යථාර්ථයක් කිරීම මාගේ ප්‍රතිපත්තිය නිසාය.

ස්තූතියි

මෙයට

විශ්වාසී

නිල් ජයසේකර

සභාපති

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *