ජවිපෙට බලය දීල බලන්න රට ගොඩදාන හැටි පෙන්වනවා

ආණ්ඩුව ඉස්තාලය වසන්නේ අශ්වයා පැන ගිය පසුව බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

මුදල් ඇමති මංගල සමරවීර මහතා මැති ඇමතිවරුන්ගේ වාහන ආනයන බලපත්‍ර අහෝසි කළද මේ වනවිට ඔවුන්ට අවශ්‍ය වාහන ගෙන්වා අවසන් බවත් ආනයන බලපත්‍ර අහෝසි කිරීමෙන් පලක් නොමැති බවත් විජිත හේරත් මහතා පැවසීය. ඒ මහතා මේ බව පවසා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වන ජනහමු දස දහසේ ඊයේ (29) දින ගම්පහ පැවති ජන හමුවක් අමතමිනි.

තෙල් මිල වැඩිකර ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව පියවීමට කටයුතු කරන පසුබිමක එහි ලාංඡනය වෙනස් කිරීමට රුපියල් කෝටි 300ක් අනුමත කරන්නේ කෙසේදැයි ඒ මහතා ප්‍රශ්න කර සිටියි. එසේම ඉන්ධන මිල සූත්‍රය රටට හෙලි කරන ලෙස කොතෙකුත් පැවසුවද එය ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කර නැති බව විජිත හේරත් මහතා පවසයි.

මෙසේ නාස්තිකාර වියදම් සිදුකරමින් රටේ ආර්ථිකය කෙලින් සිටුවීමට නොහැකි බවත් අවුරුදු 5ක් ජනතා විමුක්ති පෙරමුණ බලයට පත්කරන්නේ නම් එම කාලය තුළ මෙරට ආර්ථිකය සංවර්ධනය කිරීමට තම පක්ෂයට හැකි බවත් විජිත හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *