ජනපති දුන් සහන මෙන්න

ජනපති දුන් සහන මෙන්න

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අපහසුතාවයටපත් ජනතාවට තමා වෙත පැවරී ඇති බලතල යටතේ සහන රැසක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව මෙම සියළු සහන අද (24) දිනයේ සිට ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

මෙම සහන ජනතාවට ලබාදීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාට, සියළු අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්ට සහ සියළුම බැංකු, මූල්‍ය ආයතන සහ කල්බදු ආයතන ප්‍රධානීන් වෙත නියෝග කර තිබේ.

ඒ අනුව ආදායම් හා වැට් බදු, රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු රුපියල් 15,000 කට අඩු ජල, විදුලි බිල්පත්, වරිපනම් බදු, බැංකු චෙක්පත්, වලංගු කාලසීමා මෙන්ම රුපියල් 50,000 කට අඩු මාසික ණයපත් ගෙවීම අප්‍රේල් මස 30 වන දින දක්වා දීර්ඝ කර ඇතිබව සදහන්.

ත්‍රීරෝද රථ හිමියන්ගේ ලීසිං ණය වාරික අයකර ගැනීම මාස 6කට අත්හිටුවා තිබේ.

රාජ්‍ය සේවකයින්ගේ හා පෞද්ගලික අංශයේ මාණ්ඩලික නොවන සේවකයින්ගේ වැටුපෙන් ණය වාරික අය කිරීම් මැයි මස 30 වන දින දක්වා අත්හිටුවා ඇතිඅතර බැංකු හා මූල්‍ය ආයතන විසින් ලබාදී ඇති රුපියල් ලක්ෂ 10 ට අඩු පෞද්ගලික ණය අයකර ගැනීම මාස 3 කට අත්හිටුවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

එමෙන්ම රැකියා සදහා තෝරාගත් උපාධිධාරීන්ගේ මාර්තු මස අභ්‍යාසලාභී දීමනාව වන රුපියල් 20,000 ඔවුන්ගේ බැංකු ගිණුමට බැර කිරීමට ද තීරණය කර තිබේ.

කොරෝනා වෛරසය මර්දනයේ නිරත සෞඛ්‍ය, පොලිස්, සිවිල් ආරක්ෂක ඇතුළු රජයේ සේවකයින් සදහා වන අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ දෙගුණයකින් වැඩි කිරිමට ද තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

මාසික ණය මුදල රුපියල් 50,000 දක්වා වන දේශිය ගණුදෙනු සදහා භාවිත ණය පත් සදහා ණය පොලී අනුපාතය සියයට 15ක උපරිමයකට යටත් කිරිම හා අවම මාසික අය කිරිම සියයට 50කින් අඩු කර තිබේ.

ඇදිරි නීතිය නොමැති අවස්ථාවල සියලුම බැංකු ශාඛා ගණුදෙනුකරුවන්ට උපරිම සේවාවක් සැලෙසෙන පරිදි විවෘතව තැබීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.

ශ්‍රී ලංකා වරාය රේගුව සහ සෙසු නියාමන ආයතන අත්‍යාවශ්‍ය ආහාර,
පොහොර, ඖෂධ හා ඉන්ධන අඛණ්ඩව අදාල පුද්ගලයින්ට නිකුත් කළ යුතු බවට ද එහි සදහන්.

මීට අමතරන සමෘද්ධි ලාභීන් සහ සමෘද්ධි කාඩ් පත් හිමියන්සදහා රුපියල් 10,000ක පොලි රහිත අත්තිකාරම් මුදලක් සියලුම සමෘද්ධි සංගම් මගින් ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව මෙම තීරණ වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයාගේ නියමය මත ජනාධිපති ලේකම්වරයා විසින් අදාල නිළධාරින්ට දැනුම්දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *