ගෝඨාගේ රජය – රාජ්‍ය සේවකයාට නිසි තැන දෙනවා. ඉන්දික අනුරුද්ධ

ගෝඨාගේ රජය – රාජ්‍ය සේවකයාට නිසි තැන දෙනවා.
ඉන්දික අනුරුද්ධ

යහපාලනය කටයුතු කළේ රාජ්‍ය සේවය දියකර හරින්නටයි. අද ලක්ෂ විස්සකට ආසන්න වූ රාජ්‍ය සේවකයන් සිටිනවා. දැන් ඔවුන්ට නිසි පිළිගැනීම දී තිබෙනවා. රාජ්‍ය සේවකයන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘති පටන් ගන්න කියලා නිවාස සංවර්ධන අධිකාරියට ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා. දැනටත් අපි ගම්පහ දිස්ත්‍රික්කයේ ඒ නිවාස ඉදි කිරීම් සඳහා සුදුසු ඉඩම් හඳුනා ගෙන මූලික සැලසුම් හදමින් සිටිනවා යයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ධූරාපේක්ෂක ඉන්දික අනුරුද්ධ මහතා ඊයේ පස්යාලේ පැවති ජන හමුවකදී ප්‍රකාශ කළේ ය.

අනුරුද්ධ මන්ත්‍රීවරයා මෙසේද කියා සිටියේය.

අපි පොදු ජන පෙරමුණ කියන නව පක්ෂය හදලා පැවැති මැතිවරණ දෙකෙන්ම ජයග්‍රහණය කළා. ඒක අපි බාර ගත්ත අභියෝගයක්. ඔබේ ගමේ අවුරුදු හතළිහක් තිස්සේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දැරූ මේ මහත්මයා දැන් අපේ පොදු ජන පක්ෂයට එකතු වුණා. එකතු වෙලා එතුමා දැන් කිව්වා, ගෝඨාභය ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ ගැන පැහැදිලා අපේ පක්ෂය හා එකතු වුණා කියලා. ඒක තමයි සැබෑ වෙනස. රට සහ රටේ අනාගතය ගැන හිතන ආදරණීය මිනිස්සු ඡන්ද පොළට ගියාම මතක් වෙන්නේ අංක වලට වඩා ගෝඨාභය ගැනයි.

කොරෝනා වසංගතය දැන් ආයෙත් හොල්මන් කරනවා. එහෙම වුණත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව තුළ මැතිවරණය සම්බන්ධයෙන් ඇති උනන්දුව පැහැදිලිව දකින්නට තිබෙනවා. ඇයි ඒ මෙහෙම උනන්දුවක්? ජනතා පරමාධිපත්‍ය රැක ගැනීම පිළිබඳව ජනතාව තුළ ඇති උනන්දුවයි.

සාමාන්‍යයෙන් සිදු වන්නේ, ඕනෑම ජනාධිපතිවරණයකට වඩා, මහ මැතිවරණයකදී පාවිච්චි වන ඡන්ද ප්‍රමාණය අඩුවීමයි. නමුත් එළැඹෙන පස්වෙනි දා 80% කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ලැබෙන බවත්, එසේ වන්නේ තුමා රට කරවන ආකාරය පිළිබඳව ජනතාව දක්වන ප්‍රසාදය නිසා බවත් කිව යුතුයි.

පසුගිය ජනාධිපතිවරණයේදී ගම්පහ අපි දිනා ගත්තේ ඡන්ද 865000 කටත් වැඩී ප්‍රමාණයකින්. ජනතාව විසින් එවන් ප්‍රතිඵලයක් ගෝඨාභය මහතාට නොදුන්නා නම්, අර අස්තාවරභාවය රටේ ඇති වෙනවා.

එතුමාගේ ජයග්‍රහණය තීරණය කෙරුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඡන්ද වලින්. එදා උතුරුනැගෙනහිර ඡන්ද 95% කට වැඩි ප්‍රමාණයක් වැටුණේ එක්සත් ජාතික පක්ෂයටයි. එදා හරීන් පුනාන්දු කිව්වා, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කාඩිනල් තුමා කතා නොකළා නම් සහ දකුණෙන් තවත් ඡන්ද ටිකක් වැටුණා නම් දිනන්නෙ එක්සත් ජාතික පක්ෂයයි කියලා. ඔහුගෙන් කියැවුණු වැදගත්ම කාරණාව තමයි ජනතා විමුක්ති පෙරමුණත් ඔවුන්ට ඡන්දය දීමට බලා ගෙන සිටි බව. කොහොමද එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් අතර තියෙන ලෙන්ගතුකම?

ජවිපෙ ගැන ඔබට මම කියන්නට අවශ්‍ය වෙන්නේ නෑ. එජාපයේ එදා හිටියා නම් දන්නවා ඇති රට තිබූ තත්වය. එදා තිබුණු මර්ධනය. අඩුම ගානේ රජයේ සේවකයෙකුට රැකියාවටවත් යන්න දුන්නේ නෑ. ගියොත් ගල් ගල් කටස් එකකින් වෙඩි තබා මරා දමනවා. දරුවෝ හමුදාවේ සේවය කළා නම් දෙමව්පියන්ගේ ඔලුවට වෙඩි තබා ගියා. දරුවෙකුට අධ්‍යාපනය දුන්නා නම් විදුහල්පතිවරයාටත් සිද්ධ වූයේ වෙඩි කා මිය යන්නටයි. අද අනුර දිසානායකලා මොනවද කියන්නේ? තිත්ත දේශපාලනේ ඇත්ත මිනිස්සු ලු. ඔය ඇත්ත මිනිස්සු කරපු විනාශයත් මේ රටේ ණය කන්දරාව වැඩි වෙන්නට හේතුවක් වුණා. ඒක තමයි අනුර දිසානායකලාගෙ තිත්ත ඉතිහාසය. සුද්ටදාත් වඩා විනාශයක් ජවිපෙ මේ රටට කළා. ඔවුන් තරම් වෙනත් කිසිවෙක් රාජ්‍ය සේවකයාට ගැහුවේ නෑ.

යූඇන්පියත් ඊට දෙවෙනි නෑ. ඒක ගැන කතා කරන්නවත් දෙයක්ස නෑ. සජිත් දැන් කියනවා රාජ්‍ය සේවය සුරක්ෂිත කරනවා කියලා. සජිත්ගෙන් පස්සේ නිවාස අමාත්‍යාංශය ලැබුණේ මට නිසා ඔහු කරපු කියපු දේවල් මම හොඳින් දන්නවා. ඔහුට යම් සේවකයෙක් සැක නම් දෙවුන්දර හිටියත් පැයෙන් දෙකෙන් කන්කසන්තුරේට මාරු කර දමනවා. කාන්තාවන්ට පවා ඔහු එහෙම කර තිබෙනවා. රස්සා දීපු හැටි හැටිත් රටම දන්නවා. උස නම් සිකුරිටි, මිටි නම් කම්කරු කියලා රජයේ රැකියාව මොන තරම් බාල්දු කළාද? නීතිය නමන පොලිස්පතිවරු හිටියෙත් එයාලගේ ආණ්ඩුවේම තමයි. මෙහෙම උනාම රජයේ සේවකයා ගැන ජනතාව තුළ ඇති වන හැඟීම කුමක් විය හැකිද?

රටට වැඩ කරන්න ඕනෑ කියන හැඟීම තියෙන රජයේ සේවකයකු බිහි කිරීම තමයි ගෝඨාභය ජනාධිපතිතුමාගේ අරමුණ. ඒ වගේම රාජ්‍ය සේවය දේශපාලන අතපෙවීම්වලින් නිදහස් කිරීමටත් එතුමාට අවශ්‍ය වී තිබෙනවා.

මේ මැතිවරණය හරහා පුරවැසි අයිතිවාසිකම් දිනා ගැනීමටත්, රාජ්‍ය සේවකයා නගා සිටුවීමටත්, රාජ්‍ය සේවය කාර්යක්ෂම කර ගැනීමටත් භාවිතා කිරීමට මේ රටේ ජනතාවට අවස්ථාව ලැබෙනවා. තවත් වසර 5 ක් මේ රටේ ජනාධිපතිතුමා ගෝඨාභයයි. දැන් රටේ මිනිසුන් අපේක්ෂා කළ මාවත විවර වෙමින් පවතිනවා. අනෙක් පක්ෂ ගැන කතා කරලා වැඩක් නෑ. අද විපක්ෂයට සටන තියෙන්නෙ අපි සමග නෙවෙයි. සටන තියෙන්නෙ රනිල් සජිත් අතර සිරිකොතේ බලය අල්ලා ගැනීමට. අපටත් පුබල විපක්ෂයක් ඕනෑ. දැන් ඒකත් නැතිවෙන පාටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *