ගුවන ජය ගත් තරුණියන්–ප්‍රථම වරට ගුවන් නියමුවරියන් වීමේ අවස්ථාව

ගුවන ජය ගත් තරුණියන්–ප්‍රථම වරට ගුවන් නියමුවරියන් වීමේ අවස්ථාව

තරුණියන්ට හට ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට ගුවන් නියමුවරියන් වීමේ අවස්ථාව ලබාදීමට හිටපු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල විදීය බණ්ඩාර ජයම්පති මහතා සුවිශේෂ අවස්ථාවක් උදාකර තිබුණි.

මෙම අවස්ථාව මුලින්ම හිමිකරගන්නට වාසනාව උදාවී ඇත්තේ දකුණු පළාත නියෝජනය කරන මාතර කඹුරුපිටිය ජයනී හේවාපතිරණ (අවු. 21), මධ්‍යම පළාතේ මහනුවර අම්පිටියේ පවිත්‍රා ලක්ෂාණි ගුණරත්න, බස්නාහිර පළාතේ වේයන්ගොඩ මුද්දරගම රංගනා තත්සරණි වීරවර්ධන (අවු. 20) සහ ඒකල, කොටු⁣ගොඩ පියුමි නිමල්කී ජයරත්න (අවු. 21) යන තරුණියන්ය.

මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලය, මාතර සුජාතා බාලිකා විද්‍යාලය, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය යන විදුහල්වලින් උසස් පෙළ විද්‍යා හා ජීව විද්‍යා අංශයෙන් සමත්ව ක්‍රීඩා කෞෂල්‍යයෙන් ඉහළ මට්ටමකට පැමිණි ඉංග්‍රීසි භාෂාව කතා කිරීම හා හැසිරවීම මෙන්ම ලිවීමද මැනවින් ප්‍රගුණ කළ මෙම ආධුනිකාවන්ට ගුවන් නියමුවරියන් වීම සඳහා අවශ්‍ය පුහුණුව ත්‍රිකුණාමලේ චීන වරයායේ ගුවන් හමුදා විද්‍යා පීඨ පරිශ්‍රයේ පිහිටා තිබෙන අංක 01 පියාසර පුහුණු පක්ෂාංග ඒකකයේදී ලබාදෙනු ලැබීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයේ අංක 01 පියසර පුහුණු පක්ෂාංග මධ්‍යස්ථානයේ අණ දෙන නිලධාරී වින්ග් කමාන්ඩර් පූජිත ගුණතිලක මහතාගේ විශේෂ අධීක්ෂණය යටතේ ස්කොඩ්රන් ලීඩර් ගයාන් බෝවත්ත (නිලධාරී අණදෙන මූලික පුහුණු භාර) මහතා ආධුනික ගුවන් නියමුවරියන් පුහුණු කරවීමේ කාර්යභාරය සඳහා පත්ව සිටී. එම කටයුතුවලදී ගුවන් ගමන් පාලක (එයාර් ට්‍රැෆික් කොන්ට්‍රෝල් – Air Traffic Control) ස්කොඩ්රන් ලීඩර් අමිල කරුණාරත්න මහතා මෙන්ම ගුවන් හමුදාවේ ඉංජිනේරු අංශයේ නිලධාරීන්ද සුවිශේෂී වූ කාර්ය භාරයක් ඉටුකරනු ලැබීය.

ප්‍රථම ගුවන් නියමුවරියන් ලෙස පුහුණුව ලබන ආධුනික ගුවන් නියමුවරියක වන මාතර, කඹුරුපිටියේ ජයනී හේවාපතිරණ (අවු. 21) මෙනවිය අදහස් දක්වමින් මෙසේ කීවාය.

දකුණු පළාතෙන්ම ගුවන් නියමුවරියක් ලෙස පුහුණුව ලබා ගැනීමට මට ගුවන් හමුදාවට එක් වීමට ලැබීම ගැන මා අතිශයින්ම සතුටට පත්වනවා. මාතර සුජාතා බාලිකා විදුහලෙන් අ.පො.ස. උසස් පෙළ විභාගය ගණිත අංශයෙන් සමත්වී පාසලෙන් ඉවත් වූ පසු මම ගුවන් නියමු තනතුර සඳහා ඉල්ලුම්පත්‍ර දැම්මා. මට සම්මුඛ පරීක්ෂණයට කැඳවීම් ලැබී සම්මුඛ පරීක්ෂණවලට ඉදිරිපත් වී එයින් සමත් වී ආධුනික ගුවන් නියමුවරියක් ලෙස පුහුණුව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ඇරයුම් ලැබුණා. සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වූ 46ක් අතරින් තේරී පත්වුණේ අප පමණයි.

වසර 2020 වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බඳවා ගත් මෙම ආධුනික ගුවන් නියමුවරියන් ශ්‍රී ලාංකීය ගුවන් තලයේ තම ගුවන් යානා හසුරුවමින් පියාඹනු දැක ගන්නට ශ්‍රී ලාංකීය ජනතාවට අවස්ථාව උදා වෙනු ඇත.

චීන වරාය (ත්‍රිකුණාමලය) ගුවන් හමුදා විද්‍යාපීඨ පරිශ්‍රයේ පිහිටා තිබෙන පියාසර පුහුණු පක්ෂාංග මධ්‍යස්ථානයෙන් මේ වන විට ගුවන් නියමුවන් 300ක පමණ පිරිසක් සාර්ථක ලෙස ගුවන් නියමු පුහුණුව ලබා ඇති බවත් කාන්තා ගුවන් නියමුවරියන් පුහුණු කිරීම ආරම්භ වූයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රථම අවස්ථාවටය.

ගුවන් නියමුවන්ගේ තොටිල්ල (Card-leaf Military Aviators) වශයෙන් හඳුන්වන චීන වරාය ගුවන් හමුදා කඳවුරු සංකීර්ණය මෙරටට දායක කරනු ලැබුවේ ඉංග්‍රීසි පාලකයන් Royal Air Force හෙවත් රාජකීය ගුවන් හමුදාව ස්ථාපිත කිරීමත් සමඟය.

ජා-ඇල – ඒකල – කොටුගොඩ පියුමි නිමල්කී ජයරත්න මෙනවිය (අවු. 21) ආධුනික ගුවන් නියමුවරියක ලෙස ගුවන් හමුදාවට එක්වී පුහුණුව ලබන්නීය. මේ ගැන ඇගේ අදහස මෙසේය. මම පුංචි කාලේ ඉඳන්ම ගුවන් හමුදාවට බැඳෙන්න ආශාවෙන් හිටියා. මගේ පියා ගුවන් හමුදාවේ බලලත් නිලධාරියෙකු ලෙස සේවය කර දැනට විශ්‍රාම ලබා සිටිනවා. කොළඹ කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමයෙන් හා ගම්පහ රත්නාවලී බාලිකා විදුහලෙන් ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයෙන් සමත් වුණා. රටට සේවයක් කළ හැකි ගෞරවනීය හමුදාවක් වූ ගුවන් හමුදාවේ සේවයට අපේ උගත් තරුණියන් එක්විය යුතුයි. රට වෙනුවෙන් ගෞරවනීය සේවයක් කිරීම සඳහා මටත් අවස්ථාව උදා වුණා.

වේයන්ගොඩ, මුද්දරගම රංගනා තත්සරණී වීරවර්ධන (අවු. 20) මෙනවිය මෙසේ කිවාය.

මගේ මවයි පියායි දෙන්නාම ගුවන් හමුදාවේ සේවය කළා. ඔවුන් දැන් විශ්‍රාමයි. ගම්පහ ශ්‍රී බෝධි විදුහලෙන්, වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පසුව ගම්පහ රත්නාවලී බාලිකා විදුහලට ඇතුළත් වී විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත් වූවා.

කුඩා කල සිට ගුවන් හමුදාවට බැඳීමට තිබූ ආශාව නිසා ගුවන් නියමුවරියන් බඳවා ගැනීමේ අවස්ථාවට ඉල්ලුම් පත්‍ර යොමු කළා. සම්මුඛ පරීක්ෂණවලට කැඳවීම් ලැබී ඒවාට ඉදිරිපත් වී අවසානයේ සම්මුඛ පරීක්ෂණවලින් තේරීමෙන් පසු ආධුනික ගුවන් නියමුවරියක් ලෙස පුහුණුවට එක්වීමට අවස්ථාව උදා වුණා.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් නියමුවරියන් සිවුදෙනා අතරට එක්වීමට තමන්ට අවස්ථාව උදාවීම සම්බන්ධයෙන් තමන් දැඩි සතුටට පත්ව සිටින බවද ආධුනික ගුවන් නියමුවරියකු වන රංගනා සත්සරණී වීරවර්ධන මෙනවිය අවසාන වශයෙන් පැවසුවාය.

ඉන්දියාවේ ගුවන් හමුදාවේ මේ වන විට ගුවන් නියමුවරියන් සංඛ්‍යාව 20 දක්වා වර්ධනය වී තිබෙන අතර, ඔවුන් අතරින් විශේෂ ප්‍රහාරක ගුවන් නියමුවරියන්ද සිටින බව ඉන්දීය ගුවන් හමුදාව අන්තර්ජාල තොරතුරු ඔස්සේ අනාවරණය කරයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවද ජාත්‍යන්තර තත්ත්වයට ගෙන ඒම සිදුවිය යුතුය.එහි ප්‍රථම මූලික අදියර ලෙස ප්‍රථම වරට ගුවන් නියමුවරියන් පුහුණු කිරී⁣මේ කාර්යභාරය ශ්‍රී ලංකා ගුවන් හමුදාව ආරම්භ කර ඇත.

මහනුවර අම්පිටියේ පවිත්‍රා ලක්ෂාණි ගුණරත්න (අවු. 21) ආධුනික ගුවන් නියමුවරියක ලෙස පුහුණු වෙමින් සිටින්නීය.

මහනුවර හිල්වුඩ් බාලිකා විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වී මහනුවර පුෂ්පදාන බාලිකා විදුහලට ඇතුළත් වූවා. අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් සමත් වූ ඇය කුඩා කල සිට ගුවන් නියමු වරියක් වීමට තිබූ සිහිනය සැබෑ කරගනිමින් සිටී.

මෙම ගුවන් නියමු වරියන්ගේපුහුණුව අවසානයේ ලොව ගුවන් හමුදා නියමුවරියන් සහිත රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක්වීමට නියමිතය.ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසන පරිදි ගුවන් නියමුවරියන් බඳවා ගැනීම අතින් දකුණු ආසියානු කලාපයේ සෙසු රටවල් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටී.

ගුවන් නියමුවරියන් සිව් දෙනා අධිකාරිය ලබන තුරු වසර තුනක පමණ පුහුණුවක් ලැබිය යුතුය.පළමු වසර එකහමාර තුළ නියමුවරියන් සටන් පුහුණු ඇතුළු ඒ හා සම්බන්ධ කටයුතුවල නිරතවන බව කී වින්ග් කමාන්ඩර් පූජන ගුණතිලක ඉතිරි අවුරුදු එකහමාර පියාසර පුහුණුව සඳහා වෙන් කෙරෙන බව සඳහන් කළේය.ආධුනික නියමුවරියන් කණ්ඩායම ඉදිරි දිනවලදී පුහුණුවක් සඳහා ඉන්දියාව බලා යාමට නියමිතය.

එසේ පුහුණුව ලැබූ සිවුදෙනාගෙන් දෙදෙනෙකු 2020 වසරේ නොවැම්බර් මස 16 වන දින පෙරවරුවේ චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී ආරක්ෂක ලේඛම් විශ්‍රාමික මේජර් ජනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විසිර යාමේ උත්සවයේදී නිලධාරිනියන් දෙදෙනෙක් ගුවන් නියමුවරියන් වශයෙන් අධිකාරිය ලැබීය.මෙලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම නියමු නිලධාරීනියන් ලෙස ඉතිහාස ගතවූයේ නියමු නිලධාරී APDL ගුණරත්න සහ නියමු නිලධාරී RT වීරවර්ධන යන දෙදෙනාය.

අංක 61 සහ අංක 13 කැඩෙට් නිලධාරී පාඨමාලාවන් සහ අංක 33 සහ අංක 34 කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය පාඨමාලාවන්හි කැඩෙට් නිලධාරීන් 53 දෙනෙකු අතරින් නියමු නිලධාරීනී RT වීරවර්ධන පාඨමාලාවේ සෑම අතින්ම දක්ෂතම සිසුවාට හිමිවන රන් අසිපතින් (Sword of honour) පිදුම් ලැබීය.ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ sword of honour ලෙස බිහිවූ ප්‍රථම කාන්තා නිලධාරිනිය වන්නේ ඇයයි.එමෙන්ම ජනාධිපති වර්ණ ධජ සහිත විසිරයාමේ පෙළපාලියක් සඳහා අණ දෙන්නා ලෙස කාන්තා නිලධාරීනියක් අණ දුන් ප්‍රථම අවස්ථාවද මෙය විය.

අංක 61 වන කැඩෙට් නිලධාරී පාඨමාලාවට සමගාමීව පාඨමාලා අංක 13කැඩෙට් නිලධාරිනී පාඨමාලාවෙන් මෙම ප්‍රථම ගුවන් නියමුවරියන් දෙදෙනා නියමු නිලධාරීන් (Pilot Officer) ලෙස පුහුණුව ලබා අධිකාරියට පත්විය.ඔබ දෙදෙනාට ‘රණබිමේ විරුවෝ’ සමූහයේ සුභ පැතුම්..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *