ග්‍රාමීය ආර්ථිකයේ පෙරළිය ගම්පෙරලිය තුළින් සිදුකරනවා

ජනතාවගේ දිළිඳුකම තුරන් කිරීමට මෙන්ම සැමට සමාන ප්‍රතිලාභ හිමිවන සංවර්ධන වැඩපිළිවෙළක් රජය අරඹා තිබෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

දීර්ඝකාලීන සැලසුම් ඔස්සේ විධිමත් සංවර්ධනයකට මුලපුරන හා රටේ ජනතාවගේ දිළිඳුකම තුරන් කරන මෙන්ම සැමට සමාන ප්‍රතිලාභ හිමිවන සංවර්ධන වැඩපිළිවෙළකට රජය මේ වන විට අවතීර්ණ වී තිබෙන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එය තාවකාලිකව රටේ එක් කොටසක් පමණක් සතුටු කරන සංවර්ධනයක් නොව රටේ සමස්ත ජනතාවගේ හෘද සාක්ෂිය හඳුනාගත් සහ සියලූ ජනතාවට ආත්මාභිමානයෙන් යුතුව දියුණු ජාතියක් ලෙස ලෝකය හමුවේ නැගීසිටීමට  හැකි අයුරින් හඳුන්වාදුන් සංවර්ධන වැඩපිළිවෙළක් බව ද ජනාධිපතිවරයා කියා සිටියේය. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කෙළේ පොළොන්නරුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට පෙරේදා (24) පොළාන්නරුවේ දී එක්වෙමිනි.

රටේ ජනතාවගේ දිළිඳුකම පිටුදැකීම සඳහා ආරම්භ කළ ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ඉතා ප්‍රායෝගික වැඩපිළිවෙළක් ලෙස මේ වන විට දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන බව පැවසූ ජනාධිපතිවරයා ග්‍රාමීය සංවර්ධනයේ පෙරළියක් සිදු කෙරෙන ගම්පෙරළිය වැඩසටහන ද ඉදිරියේ දී දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවන බව කියා සිටියේය.

එමෙන්ම මෙරට ව්‍යවසායකයන් නඟාසිටුවීම වෙනුවෙන් නව ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට රජය පියවර ගෙන ඇති අතර, ඒ තුළින් විරැකියාවට පිළියම් ලැබෙනවා සේම දේශීය නිෂ්පාදනයේ නව ප්‍රබෝධයක් ඇතිවනු ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජාතික ආර්ථික සභාව හරහා ද රටේ ආර්ථික සංවර්ධනය මෙන්ම ජනතාවගේ ජීවන ගැටලූ විසඳීම පිළිබඳ පුළුල් අවධානයක් යොමු කරමින් කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *