ගම්පහ රෝහලේ අට මහල් ගොඩනැගිල්ලේ ජල කාන්දුව ක්–රෝහලෙහි කටයුතු මුළුමනින්ම නතර කිරීමට සිදුවන තත්ත්වයක් –රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි

ගම්පහ රෝහලේ අට මහල් ගොඩනැගිල්ලේ ජල කාන්දුව ක්–රෝහලෙහි කටයුතු මුළුමනින්ම නතර කිරීමට සිදුවන තත්ත්වයක් –රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අට මහල් ගොඩනැගිල්ලෙහි තට්ටු අතර වසර 20 ක පමණ කාලයක සිට පවතින ජල කාන්දුව හේතුවෙන් ඉදිරි කෙටි කාලයකින් රෝහලෙහි කටයුතු මුළුමනින්ම නතර කිරීමට සිදුවන තත්ත්වයක් ඇතිවිය හැකි බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගම්පහ රෝහල් ශාඛාව අනතුරු ඇඟවීමක් කර සිටී.

ගම්පහ රෝහලේදී මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමයේ සභාපති වෛද්‍ය මහාචාර්ය අරුණ මුණසිංහ මහතා ඇතුළු වෛද්‍ය සංගමයෙහි නිලධාරීන් පිරිසක් ප්‍රකාශ කොට සිටියේ , මෙම රෝහල් ගොඩනැගිල්ල ඉදිකළදා පටන් වැසිකිළි පද්ධති වලින් බැහැර කෙරෙන ජලය නිසි ක්‍රමවේදයකට අනුව පිටතට නොයන තත්ත්වයකින් පැවතීම හේතුවෙන් මහල් ස්ථර තුල රැදී පැවතීම මත මහල් අටෙහිම ජලය කාන්දුවීමක් සිදුවන බැවින් මේ වනවිට ගොඩනැගිල්ලෙහි ශක්තිය පිළිබඳව සැක සහිත තත්ත්වයක් උද්ගතව ඇති බවය.

කොරියානු සමාගමක් මගින් ඉදිකොට 2000 වසරේදී විවෘත කරනලද මෙම අට මහල් රෝහල් ගොඩනැගිල්ලෙහි පවතින ජල කාන්දුව නතර කිරීම පිණිස වසර 20 ක් පුරාම පැලැස්තර විසදුම් යොදා ඇති නමුත් ජල කාන්දුව මේ වන තෙක්ම පවතින හෙයින් ගොඩනැගිල්ල දැඩි අවදානම් සහිත බවද මෙහිදී අනාවරණය කෙරිණි.

වැසිකිළි වලින් බැහැර කෙරෙන ජලය නිසි ක්‍රමවේදයකට අනුව පිටතට නොයන තත්ත්වයකින් පැවතීම මත මහල්වල ස්ථර අතර දිගු කලක් ජලය රැදී තිබීමෙන් කම්බි පවා දිරාපත් වීමේ හැකියාවක් පවතින බව පෙන්වා දුන් වෛද්‍ය මුණසිංහ මහතා , මේ තත්ත්වයෙන්ම පැවති මීගමුව රෝහල මෙන්ම ගම්පහ රෝහලද පුර්ණ අලුත්වැඩියාකවට ලක්විය යුතු බවද පෙන්වා දෙනු ලැබීය.

මෙම ගොඩනැගිල්ලෙහි පවතින තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය සංගමයේ ගම්පහ ශාඛා උප සභාපති වෛද්‍ය ප්‍රියන්ත ශිරෝමන් මහතා සදහන් කළේ, පවතින ජල කාන්දුවට තාවකාලික විසදුම් ලෙස මහල් අතර රැස්වන ජලය ඇතැම් ස්ථානවලින් සේවකයින් විසින් ඉවත් කරනු ලබන බවත් තවත් ස්ථානවල පුනීල සවිකොට බට මගින් ජලය ඉවත් කිරීමට කටයුතු කෙරෙන බවත්ය.

රෝහලෙහි පවතින අයහපත් තත්ත්වය සම්බන්ධයෙන් වසර ගණනාවක සිටම වෛද්‍ය සංගමය මගින් අදාල බලධාරීන් දැනුවත් කොට ඇති බවද මෙහිදී ප්‍රකාශ විය.

පවතින මෙම අයහපත් තත්ත්වය සම්බන්ධයෙන් ගම්පහ රෝහලෙහි නව අධ්‍යක්ෂ වෛද්‍ය සමන් පතිරණ මහතාගෙන් කළ විමසිමේදී ප්‍රකාශ කොට සිටියේ තමන් මෙහි සේවය භාරගෙන මාසයක කාලයක් වන බවත් මෙම කාලය තුල බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වරයා ඇතුළු බලධාරීන් දැනුවත් කිරීම මත සති දෙකකට පමණ පෙර රෝහල් ගොඩනැගිල්ල මෙන්ම වායුසමීකරණ පද්ධතියෙහි දෝෂය මත ශල්‍යාගාර හතරෙහි කටයුතු ඇනහිට තිබීම පිළිබඳවද නිරීක්ෂණය කොට අවශ්‍ය පියවර ගැනීම පිනිස අදාල අංශයන් වෙත යොමු කොට ඇති බවත්ය.

මේ අනුව මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු පීඨයේ මහාචාර්ය වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් පැමිණ ගොඩනැගිල්ලෙහි ශක්තිමත්භාවය සම්බන්ධයෙන් සොයා බලමින් කඩිනමින් ජල කාන්දුව නතර කළයුතු බව පෙන්වාදී තිබේ.

මෙම රෝහල් ගොඩනැගිල්ලෙහි සහ පැරණි ගොඩනැගිල්ලෙහි නිතර විදුලි කාන්දුවීම පවා සිදු වන තත්ත්වයක් පවතින බවද රෝහල් කාර්ය මණ්ඩලය පෙන්වා දෙන අතර පුද්ගලයෙකු මියගියද මෙහි පවතින විදුලි සෝපාන ක්‍රියාත්මක කිරීම පිණිස ක්‍රියාකරුවන් යොදවා නොමැති බවද පවසති.

තවද රෝහලෙහි මළ අපවහන පද්ධතිය නිතර අක්‍රීයවන තත්ත්වයකින් පවතින බැවින් මළ අප ද්‍රව්‍ය පිටතට බැහැරවීම මත අවට පරිසරයට හානිකරවී ඇත.

ගම්පහ රෝහල සදහා මහල් 10 කින් සමන්විත නව ගොඩනැගිල්ලක් තැනවීමේ සැලසුමක් පැවතියද එය ක්‍රියාත්මක කිරීමට බස්නාහිර පළාත් සභාව මෙතෙක් පියවර ගෙන නොමැති බවද කාර්ය මණ්ඩලය පෙන්වා දෙති.

කෙසේ වෙතත් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි පවතින අවශ්‍යතා සපුරාලමින් නිසි සේවාවක් ලබා දීමේ හැකියාවක් , රෝහල අයත් බස්නාහිර පළාත් සභාවට නොමැති බැවින් වෛද්‍යවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයම ඉල්ලා සිටින පරිදි මෙය මධ්‍යම රජයට පවරා දීම සුදුසු වනු ඇති බවක් පෙනෙන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *