ගම්පහ පුපුරායාමට ආසන්න ගිනිකන්ද- මැතිවරණ නිවැරදි අනාවැකිය

ගම්පහ පුපුරායාමට ආසන්න ගිනිකන්ද

ත්‍රස්තවාදය පැවති සමයේත් දකුණේ භීෂණකාරී වාතාවරණයක් තුළත් අපේ රටේ මැතිවරණ පැවැත්වූ ඉතිහාසයක් පවතිනවා. එහෙත් ඒ සියල්ලට වඩා මෙවර මහ මැතිවරණය අපලයක් බව අදටත් සිදුවන සිදුවීම් දෙස බැලීමේ දී පැහැදිලියි. මහ මැතිවරණය පැවැත්වීම සඳහා මූලික කටයුතු සිදුවන අතරේදීත් පිරිසක් නීතිය හමුවට ගියා. තවත් අය විරෝධතා දැක්වූවා.

ඔය අතරේ කිසිදා නොසිතූ අමුතුම බිල්ලෙක් කරළියට ආවා. ඒ කොරෝනා මාරයායි. ඒ මාරයාගෙන් මහ මැතිවරණයට දවසින් දවස එල්ලවන්නේ මාරාන්තික තර්ජන. මැතිවරණය කල්දමමින් අවසානයේ දී අගෝස්තු 5 වනදා එය පවත්වා එක් හිසරදයක් අවසන් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කළේ මෙවන් වටපිටාවක් තුළයි. එහෙත් කොරෝනා මාරයා යළිත් පහරදීමට පටන්ගෙන තිබෙනවා. මාරයෙකුටත් වඩා කොරෝනා කරුමයක් සේ සැලකීම මෙහිදී යුක්තිසහගතය. කන්දකාඩුවලින් ඇරඹි කොරෝනා දෙවන රැල්ල කොතනින් කෙළවර වේදැයි සිතාගැනීමට පවා නොහැකියි.

රට තුළ මෙවන් වාතාවරණයක් පවතිද්දී මහ මැතිවරණ සටන ද අළු යට ගිනි මෙන් නිහඬව පවතිනවා. කොරෝනා මාරය නිසා රැස්වීම් පැවැත්වීමට සෞඛ්‍ය අංශවලින් සීමා පනවලා. එමෙන්ම රැස්වීමක් පවත්වනවිට කොන්දේසි මාලාවක් පවතිනවා. ඡන්ද දායකයෙකුට රැස්වීමකට යාමට එපාවන තරමටම තහංචි පවතින්නේ මාරයාට ඇති බිය නිසයි. කොරෝනා මහ මැතිවරණයට මෙසේ වද දෙන අතරේ මැතිවරණ කොමිසමෙන් ද අනේකවිද සම්බාධක පනවා තිබෙනවා. වෙනදා මෙන් මෙවර මහ මැතිවරණයේ දී තාප්ප පිරෙන්නට පෝස්ටර් ඇලවිය නොහැකියි. අහස උසට කටවුට් ප්‍රදර්ශනය කළ නොහැකියි. එය නම් පරිසරයටත් මනසටත් සහනයකි. කෙසේ වුවද තමන්ගේ කාර්යාලයේ හෝ මනාප අංකය ප්‍රදර්ශනය කිරීමට නොහැකිවීම කණගාටුවට කරුණක්. මෙවැනි කරුණු කාරණා නිසාම මෙවර මහ මැතිවරණයේ බොහෝ අපේක්‍ෂකයින්ට සිදුව තිබෙන්නේ තම ප්‍රධාන ප්‍රචාරක මාධ්‍යයක් ලෙස ජංගම දුරකතනය යොදා ගැනීමයි. වෙනස් විදිහට හිතන / නිර්මාණශීලී අපේක්‍ෂකයින් එහිදී ඉදිරියෙන් සිටින බව ජංගම දුරකතනයට එන ඡන්ද නිර්මාණ දෙස බැලීමෙන් පෙනී යනවා.

මෙකී සියලු තත්ත්වයන් සැළකිල්ලට ගැනීමේ දී දිවයිනේ වැඩිම ඡන්ද දායකයින් පිරිසක් සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද ගොඩ වැඩිකර ගැනීමේ සටන පිළිබඳ අධ්‍යනය කිරීම සෙසු දිස්ත්‍රික්කවලට ද වැදගත් වනු ඇති. මෙම දිස්ත්‍රික්කයට එක් පක්‍ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් අපේක්‍ෂකයින් 21 දෙනෙකු ඉදිරිපත් කළ යුතුයි. මන්ත්‍රී ධුර 18 ක් පිරිනැමෙනවා. පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෙවත් පොහොට්ටුවට මන්ත්‍රී ධුර 11 ක් හිමිවනවා. පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල විශ්ලේෂණයෙන් ද ඒ බව තහවුරුයි. පොහොට්ටුවේ මැතිවරණ යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර 13 ක් දිනාගැනීම ඉලක්ක කර ගනිමින් බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 13 කෙසේ වෙතත් පොහොට්ටුව මේ වනවිට 12 ට ආසන්න සීමාවට ළගාවී ඇති බව සමීක්‍ෂණ අනුව පැහැදිලියි.

ගම්පහින් පොහොට්ටුවට මන්ත්‍රී ධුර 12 ක් හිමිවුවහොත් ඉතිරි මන්ත්‍රී ධුර 6 බෙදීයන ආකාරය මීළඟ ගැටලුවයි. එහිදී සජිත් පාර්ශ්වය හෙවත් දුරකතනයට වැඩි බලයක් හිමිවන තත්ත්වයකුයි පවතින්නේ. ඔවුන්ට මන්ත්‍රී ධුර 3 ක් නිසැකයෙන්ම හිමිවිය හැකි බවටයි දැනට සිදුකළ සමීක්‍ෂණවලින් පැහැදිලි වන්නේ. බොහෝවිට මෙය 4 ක් දක්වා ඉහළ යා හැකියි. එමෙන්ම එක්සත් ජාතික පක්‍ෂයට උපරිමයෙන් ලබාගත හැකි වන්නේ මන්ත්‍රී ධුර 2 ක් බව ද පැහැදිලියි. ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසානයක් දිනා ගැනීමට ප්‍රබලම සටන පවතින්නේ මාලිමාවෙන් තරග කරන ජාතික ජන බලවේගය හා කොඩිය ලකුණින් ඉදිරිපත් වන අපේ ජන බල පක්‍ෂය අතරයි. මෙම පාර්ශ්ව දෙකම කරට කර සටනක නිරත වනවා. ජනතා විමුක්ති පෙරමුණට ස්ථීර ඡන්ද කිහිපයක් පැවතිය ද ජනාධිපතිවරණයේ දී ලබාගත් ප්‍රතිඵල අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ඔවුන්ට ඇත්තේ දැඩි අවදානමක්. එමෙන්ම ඡන්දපොළට යාමට මැලිකමක් දක්වන ඇතැම් ඡන්ද දායකයින් මෙවර කොඩිය ලකුණවටා එක්රොක්වන තත්ත්වයක් ද පවතිනවා. මෙය ද අළුයට ගිනි සේ පිටතට නොපෙනෙන සටනක්.

ගම්පහ පොහොට්ටුවේ මැතිවරණ සටනේ කපිතාන්වරයා වන්නේ කණ්ඩායම් නායක ප්‍රසන්න රණතුංගයි. ප්‍රසන්නගේ මැතිවරණ මෙහෙයුමේ විශේෂතා රැසක් දක්නට ලැබෙනවා. ඔහු ඡන්ද ව්‍යාපාරය පටන් ගන්නේම ඡන්ද පහෙන් පහට එකතු කරමින්. බොහෝ දෙනා මට ඡන්ද තිස්දහසක් තිබෙනවා. හතලිස් දහසක් තිබෙනවා යනුවෙන් ප්‍රකාශ කළ ද ප්‍රසන්න කියාසිටින්නේ මට තිබෙන්නේ ඡන්ද පහක් පමණයි යනුවෙනුයි. එතැන් සිට ලක්‍ෂ තුනකට අධික මනාප සංඛ්‍යාවක් ලබාගන්නා ආකාරය පිළිබඳ විධිමත් සැළැස්මක් ඔහුට පවතිනවා. ඒ සැළැස්මට අනුව ඡන්ද සංඛ්‍යාව වැඩිකර ගැනීම පමණක් නොව ගැටලු ඇතිවන තැන් ද නිවැරදිව හඳුනාගත හැකියි. මේ දිනවල මෛත්‍රී විවේචනය කරමින් වේදිකාවක් වේදිකාවක් ගානේ ඔහු කෑගහන්නේ ද එකී සැළැස්මේ එක් පියවරක් ලෙසට වියහැකියි. සිය කණ්ඩායමේ සිටින දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු හැර සෙසු සියලු දෙනාම දිස්ත්‍රික්කය පුරා ඇවිදිමින් මහ ඇමතිතුමාට මනාපයක් දෙන්න යනුවෙන් ජනතාව දැනුවත් කිරීම ද ප්‍රසන්නගේ මනාප ඉහළ යාමට හේතුවක් විය යුතුයි. ඒ තරමටම ඔහු සිය කණ්ඩායමට නිසි නායකත්වයක් ලබාදෙනවා. එය සෙසු දිස්ත්‍රික්කවල ද මැතිවරණ ව්‍යාපාරය හසුරවන අයට අධ්‍යනය කිරීමට වටිනා කරුණක්. මෙවන් වටපිටාවක් තුළ පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයින්ගෙන් මහින්ද රාජපක්‍ෂට පසුව වැඩිම මනාප ගන්නා පුද්ගලයා බවට ප්‍රසන්න රණතුංග පත්වීමට ඉඩ ඇති බවයි විශ්ලේෂණ වාර්තා පෙන්වා දෙන්නේ.

ගම්පහ පොහොට්ටුවේ අපේක්‍ෂකයින් අතුරින් ප්‍රසන්න වෙනත් කිසිවෙකුටත් ලංවීමට බැරි තරමේ දුරින් දිනුම් කණුවට ආසන්නවී සිටිනවා. සෙසු අපේක්‍ෂකයින් අතුරින් දෙවන ස්ථානයට පොකුරක් නිර්මාණය වී ඇති අයුරු ගම්පහ ඡන්ද දායකයින්ගේ මනාපය අනුව පැහැදිලියි. එම දෙවන පොකුරට නිමල් ලාන්සා / ප්‍රසන්න රණවීර / ඉන්දික අනුරුද්ධ හා සහන් ප්‍රදීප් ඇතුළත්. ඔවුන් අතරේ ඇත්තේ පුපුරායාමට ආසන්න ගිනි කන්දක ස්වභාවයකුයි. සියලු දෙනා මිතුරන් වුවද මනාප පොරයේ දී කොතැනින් හෝ ගිනි කන්ද පුපුරායන අයුරින් මේ පොකුරෙන් කෙනෙකු ඉදිරියට ආ හැකියි.

නිමල් ලාන්සාට මීගමුවේ සිට වත්තල දක්වා කතෝලික මෙන්ම ධීවර ප්‍රජාවගේ බහුතර කැමැත්ත පවතිනවා. ජන හමු පැවැත්වීමට වේලාවක් ඉල්ලා ඔහුට ලැබෙන ආරාධනා තුළින්ම ඒ බව පැහැදිලියි. මෙම ප්‍රදේශය ගම්පහ දිස්ත්‍රික්කයේ බහුතර කතෝලිකයන් පිරිසක් ජීවත් වන ප්‍රදේශයක් වන බැවින් අපේක්‍ෂකයින් 21 දෙනාගෙන් වැඩි වාසි ඇත්තේ නිමල් ලාන්සාටයි. ප්‍රසන්න රණවීර නියෝජනය කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ අඩුම ඡන්ද දායකයින් පිරිසක් සිටින කැලණිය මැතිවරණ කොට්ඨාසයයි. එය ඔහුට අවාසියක් වුවද එම අවාසිය පසුගිය මහ මැතිවරණයේ සිටම හොඳින් අධ්‍යනය කර කටයුතු කරන පුද්ගලයෙකු ලෙසටයි රණවීර හැඳින්විය හැකි වන්නේ. තමන්ගේ අවාසිය කල්වේලා ඇතිව දුටු වත්තල / මහර / දොම්පේ ආදී අසල්වැසි මැතිවරණ කොට්ඨාසවලින් ද මනාප එකතුකර ගැනීමට සූරකම් දක්වා තිබෙනවා. ඒ පමණක් නොව මීරිගම / දිවුලපිටිය ආදී කෙළවරේ පිහිටි මැතිවරණ කොට්ඨාසවලට ද ඔහුගේ හස්තය දිගුවී අවසන්. දුප්පතාගේ පැල්පතට ගොඩවෙන එකම අපේක්‍ෂකයා ලෙසයි ඇතැමුන් රණවීර හඳුන්වන්නේ. ඉන්දික අනුරුද්ධ ද මෙවර මහ මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ගන්නා අපේක්‍ෂකයෙකු ලෙස දැන් තරගබිමේ සිටිනවා. දිවුලපිටිය / කටාන / මීරිගම / අත්තනගල්ල හා මීගමුව යන මැතිවරණ කොට්ඨාස කිහිපයක ඡන්ද පදනමක් ඔහුට පවතිනවා. තරුණ ඡන්ද ආකර්ෂණය කර ගැනීමට හැකිවීම ද ඉන්දිකගේ සාර්ථකත්වයට හේතුවක්. ඒ අනුව ඔහු ද දෙවන පොකුරේ සිටින ප්‍රබලම චරිතයක්. මේ පොකුරට අයත් අනෙක් අපේක්‍ෂකයා වන්නේ මහර මුල්කරගත් සහන් ප්‍රදීප්. මහර යනු වමේ ඡන්ද බහුලවම තිබෙන මැතිවරණ කොට්ඨාසයයි. ඒ වාසිය සහන්ට පවතිනවා. ගම්පහ / ජා ඇල / කැලණිය / දොම්පේ ආදී අසල්වැසි මැතිවරණ කොට්ඨාස වලින් මනාප ලබාගැනීමේ යාන්ත්‍රණයක් ද සහන් ක්‍රියාත්මක කරනවා.

ගම්පහ පොහොට්ටුවේ දෙවන පොකුරට ආසන්නයෙන් තවත් පොකුරක් නිර්මාණය වෙමින් පවතිනවා. ඊට අයත් වන්නේ සිසිර ජයකොඩි හා ඩුලිප් විජේසේකරයි. සිසිරට කැලණියේ බහුතර මනාපය වගේම ඒ අවට මැතිවරණ කොට්ඨාසවලින් ලැබෙන මනාප ප්‍රමාණයක් ද පවතිනවා. මේ අපේක්‍ෂකයින්ගෙන් වේගයෙන්ම ඉදිරියට ආ අපේක්‍ෂකයෙකු වන්නේ ඩුලිප් විජේසේකරයි. මැතිවරණ සටන ආරම්භයේ දී ඔහු තරමක පහළ තැනක සිටිය ද දැන් දැන් තත්ත්වය හොඳ අතට හැරෙමින් පවතිනවා.

බියගම හා දොම්පේ යන මැතිවරණ කොට්ඨාස දෙකකම බහුතර මනාපයක් ඔහුට හිමිවනවා. ඒ වාසියද සමගින් ඩුලිප් සිය ප්‍රචාරක යාන්ත්‍රණය වේගවත් කිරීමත් සමඟ අන් අයට නොපෙනෙන ඉහළ යාමක් ඔහුගෙන් පෙන්නුම් කෙරෙනවා.
ගම්පහ සෙසු අපේක්‍ෂකයින් පිළිබඳ නිෂ්චිතව යමක් ප්‍රකාශ කළ නොහැකි වන්නේ ඇතැමුන්ගේ ස්ථාවරය දිනෙන් දින වෙනස්වෙමින් පැවතීම හේතුවෙන්. කෙසේ වුවද ඉදිරි දින කිහිපයේ දී ඒ පිළිබඳව සාකච්චා කිරීමට හැකිවනු ඇති. පොහොට්ටුවේ පමණක් නොව දුරකතනයේ / අලියගෙ / කොඩියේ හා මාලිමාවේ ගම්පහ හැසිරීම පිළිබඳ තවත් විශ්ලේෂණයකින් සොයා බැලිය හැකියි.

* Lanka ABC දේශපාලන විශ්ලේෂක ****

Leave a Reply

Your email address will not be published. Required fields are marked *