ගම්පහ කොරෝනා රෝගීන් දෙදෙනෙක් ….

ගම්පහ කොරෝනා රෝගීන් දෙදෙනෙක් ….

කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි සේවයෙහි නියුතු උපදේශකවරයෙකු සමග මෝටර් රථයකින් ගමන් ගත් ගම්පහ ප්‍රදේශයේ පදිංචි රියදුරෙකු සහ එම උපදේශකවරයා කොරෝනා ආසාදිතයින් බව තහවුරුවී ඇති බව ගම්පහ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.

ගම්පහ , බණ්ඩාරවත්ත ටිකිරිරාජ මාවතෙහි සහ වැරැල්ලවත්ත ප්‍රදේශයෙහි පදිංචිකරුවන් වන මෙම දෙදෙනා කොරෝනා ආසාදිතයින් බවට උදෑසන තහවුරුවීමෙන් අනතුරුව දෙදෙනා නිරෝධායනය පිණිස යොමු කොට ඇති බව ගම්පහ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පැවසීය.

මත් ද්‍රව්‍ය නිවාරණ සංවිධානයක කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරනු ලබන වැරැල්ලවත්ත පදිංචිකරු , රියදුරා සමග ගොස් ඉකුත් 23 වෙනි දින සිට 25 වෙනි දින දක්වා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි උපදේශන කටයුතුවල නිරතව සිට ඇත.

එම මධ්‍යස්ථානයෙන් කොරෝනා රෝගීන් හමුවීමෙන් පසුව ආශ්‍රිතයින් පී.සී.ආර්. පරීක්ෂාවට ලක්කිරීම මත මෙම දෙදෙනා කොරෝනා ආසාදිතයින් බව තහවුරුවූයෙන් ඊයේ උදෑසන ගම්පහ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත දැනුම්දීමට අනුව වැරැල්ලවත්ත සහ බණ්ඩාරවත්ත පදිංචි මෙම දෙදෙනාගේ පවුල්වල සාමාජිකයින් ස්වයං නිරෝධායනය කිරීමට පියවර ගත් බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කීය.

බණ්ඩාරවත්ත පදිංචිකරු පසුගිය 6 වෙනි දින ගම්පහ අධිකරණයක් වෙත ගොස් ඇති බව අනාවරණයවීම මත එම අධිකරණය වෙත එදින පැමිණි පිරිස් සොයා ස්වයං නිරෝධායනයට ලක් කිරීම පිණිස මහේස්ත්‍රාත් වරයා සමග සාකච්ඡා කරන බව වෛද්‍ය සුභසිංහ මහතා පැවසූ අතර මොහු මහරගම අපේක්ෂා රෝහල ඇතුළු ගම්පහ අවට වෙළඳසල් සහ ස්ථාන කිහිපයකට ගොස් ඇති බව දැනගන්නට ලැබී ඇති බවද කීය.

මේ අතර වැරැල්ලවත්ත පදිංචි උපදේශකවරයාද ප්‍රදේශ කිහිපයක ස්ථානයන් වෙත ගොස් ඇති බව අනාවරණයවී ඇති බැවින් එම ආශ්‍රිතයින් සොයා ගැනීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.

වැරැල්ලවත්ත පදිංචි කරුගේ නිවසෙහි සාමාජිකයින් පස් දෙනෙකු සහ බණ්ඩාරවත්ත පදිංචිකරුගේ නිවසෙහි සාමාජිකයින් සිව් දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර ඉදිරියේදී එම අය පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කිරීමට නියමිතය.

එම නිවාස දෙක වෙත ගොස් අවශ්‍ය පියවර ගැනීම පිනිස ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ , සහකාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර රාජපක්ෂ, එම කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර, ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් වන සුසන්ත බණ්ඩාර, චූලක විජේතුංග , සමීර දයාරත්න සහ ප්‍රභාත් ජයතිලක සහ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ යන මහත්වරුන් සහභාගිවී සිටියහ.

මේ අතර ගම්පහ පුරපති එරංග සේනානායක මහතාගේ උපදෙස් මත එම නිවාස ආශ්‍රිතව විෂබීජහරණය කිරීමට පියවර ගෙන තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *