ගම්පහෙන් සජිත් තුනට පල්ලම් බහී–

ගම්පහෙන් සජිත් තුනට පල්ලම් බහී–

ගම්පහ යනු ලංකා දේශපාලනයේ තීරණාත්මක සන්ධිස්ථානයකි. එතෙක් මෙතෙක් ගම්පහින් දේශපාලන කරළියට ආ දේශපාලනඥයෝ විසින් ලංකාවේ දේශපාලන දිශානතිය යි වෙනස් කරන්නට දායක වූ හැටි කවුරුත් දනිති.

අන් කවරදාටත් වඩා විස්සයි විස්සේ පාර්ලිමේන්තු මහ මැතිවරණය තීරණාත්මක එකක් බව දේශපාලන ඉවක් සහිත කාටවුවත් පැහැදිලි වන කාරණයෙකි. එයට හේතුව ජරාජීර්ණ වූ දේශපාලන ගොහොරුවෙන් පොහොට්ටුව ඉස්මතු වීමත්, එක්සත් ජාතික පක්ෂයේ පවුරු පදනම් දෙදරා යාමත්, වාමවාදීහු ප්‍රතික්ෂේප වීමත් මෙන්ම නව විකල්ප පක්ෂයක ආගමනයත් ය.

ගම්පහ ගැන කතා කිරීමේදී දැකිය හැක්කේ ජවිපෙ ප්‍රමුඛ කසිකබල් මාක්ස් වාදීහු සහ සාම්ප්‍රදායික වමේ පක්ෂත් කේඩෑරි වී යද්දී, එළිපිටත් ඇතුලේත් කුලල් කා ගන්නා අලියා ලකුණ දරණ එක්සත් ජාතික පක්ෂය සහ සජිත් පිල අප්පිරියාවී ඒ දෙකම එපාවූ මධ්‍යස්ථ මතධාරීහු ද, පාවෙන ඡන්ද ද එක්කෝ පොහොට්ටුව හෝ නොඑසේනම් තමන්ට ගැලපෙන විකල්පයක් සොයමින් සිටිනා බවකි.

පිළිගන්නනට කැමැති වුවත්, අකැමැති වුවත් අද මේ මහ පොළොවේ යතාර්ථය වන්නේ “සිංහල ජාතිකත්වය” ලංකා දේශපාලනයේ අනුහස් සහිත සාධකය බවට පත්වෙමින් තිබෙන බවයි. එසේ වන්නේ සිංහලයන් ජාතිවාදය දිශාවට හැරීම නිසා නොව, අන්තවාදීන්ගේ පෙළ ගැස්ම නිසාය. පැවැති රජය අන්තවාදීන්ගේත්, බටහිර හාම්පුතුන්ගේත් රූකඩයක් ලෙසින් නැටවෙන්නට පටන්ගත් නිසාය. තම ජාතියේ උරුමය හා පැවැත්ම වෙනුවෙන් නැගී සිටීමේ අනුල්ලංඝනිය අයිතියක් තමන්ට ඇති බව වටහාගත් නිසාය.

මෙවන් පසුබිමකදී පුමුඛවම ඉදිරියට ආවේත්, එන්නේත් සිංහල ජාතිකත්වය සහ කසාවන් චීවරය අතර ඇති අවිච්චින්න සබඳතාවයයි. එහි සමාජමය බලපෑම අති මහත් ය. මේ තත්ත්වය තේරුම් ගන්නා ලංකා දේශපාලන කරළියට අලුත් මුහුණක් වූ සමන් පෙරේරා අපේ ජන බල පක්ෂය නිර්මාණය කරයි. ඔහු සිය පක්ෂය හඳුන්වා දෙමින් කියා සිටියේ තමන් අනිවාර්යයෙන් ම පෙනී සිටින්නේ සිංහල ජාතිකත්වය උදෙසා බවයි.

පසු ගිය ජනාධිපතිවරණයටත් ඉදිරි පත් වෙමින් තම මතය සමාජ ගත කළ සමන් පෙරේරාගේ පක්ෂයට ලංකා දේශපාලනයේ තවත් පෙරළිකාර යතිවරයන් දෙනමක්වූ අතුරලියේ රතන සහ ගලබොඩ අත්තේ ඥානසාර හිමිවරු ද එක්වීමෙන් පක්ෂය ජව සම්පන්න ගමනකට අවතීර්ණ විය. එනිසා එම පක්ෂය පොහොට්ටුවට පසු සමජයේ වැඩිම කතාබහට ලක්වූ පක්ෂය බවට පත්විය.

එසේ බලගැන්වුණු “අපේ ජන බල පක්ෂයේ” වත්මන් ආමන්ත්‍රණය නිසි ලෙස ඇසුවා නම්, අයාලේ යමින් පවතින අලියා ලකුණ දරන එජාපයේ පිළිකන්නටවී වටපිට බලමින් සිටිනා අයටත්, කෑලි ගැලවී පිරිහෙමින් පවතින සජිත්ගේ අනාථ පක්ෂයේ අයටත්, 225 ම එපා කියා මෙවර ඡන්දය නොදමන්⁣නෙමැයි කලකිරී සිටියවුන්ටත් එකට සිටිය හැකි කදවුරක් නිර්මාණය වෙමින් පවතින බව වැටහෙනු ඇත. එහි ආයු කාලය පිළිබඳ දැනට කිසිවක් කිව නොහැකි නමුත් ඔවුන්ගේ ගමන පිළිබද අපේ පුරෝකථනය ඔබ තිගැස්සෙන සුළු සුළු විය හැකි ය.

හරි හෝ වැරැදි වුවත්, 2015 දී ලංකාවේ දේශපාලන ගමන් මග වෙනස් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ තම පෙරළිකාර දේශපාලන අත්දැකීම හරහා, ඊයේ මීරිගම දී පැවැති සාකච්ඡාවකදී කියා සිටියේ තමා නියෝජනය කරන අපේ ජන බල පක්ෂය මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ස්ථිරවම ආසන හතරක් දිනා ගන්නා බව ය. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ දෙවන දේශපාලන බලවේගය බවට තමපක්ෂය පත්වන බවත් සජිත් තුන්වැනි තැනට පල්ලම් බසිනා බවත් උන්වහන්සේ කියා සිටියහ.

මෙහිදී මීරිගම ආසනය ගැන දැඩි විශ්වාසයෙන් කතා කළ රතන හිමියෝ අපේ ජනබල පක්ෂය යටතේ තරග වදින සුනේත්‍රා සමරකෝන් මහත්මිය විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බව ද පැවසූ හ.

ප්‍රදේශයේ සුපතළ සමාජ සේවිකාවක් වන සුනේත්‍රා සමරකෝන් මහත්මිය, බලයේ සිටි සහ සිටින දේශපාලකයන්ට වඩා තම පෞද්ගලික ධනයෙන් සමාජ සත්කාරක වැඩසටහන් රැසක් දියත් කරමින් සිටින්නීය, අදත් හෙටත් ඒවා අඛණ්ඩව සිදු වනු ඇත. ජාතික තලයේ දේශපාලන භූමිකාවකට පණ පොවන්නට සුනේත්‍රා සමරකෝන් මහත්මිය අත්‍යන්තයෙන් ම සුදුසු ය

ඇයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂකත්වය නොලැබුණේ ශ්‍රි.ල.නි.ප.යේම ප්‍රධාන පෙළේ දේශපාලකයෙක් මැදිහත් වීම නිසා බවද වාර්තා වේ. නමුත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඉල්ලීම මත ජනාධිපති ගේ දෑත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඇය අවසානයේ දී අපේ ජන බල පක්ෂය යටතේ තරඟ වැදීමට තීරණය කළේය.

එ නිසා ජනතා බදු මුදලින් නාඩගම් නටන දේශපාලන රූකඩ වෙනුවට සුනෙත්‍රා සමරකෝන් වැනි, මානව විරෝධී කිසිදු ක්‍රියාවකට හෝ වංචාවකට දූෂණයකට හවුල් නොවූ, පිරිසිදු දේශපාලන චරිතයක් සහ මානවවාදී චර්යාවක් ඇත්තියක මීරිගම ආසනය සඳහා තෝරා පත් කර යැවීමට එහි බුද්ධිමත් ජනතාව දෙවතාවක් නොසිතනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *