ගංවතුර තර්ජනයෙන් ගැලවීමට නාවික හමුදාව ගිං ගග මෝය කට පවිත්‍ර කරයි

ගිං ග‍ගේ ජලය ගාල්ල, අගලිය පාලම අසලින් බැසයාමට බාධාවන පරිදි සිරවී තිබූ දැව කඳන් සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවුක හමුදාව අද (10) සහ ඊයේ (09) කටයුතු කළේය. ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර ආපදා තත්ත්වය මැඩ පැවැත්වීමේ අරමුණින් මෙම පියවර ගත් බව නාවික හමුදාවේ ගාල්ල දක්ෂිණ නාවුක හමුදා කදවුර ප්‍රකාශ කරයි.

ඉදිරියේදී ඇති විය හැකි වැසි සහිත කාළගුණයන් යටතේ ගිං ග‍ඟෙහි ජල මට්ටම ඉහළ යෑම සිදුවන බැවින් ඇතිවිය හැකි ගංවතුර ආපදා තත්වයට පෙර සූදානමක් ලෙස මෙම අදව්‍ය ඉවත් කිරීම සිදුකර තිබේ. ගිං ගඟ හරහා වැටී ඇති අගලිය පාලම තුළ සිරවී ඇති විශාල උණ පඳුරු, දැව කඳන් හා අපද්‍රව්‍ය ඉවත් කිරීම දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල්ගේ මහතාගේ උපදෙස් පරිදි මෙහිදී සිදුකර තිබේ.

දකුණු නාවික විධානයට අනුයුක්තව රාජකාරි කරන කිමිදුම් අංශයේ නාවිකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් මහත් පරිශ්‍රමයක් යොදා එම අපද්‍රව්‍ය ඉවත්කර ජලය බාධාවකින් තොරව ගලා යාමට සැලැස්වීමට කටයුතු කරන ලදි. ඉදිරි ගංවතුර අවධානමකදී ගඟ දෙපස ජීවත් වන අයගේ නිවාස මෙන්ම ජනතාවගේ ජීවිත ආරක්‍ෂාව සිදු කිරීම මෙහි අරමුණ වී තිබේ.

දැනට රටතුල දැනට පවතින කොරෝනා වසංගත ව්‍යසනකාරී අවස්ථාවේ ගංවතුර තත්ත්වයක්ද ඇති වුවහොත් එය ජනතාවට මහත් පීඩාවක් වන බැවින් මෙම පියවර ගත බවද ගාල්ල නාවුක හමුදා කදවුරේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. ගංවතුර පාලනය කිරීම සඳහා ගතහැකි සෑම පියවරක්ම ගනිමින් සිටින බවත් ඉදිරියේදී ඇති විය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීමටත් ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීමටත් නාවුක හමුදාව වෙනුවෙන් නිරන්තර අවදානයෙන් සිටින බවත් එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය.

නාවුක හාමුදාව ගිං ග‍ගේ ජලය ගාල්ල, අගලිය පාලම අසලින් බැසයාමට බාධාවන පරිදි සිරවී තිබූ දැව කඳන් සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමට කටයුතු කරන අයුරු ඉහත ඡායාරූප වල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *