කෝවිඩ් අර්බුදයෙන් රටට වුණු හානිය යුද්දෙන් වුණ හානියට වඩා විශාලයි–අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

කෝවිඩ් අර්බුදයෙන් රටට වුණු හානිය යුද්දෙන් වුණ හානියට වඩා විශාලයි–අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

කොවිඩ් -19 අර්බුදය හේතුවෙන් රටට වූ හානිය යුද්ධයෙන් වූ හානියට වඩා බරපතල බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (18) පැවසීය.

කැලණි ගඟ දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතිය, දෙවන අදියර විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඒ මහතා මේ බව කීවේය. ඒ මහතා මෙසේද කීය.

“අපිට දැන් දෙපැත්තක වගකීමක් ඉතිරිවෙලා තියෙනවා. එකක් තමයි 2015න් පස්සේ බිඳදාපු රට ආයේ ගොඩනඟන එක. අනෙක් අර්බුදය තමයි ලෝකෙටම මුහුණදෙන්න සිද්ධවෙලා තියෙන කොවිඩ් -19 අර්බුදයට මුහුණදෙමින් මේ රට ඉදිරියට ගෙනයන එක.

කොවිඩ් -19 අර්බුදය නිසා රටට වෙච්ච හානිය යුද්දෙන් වෙච්ච හානියටත් වඩා බරපතළයි. මේ රටට ලොකුම ආදායම ගෙනාවේ විදේශගත ශ්‍රමිකයන්. ඒ අයගෙන් මාසිකව ලැබුණු ආදායම නතර වුණා. ඒ අයව ලංකාවට ගෙන්න ගන්නත් සිද්ධ වෙලා. ලක්ෂ ගණනක් ජීවත්වුණ, සංචාරක ව්‍යාපාරය අඩපණවෙලා තියෙනවා. ඇඟලුම් කර්මාන්තය එක සතියකදි ආපස්සට කැරකුණා. ධීවර කර්මාන්තය එක රැයින් බිඳවැටුණා. ප්‍රවාහන සේවාව බිඳවැටිලා ඒවායින් ජීවත් වුණ දහස් ගණන් ජනතාව අසරණ වෙලා. පේමන්ට් එකේ බඩු විකුණන වෙළෙන්ඳාගේ ඉඳන් සුපිරි වෙළෙඳසැල දක්වා කඩාවැටුණා.

විදේශගත ශ්‍රමිකයන්ගෙ ආදායම් නැතිවුණත්, සංචාරක කර්මාන්තයේ ඉඳන් ධීවර කර්මාන්තයේ ඉඳන් ප්‍රවාහනය ආදියෙන් දෛනිකව සියලු ආදායම් අහිමිවෙලා තිබුණත්, අපිට දවසකට PCR පරීක්ෂණ දහස් ගණනක් කරන්න මිලියන සිය ගණනක් වෙන් කරන්න සිදුවෙලා තියෙනවා. වෙන රටවල වගේ දහස් ගණනක් රෝගීන් මැරෙන්න නොදී බේරගන්න සිදුවෙලා තියෙනවා. දහස් ගණන් නිරෝධායනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ රටේ තිබුණ සියලු ව්‍යාපාරවලට සහන දෙන්න සිද්ධවෙලා තියෙනවා. ආණ්ඩුවේ සේවකයෝ ලක්ෂ 15කට නියමිත වේලාවට පඩි ගෙවන්න සිද්ධවෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි යහපාලන ආණ්ඩුව ජංගම දුරකථනෙටත් අයකෙරුව 25% බද්දේ ඉඳන් ජනතාවට බලපාන බදු වර්ග 13ක් අතඇරලා, භාණ්ඩාගාරයට ලැබෙන්න තියෙන සියලු ආදායම් අතඇරලා තමයි අපිට මේ තරම් සහන දෙන්න සිද්ධවෙලා තියෙන්නේ.

කොඩිඩ් -19 වසංගතය ඉවර කරන ගමන්ම, අපි රට සියලු අංශවලින් ගොඩයන්න ඕන සියලු පියවර අරගෙන තියෙනවා. ඉරටුවත් මෙරටට පිටරටින් ගෙනාවා. සරුංගලයත් පිටරටින් ගෙනාවා. කොහු ඉදලුත් පිටරටින් ගෙනාවා. අපි අද ඒ සියල්ල නතර කළා. මැටි වළඳේ ඉඳන්, කහ පඳුරේ ඉඳන් ටයරය දක්වා අපේ රටේම හදාගන්න වැඩපිළිවෙළක් ආරම්භ කරලා ඉවරයි” යැයිද අගමැතිවරයා කීය.

Mahinda Rajapaksha

Leave a Reply

Your email address will not be published. Required fields are marked *