කොවිඩි 19 වෛරසය මිනිස් සිරුරට ආවේ ඈයන්ගේ හෝ සර්පයන්ගේ මාංශ පරිබෝජනය මගින් බව සනාථයි????

කොවිඩි 19 වෛරසය මිනිස් සිරුරට ආවේ ඈයන්ගේ හෝ සර්පයන්ගේ මාංශ පරිබෝජනය මගින් බව සනාථයි????

ශ්‍රී ලංකාව ලෝකයේ ලෙංගතුකම පිරි විශිෂ්ටතම සත්කාරක රට බව නැවතත් ඔප්පු කළේය.ඒ මෙරටදි හඳුනාගත් අලුත් චීන වෛරස අසාදිත කාන්තාව පරෙස්මෙන් බලා කියාගන සනීප කර සිය රටකරා යවන්නට අපේ සෞඛ්‍ය අංශ සමත් වීම නිසාය.ඒ ගැන සියලු ප්‍රසංශාව හිමිවිය යුත්තේ ජාතික උණ රෝහලේ කාර්යය මණ්ඩලයටය.ලොවම මෙම රෝගය නිසා කැලඹී සිටියද ඔවුහු නොබියව ආදර්ශවත් අයුරින් සිය සේවය ඉටු කළහ.ලෝකය භීතියට පත්කළ කොවිඩ් -19රෝගය පතුරවා හරින SARS-CoV-2 වෛරසය මිත්‍යා රැසකටද මුල් විය. ඒ නිසාම මේ අමුතු වෛරසය ගැන විද්‍යාත්මක අවදානයද ඉහළ ගියේය.ටිකෙන් ටික ඇත්ත එළිවෙද්දි නව වෛරසය පැතිරීම වැළැක්වීමට සමත් දැනට භාවිතයේ ඇති ඖෂධ 5ක් වෙන්කර හඳුනා ගැනීමට අපේ විද්‍යාඥයින් පිරිසක් ද සමත් වූහ.

2019 අග මතුවූ චීන වෛරසය ගැන සෙසු ලෝකයා වෙත ආරංචිය ආවේ පමාවීය. පමාවී ආ ආරංචියද අසුබ ආරංචියක් විය. මාධ්‍ය තුළින් බොහෝ සැක සංකා මතුවන්නට වූයේ ඉතා කෙටිකාල පරතරයකදී රෝගය සීඝ්‍රව පැතිර යන්නට වූ නිසාය. මේ නිසා ඕපාදූප කතා ද සෑහෙන ප්‍රමාණයක් එළියට ආවේ සැබෑ පුවත් ලෙස වෙස්වලාගෙනය. ජනවාරි 31 එබඳු එක් පුවතක් එළියට ආවේය. පරීක්ෂණයක වාර්තාවක් හැටියටය. bioRxiv නැමැති අඩවියේ පළවූයේ නව වෛරසය තුළ AIDS රෝගකාරක වෛරසයේ අන්තර්ගත ප්‍රවේණික ද්‍රව්‍ය හෙවත්, ජාන 2ක් දක්නට ලැබෙන බවයි. මේ කතාව වැඩිකලක් යන්නට මත්තෙන් තටු ලැබ ලොවපුරා පියඹා ගියේය. අන්තිමේදී සිදුවූයේ වැමෑරූ කපුටු පිහාටුව කපුටන් හත්දෙනෙක් වූ කතාවට වූ දෙයමය. මේ නිසා ලෝකය පුරා සැකසංකාවක් පැතිර යන්නට වූයේ නව වෛරසය වූහාන් නගරයේ පර්යේෂණාගාරයක නිපදවූ ජෛව විද්‍යාත්මක අවියක් පිටතට කාන්දු වීමක් හැටියටය. බටහිර මාධ්‍ය මේ පුවත වහා අල්ලාගත් අතර චීන කොරෝනා භීතිකාවක් ලොවපුරා පැතිර යන්නට විය.

මීට වසර 40කට පමණ පෙර ලියැවුණු නව කතා පොතක 2020 කොරෝනා වෛරසය පැතිර යන ආකාරයත් ඒ නිසා ලෝකය භිතියට පත්වන ආකාරයත් කලින් බලා උන්නා සේ ලියා තිබේ. 1981 දි පළවු ලේඛක Dean Ray Koontz’s ලියු ත්‍රාසජනක නව කතාවක් වන “The Eyes of Darkness”,හි දිගහැරෙන කතාව අපූරු අහඹු ආකාරයකට ගෙතී ඇත්තේ චීනයේ වූහාන් නගරය කේන්ද්‍රකරගනමය.එම කතාවේ කියැවෙන්නේ වුහාන් හි මිලිටරි පර්යේෂණාගාරයක නිපදවෙන Wuhan-400,නමැති ජෛව ආයුධයක් වන වෛරසයකි.ඒ කතාවෙදි නම් අමෙරිකාව මේ සඳහා එන්නතක් සොයාගන්නේය. දැන් අපේ රටේ විද්වතුන් පිරිසක් පවතින ඖෂධ වලින්ම ප්‍රථිරෝධි ඖෂධයක් සොයාගන ඇති ලෙසටය.

නව කොරෝනා වෛරසය ගැන ආරංචීය පතළ වී චීනයෙන් පිටත වු විද්‍යාගාරයක් එය සෑදී ඇති ප්‍රවේනික ද්‍රව්‍ය ගොනුව පිළිබඳ සොයා ගත් කල, එකී තොරතුරු අප රටේ ආයතන කිහිපයකටද ලැබුණි.ඉන් එක් ආයතනයක් වූයේ කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන අණුක ජීව වේද සහ ජෛවතාක්ෂණ ආයතනයයි. එහි විද්‍යාඥ ආචාර්ය සමීර ආර්. සමරකෝන් ඇතුළු පිරිස යුහුසුළු වුයේ අලුත් බෙහෙත් හදන්නට නොව තියෙන බෙහෙත් වලින් අලුත් ලෙඩේට ගැළපෙන ඖෂධයක් සොයා ගැනීමටය. ජෛව තොරතුරු තාක්ෂණය යටතේ දියුණු පරිගණක මෘදුකාංග යොදාගෙන සිදුකළ මෙම පර්යේෂණය දීර්ඝ කාලීනව අඛණ්ඩව සිදු කෙරිණි. වෛරසයේ පිටත ඇති ඔටුණු වැනි නෙරුම් සහිත ප්‍රෝටීන කොපුව සම්බන්ධයෙන් මේ පරික්ෂණය සිදුවිය.එම කොපුව මගින් මිනිස් සෛල වලට සම්බන්ධවන ස්ථාන අවහිර කරමින් රෝගය පැතිරීම වැළැක්වීමට සමත් ඖෂධයක් සොයාගැනීමේ අරමුනෙනි. ඔවුන්ගේ උත්සාහය වූයේ දැනට භාවිතයේ ඇති අනුමැතිය ලත් ඖෂධ අතරින් මේ සඳහා ඖෂධයක් වෙන්කර ගැනීමය.ඒ අනුව ඖෂධ 5ක් වෙන් කර ගැනීමට මේ පර්යේෂක පිරිසට හැකියාව ලැබුණී. මෙම පර්යේෂණය ඔස්සේ නව සොයා ගැනීම සිදු කළේ කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන අණුක ජීව වේද සහ ජෛවතාක්ෂණ ආයතනයේ විද්‍යාඥයන් වන ආචාර්ය සමීර ආර් සමරකෝන් , ආචාර්ය කනිෂ්ක සෙනතිලක සහ මහාචාර්ය කමනී තෙන්නකෝන් ඇතුළු පිරිසකි.ඔවුන් සිය පර්යේෂණ දත්ත පිළිබඳ වාර්තාව ඉදිරි දින කිහිපය තුළ අන්තර්ජාතික විද්‍යාත්මක ප්‍රජාව වෙත මුදාහැරීම සඳහා කටයුතු කිරිමට නියමිතය.

ලංකාවේ වෛරස හඳුනාගැනීම පිළිබඳ පරීක්ෂණ කටයුතු සඳහා මෙතෙක් මූලික වගකීම දැරුවේ වෛද්‍යපර්යේෂණ ආයතනයයි.නමුත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අලුතෙන් ඇරැඹු ඩෙංගු මර්දන ඒකකයද දැන් සිය පර්යේෂණාගාර මේ සඳහා කැපකර හමාරය.ඔවුන්ටද වෛරස ප්‍රවේනික ද්‍රව්‍ය ගොනුව ගැන තොරතුරු ලැබුණි.

“අපි ඉගෙන ගත්තේ ආණ්ඩුවේ මුදලින් ,ඒකියන්නේ ජනතාවගේ මුදල්නේ.මේ ආයතන හැදුනෙත් ඒ මුදල් වලින්ම තමා.මේ වෛරස් රෝගය දැන් මෙහෙම තිබුණාට පැතිර යන ආකාරය බලද්දි, ඉදිරියේ ලංකාවටත් එන්න පූළුවන්. එහෙම අවස්ථාවක අපේ පර්යේෂණාගාරයටත් ඒ රෝගීන් හඳුනා ගැනීමේ කාර්යයට උදව් දෙන්න පුළුවන් .අපිට වෛරස ගැන ප්‍රෙව්නික තොරතුරු ආවාම රෝගපරීක්ෂණ ආරම්භ කළේ ඒ අන්දමේ පෙර සුදානමක් හැටියටයි.

“අපේ ආයතනයට මේ සඳහා ඕනෑකරන නියමිත‍ ජෛව ආරක්ෂණ මට්ටම තියෙනවා.අපේ ලැබ් ඉහළම මට්ටමේ. මේවන විට වැඩියෙන් ම අපි අවදානය යොමු කර තිබුණේ දැනටමත් මහා පරිමාන ගැටලුවක් වී ඇති මාරාන්තික ඩෙංගු රෝගය ගැන පර්යේෂණ සඳහායි.නමුත් මේ රෝගයේ පැතිරයාමේ වේගයත් ඒ ගැන මතුව ඇති අනවශ්‍ය බියත් අනාගතයේ මෙය පැතිරිමට ඇති වැඩි අවස්ථාවත් නිසා මේ වෛරසය ගැන පරීක්ෂණ අරඹන්න මට උපකුලපතිතුමාත් අපේ පීඨාධිපති තුමාත් උපදෙස් දුන්නා.ජනතාවගේ සමිපත් ඔවුන්ගේම සුබසිද්ධියට යෙදීම අපේ අරමුණ වුණා. සතුටු දායක ප්‍රතිඵල අපට ලැබුණා.“ මේ පැහැදිලි කිරිම ලංකාවේ ප්‍රමුඛ පර්යේෂණ විද්‍යාඥවරියක වන වෛද්‍ය මහාචාර්ය නිලිකා මලවිගේ වෙතිනි.ඇය එම ඒකකයේ ප්‍රධානියාය. මේ ඒකකයේ ආරම්භයටත් පැවැත්මටත් පැසසුම් ලැබිය යුත්තන් අතර වෛද්‍ය චන්දිම ජීවන්දර ප්‍රධානය.ලංකාවේ වෛරස් ලෙඩේ හොයන්න පර්යේෂණාගාර නැතැයි පැතිර ගිය කටකතා වලට ඇගේ මේ ප්‍රකාශය මනා සාක්ෂියකි.

කොරොනා වෛරස මිනිසා ඉල්ලන් දමා ගන්නා ලෙඩකි.මේ වන විට මිනිසාට හානිකර රෝගකාරක වෛරස 219ක් හඳුනාගන තිබේ.එයින් ලෙඩ හදන කොරෝනා වෛරස මෙතෙක් තිබුණේ 06කි. මේ හත් වැන්නයි.එය ආවේ කොහෙන්ද? ‘ලැබ් ලීක්“ එකකින්ද? මෙතෙක් වාර්තාගත සියලු කොරොනා රෝග ආවේ මිනිසාගේ ඉවක්බවක් නැති මාංශ ලෝලීත්වය නිසාය. නිදසුනක් ලෙස වසර 2002දී ද එම පවුලට අයත් වෛරසයක් ලොවපුරා පැතිරයාම මෙලෙසම චීනයෙන් ආරම්භ විය. සාර්ස් (Sars) නමින් හැඳින්වුණු එම වසංගතයට පුද්ගලයන් 8098 දෙනෙකු ගොදුරු වූ අතර ඉන් 774 දෙනෙක් මිය ගියහ. එම සාර්ස් (Sars) වෛරසය මිනිස් සිරුරට ඇතූළු වී තිබුණේ ඌරුලෑවකුගෙනි. නව කොරෝනා වෛරසයක් 2012 දී අලුත් ලෙඩක් දැම්මේය. මර්ස් (Mers) නමැති එය හේතුවෙන් වාර්තා වූ රෝගීන් 2494 දෙනෙකුගෙන් 858 දෙනෙක් මියගියහ. මැද පෙරදිග රටවලදී එම වෛරසය වරින්වර මිනිසාට ආසාදනය වී තිබුණේ ඔටුවන්ගෙනි. අලුත් වෛරසයේ ප්‍රවේණික ද්‍රව්‍ය සහිත වෛරස වවුලන් තුලින්ද විර්තාවී ඇත. සර්පයන් තුළද රටේ ගිජු ලෙස ආහාරය ට ගන්නා කැබැල්ලෑවා හෙවත් ඈයන් තුළද මේ වෛරසද්‍රව්‍ය වාර්තා වී තිබේ.මේනිසා වෛරසය මිනිස් සිරුරට ආවේ ඈයන්ගේ හෝ සර්පයන්ගේ මාංශ පරිබෝජනය මගින් බව සනාථව තිබේ. මස් කෑමේ ඵලවිපාක අක්වන තවක් බය හිතෙන කතාවක් මේ තුළ සැඟව තිබේ.විද්‍යාඥයන් පෙන්වා දී ඇත්තේ මිනිස් සිරුරට ඇතුළුව මාරාන්තික ලෙඩ දැමිය හැකි වෛරස 3,60 000ක් පමන වෙනත් සතුන්ගේ සිරුරු තුළ රෑඳී ලෙඩ දමන්නට අවස් ථාවක් ලැබෙන තුරු සිටින බවය.දැන හෝ නොදැන මේ සතුන් අහාරයට ගැනීමෙන් හෝ එම සතුන් ගොදුරු කර ගන්නා වෙනත් සතුන් අහාරයට ගැනීමෙන් මිනිසාට ඉදිරියටත් මේබඳු මාරාන්තික රෝග වැළඳිය හැකි බවට ඔවුන් අනතුරු අඟවා තිබේ.

– නිශානි අත්තනායක__අන්තර්ජාලයේ පළමු වාර්තාවක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *