කොරෝනා වෛරසය පැතිරීම පාලනයට ‘අවතාර’ යොදා ගනි
ඉන්දුනීසියාව තුළ කොරෝනා වෛරසය පැතිරීම පාලනයට ‘අවතාර’

කොරෝනාවෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ‘භූත වෙස්’ ගැනීමේ පුවතක් ඉන්දුනීසියාවේ ගම්මානයකින් වාර්තා වෙයි. ‘භූත වෙස්’ ගත් තරුණයන් දෙදෙනෙක්
නිවසින් බැහැරව ගමන් බිමන්වල යෙදෙන ගම්වැසියන් බිය ගැන්වීම සඳහා තැන් තැන්වල භූත වෙස් ගත් පුද්ගලයන් රඳවා තැබීමට කටයුතු කර ඇති බව වාර්තා වන්නේ ඉන්දුනීසියාවේ ජාවා දූපතේ කෙපුහ් ගම්මානයෙනි.
මේ සඳහා ඔවුන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන පුද්ගලයන් යොදා ගෙන තිබේ.
ඉන්දුනීසියානු ජනප්රවාදයට අනුව මෙම ‘අවතාර’ මළවුන්ගේ ආත්ම ලෙස සැළකේ. එම අවතාර ඔවුන් හඳුන්වන්නේ “pocong” නමිනි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය ඉදිරිපත් කරන දත්ත අනුව කොරෝනාවෛරස ආසාදිතයන් 4,500ක් සහ මරණ 400ක් පමණ ඉන්දුනීසියාවෙන් වාර්තා වී ඇත.
නමුත් විශේෂඥයන්ට අනුව එරට සිටින ආසාදිතයන්ගේ ප්‍රමාණය මීට වඩා ඉතා වැඩි විය හැකි බවට බිය පළ වෙයි.

- කොරෝනා වෛරසය: මොකක් ද මේ? රෝග ලක්ෂණ මොනවා ද? වළක්වා ගන්නේ කෙසේ ද?
- කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමේ උපදෙස්
- කොරෝනා වෛරසය ගැන අප තවමත් නොදන්නා කරුණු මොනවා ද?

කෙසේ නමුත්, ‘අවතාර භාවිතය’ මගින් මිනිසුන් නිවෙස්වල තබා ගැනීමේ උත්සාහය මුලදී අසාර්ථක වී ඇති බව, ඒ පිළිබඳව සොයා බැලීමට ගිය රොයිටර් පුවත් සේවයේ වාර්තාකරුවෝ පවසති.
මෙම අවතාර වෙස් ගත් පුද්ගලයන් දැක බලා ගැනීමට මිනිසුන් වීදි බැස ඇති බව ඔවුන් වාර්තාකර තිබුණි.
නමුත් ප්‍රදේශවාසීන් පවසන්නේ අනපේක්ෂිත අයුරින් මෙම කණ්ඩායම තැන් තැන්වල යෙදවීම ආරම්භ කිරීමෙන් පසුව මිනිසුන් නිවෙස්වලින් බැහැරව යාම අඩු වූ බවය.
“මේ අවතාර පේන්න පටන් ගත්තට පස්සේ දෙමව්පියෝ දරුවොත් එක්ක ගෙයින් එලියට ගියේ නැහැ. හැන්දෑවේ යාඥාවලින් පස්සේ කවුරුවත් පාරවල් අයිනේ රංචු ගැහුණේ නැහැ.” ගම්සිවැයෙකු වන කාර්නෝ සුපද්මෝ, රොයිටර් පුවත් සේවයට පැවසීය.
- රෝහින්ග්‍යා සරණාගතයන් මිලියනයක් වෙසෙන දිස්ත්‍රික්කයක් වසා දැමේ
- කොරෝනා වෛරසය: වයස පනහට වැඩි පිරිමින්ට අවදානම වැඩි ද?
ගමේ මුස්ලිම් පල්ලියේ භාරකරු වන අන්ජාර් පංකා, ජකර්තා පෝස්ට් පුවත්පතට පවසා ඇත්තේ ඉහත කී ආකාරයට භූත වෙස් ගත් පුද්ගලයන් යොදා ගැනීමෙන් මෙම වසංගතයේ ඇති මාරාන්තික බව මිනිසුන්ට පසක් වීම නිසා එය සාර්ථක වූ බවය.
මේ සඳහා ‘හොල්මන් හෝ අවතාර’ සංකල්පය යොදා ගැනීම, ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ සම්බන්ධීකරණය සහිතව සංවිධානය කරනු ලැබ ඇත්තේ ගමේ තරුණ කණ්ඩායමේ ප්‍රධානියා විසිනි.
“අපිට වෙනසක් කරන්න ඕන වුනා. වෙනස් බලපෑමක් නිර්මාණය කරන්න ඕන වුනා. මේ හොල්මන් අවතාර හරිම අද්භුතයි; බිය උපදවන සුළුයි.” තරුණ කණ්ඩායමේ ප්‍රධානි අන්ජර් පන්කනින්ග්තියාස්, රොයිටර් පුවත් සේවයට පැවසීය.

රට පුරා දැඩි ක්‍රියාමාර්ග දියත් නොකළහොත් කොරෝනාවෛරස් වසංගතය නිසා රටේ සෞඛ්‍ය සේවයට ඔරොත්තු නෙදෙන තත්ත්වයක් උදාවිය හැකි බවට බිය පළවී ඇතත් රට වසා දැමීමට (ලොක්ඩවුන්) ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විදෝදෝ තවමත් තීරණය කර නැත.
කෙපුහ් ගම්මානයේ ප්‍රධානියා රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් නිසි දැනුවත් කිරීමක් ප්‍රදේශවාසීන්ට තවමත් ලැබී නොමැති හෙයින් ඔවුන් සාමාන්‍ය පරිදි ජීවත් වීමට උත්සාහ කරන බවත් එබැවින් නිවෙසට වී සිටින ලෙස ලැබෙන උපදෙස් පිළිපැදීම ඔවුනට අපහසු වී ඇති බවත්ය.
සම්මතයෙන් බැහැරව වුව ද, මෙම වසංගතයේ ඇති භයානක බව පසක් කරවීම සඳහා අසාමාන්‍ය ක්‍රියාමාර්ගයන් අනුගමනය කළ තවත් අවස්ථා ලෝකයේ තවත් රටවලින් වාර්තා විය.
කොරෝනාවෛරසයේ ඇති අවදානම මතුකර පෙන්වීම සඳහා ඉන්දියාවේ ඇතැම් පොලිස් නිලධාරීහු වෛරසයේ හැඩය ගත් ආරක්ෂිත හිස් වැසුම් පැළඳ සිටියහ.
උපුටා ගැනිම–බිබිසි සිංහල