කොරෝනා වෛරසය: කොවිඩ්-19 නිසා ලෝකයට බ්‍රසීල ආදිවාසීන් අහිමි වීමේ අනතුරක්

කොරෝනා වෛරසය: කොවිඩ්-19 නිසා ලෝකයට බ්‍රසීල ආදිවාසීන් අහිමි වීමේ අනතුරක්

  • 2020 අප්‍රේල් 8
Indigenous women

කොරෝනාවෛරසය හේතුවෙන් ඇමේසන් කලාපය (Amazon region ) ඇතුළු බ්‍රසීලයේ වෙනත් වනගත කලාපයන්හි ජීවත්වන ආදිවාසී ප්‍රජා සමූහ ලොවට අහිමිවීමේ අනතුරක් පවතින බව විශේෂඥයෝ පෙන්වා දෙති.

ඉන්ෆ්ලුවෙන්සාවෛරසය (influenza) නිසා ඇති වෙන ශ්වසන ආබාධ, එම ආදිවාසී කණ්ඩායම් අතරින් දැනටමත් වාර්තා වෙමින් ඇති මරණ වැඩි ගණනකට හේතුව වී ඇත.

අප්‍රේල් 05 වෙනිදා වන විට බ්‍රසීලයේ කොරෝනාවෛරසය ආසාදිත ජන සංඛ්‍යාව 11,000 කට අධික වූ අතර මරණ සංඛ්‍යාව 486 ක් විය.

කොවිඩ්-19 මුලින් ම පැතිර ගිය බ්‍රසීලියානු කලාපය වූයේ, සාඕ පවුලෝ (São Paulo) කාර්මික ප්‍රාන්තයයි. එහෙත් වෛරසය මේ වන විට රට පුරා ම පැතිර ගොස් ඇත.

වෛරසය මේ වන විට ඇමේසන් ගංගා නිම්නයේ ආදිවාසී ජනතාව ද ගොදුරු කර ගනිමින් ඇත. ඇමේසන් ගංගා නිම්නය යනු ප්‍රංශය සහ ස්පාඤ්ඤය යන රටවල් දෙක එකට එකතු කළ විට සෑදෙන භූමිය තරම් විශාල කලාපයකි.

පළමු ආසාදිත ආදිවාසියා හමුවී තිබෙන්නේ ඇමසෝනාස් (Amazonas) ප්‍රාන්තයෙනි.

බ්‍රසීල ජනගහනයෙන් 0.5%ක් ආදිවාසීහු නියෝජනය කරති
Image captionබ්‍රසීල ජනගහනයෙන් 0.5%ක් ආදිවාසීහු නියෝජනය කරති

”මේක භයානක අනතුරක්. කොවිඩ්-19 ජීවිත විනාශ කරමින් ආදිවාසී ජජනාවාස අතර පැතිරයමින් පවතිනවා,” සාඕ පවුලෝ ෆෙඩරල් සරසවියේ (Unifesp) ආචාර්ය සොෆියා මෙන්ඩොන්කා පවසන්නීය.

ආචාර්ය සොෆියා, සාඕ පවුලෝ ෆෙඩරල් සරසවිය මගින් ඇමේසන් වැහි වනාන්තරයේ, ෂින්ගු ( Xingu ) ගංගා නිම්නයේ ආදිවාසී ජනතාව අතර ක්‍රියාවට නංවනු ලබන සෞඛ්‍යය ව්‍යාපෘතියක සහකාර සංවිධායකවරියකි.

සරම්ප වැනි ස්පර්ශයෙන් බෝවෙන ශ්වසන ආබාධවලට හේතුවෙන වසංගත පැතිර යාම නිසා අතීතයේ ඇති වූ ආකාරයේ විනාශයක් මෙවර කොරෝනාවෛරසය නිසාත් ඇතිවේ දැයි ඇය බිය පළකරයි.

1960 දශකයේදී වෙනිසුලා දේශසීමාව අසල ජීවත්වන යනොමාමි (Yanomami) ප්‍රජාව අතර සරම්ප බෝවීමෙන් එය අසාදනය වූවන්ගෙන් 9%ක් මරණයට පත්ව ඇත.

Presentational grey line
Presentational grey line

”මේක හරිම අවුලක්”

” කවුරුත් ලෙඩට ගොදුරු වෙමින් ඉන්නවා. ඒ එක්ක ම අපට වයසක ජනතාව – ඔවුන්ගේ දැනුම සහ සමාජ සංවිධානය අහිමි වෙනවා. මේක හරි ම අවුලක්” ආචාර්ය සොෆියා මෙන්ඩොන්කා කණස්සල්ල පළ කරන්නීය.

මුහුණ දීමට සිදුව ඇති අභියෝගය හමුවේ ඇතැම් ආදිවාසී ප්‍රජා සමූහ කුඩා කාණ්ඩ වශයෙන් වෙන්ව වනාන්තරයේ පිහිට පැතීමට සැලසුම් කරමින් සිටින බවත් ඇය පවසයි.

අතීතයේ තමන් ගොදුරු කර ගැනීමට පැමිණි වසංගත කාලවල එම ජනතාව අනුගමනය කර ඇත්තේ එවැනි උපාය මාර්ගයකි.

”ඔවුන් තමන්ට අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කර ගන්නවා. දඩයමට සහ මාළු බෑමට අවශ්‍ය උපකරණ ආදිය. ඊළඟට වාඩි හදා ගන්නවා. වෛරසය පහව යන තෙක් ඒවගේ ජීවිතයකුයි ඔවුන් ගෙවන්නේ.”

Indigenous chief
Image captionමුහුණ දීමට සිදුව ඇති අභියෝගය හමුවේ ඇතැම් ආදිවාසී ප්‍රජා සමූහ කුඩා කාණ්ඩ වශයෙන් වෙන්ව වනාන්තරයේ පිහිට පැතීමට සැලසුම් කරති

වෛරසය බෝවීමේ අනතුර අවම කර ගැනීම සඳහා සබන් යොදා අත් සෝදා ගැනීම හෝ අත් පිරිසිදු කෙරෙන වෙනත් සනීපාරක්ෂක රසායන වර්ග භාවිතය සම්බන්ධයෙන් බොහෝ ආදිවාසී ප්‍රජාවන් අතර පවතින්නේ අඩු අවබෝධයකි.

ඔවුහු ඉතා කුඩා වාසස්ථානවල එකට ම ජීවත්වෙති. පිඟන් කෝප්ප ආදිය පොදුවේ පාවිච්චි කරති. එම පුරුදු වෛරසය ඉතා ඉක්මනින් පැතිර යාමට හේතුවෙයි.

එහෙත් එල්ල වී පවතින අනතුර හමුවේ, කෑම බඳුන්, පිඟන් කෝප්ප ආදිය පොදුවේ පාවිච්චි කිරීම නතර කරන ලෙස මෙන් ම, සාම්ප්‍රදායික මට්ටමින් ඔවුන් අතර පැවති වෙන්ව ජීවත්වීමේ පුරුදු අනුගමනය කරන මෙන් දැන් එම ජනතාවට උපදෙස් දීමක් සිදු කෙරෙයි.

මේ ආදිවාසී ප්‍රජා සමූහ ජීවත්වන්නේ යහපත් සෞඛ්‍යය පහසුකම් නොමැති ස්ථානවලය. අධිසත්කාර පහසුකම් නැත.

කොරෝනාවෛරසය ගැන තවත් පුවත්:

Presentational grey line
Presentational grey line

පාලනය ඔවුන්ගේ අතටම

කොරෝනාවෛරසය පැතිර යාමත් සමග බ්‍රසීල ආණ්ඩුව රටේ ජනගහනයෙන් 0.5% ක් තරම් වන, ආදිවාසීන් රැක ගැනීමට පියවර ගන්නේ ද? නැද්ද? යන්න දැන් මතු කෙරෙමින් පවතින ප්‍රශ්නයක් වී ඇත.

ආදිවාසී ජනතාව බ්‍රසීල ජනාධිපති ජායෙර් බෝල්සොනාරෝ (Jair Bolsonaro) දකින්නේ තම ප්‍රශ්නවලට හේතුවෙන පුද්ගලයා හැටියටය. ඊට හේතුව ආදිවාසීන් ජීවත්වෙන අතිවිශාල භූමියේ ඇති ස්වාභාවික සම්පත් රටේ සෙසු ජනතාවත් අතර බෙදී යායුතු බව ජනාධිපතිවරයා කියා සිටීමය.

වෛරස් අනතුර අවම කර ගැනීම සඳහා එරට බොහෝ ආණ්ඩුකාරවරුන් සහ නගරාධිපතිවරුන් දැඩි තහංචි ප්‍රකාශයට පත්කරනු ලැබ ඇතත්, ජනාධිපති ජායෙර් බොල්සොනාරෝ කොවිඩ්-19 සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක මට්ටමට දමා ඇත. ඒ අනුව ජනාධිපතිවරයා පාසල් සහ සාප්පු සංකීර්ණ යළි විවෘත කරන ලෙසත් උපදෙස් දෙයි.

එපරිද්දෙන් මධ්‍යම ආණ්ඩුව අවශ්‍ය පියවර නොගන්නා පසුබිමක් යටතේ, ආදිවාසී ජන සංවිධාන කීපයක් නගරවල සංචාරය කිරීමෙන් වළකින ලෙස සහ සංචාරකයන්ට සිය වාස භූමියට ඇතුළු වීමට ඉඩ නොදෙන ලෙස තම ජනතාවට දැනුම් දී ඇත.

”අපේ සැබෑ මිතුරන් වන කවුරුන් වුණත් ඔවුන් අපි පසුවෙන අනතුරුදායක තත්ත්වය තේරුම් ගන්න ඕන. අපේ ගම්බිම්වලින් කොරෝනාවෛරසය තුරන් කර ගන්න ඉඩ දෙන්න”

එය කරජා (Karajá) නැමති ආදිවාසී ප්‍රජාවට අයත් කණ්ඩායමක් විසින් මාර්ගයක ප්‍රදර්ශනය කරනු ලැබ ඇති බැනරයක ලියැවුණ ඉල්ලීමකි.

එවැනි පූර්ව ආරක්ෂක ක්‍රියාමාර්ග ගනිමින් ඇති නමුත්, කොවිඩ්-19 වෛරසය අන්තිමේදී ඇතැම් ගම්මානවලට කඩා වදිනු ඇති බව විශේෂඥයෝ පෙන්වා දෙති. එම තත්ත්වය යටතේ රෝගී පුද්ගලයන් සෙසු ජනයාට සමීප වීමෙන් වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා පියවර ගැනීම අවශ්‍ය පියවරක් වී ඇත.

Indigenous roadblock
Image caption”අපේ සැබෑ මිතුරන් වන කවුරුන් වුණත් ඔවුන් අපි පසුවෙන අනතුරුදායක තත්ත්වය තේරුම් ගන්න ඕන. අපේ ගම්බිම්වලින් කොරෝනාවෛරසය තුරන් කර ගන්න ඉඩ දෙන්න”

ස්වේච්ඡාවෙන් ම සමාජයෙන් දැනටමත් වෙන්ව ජීවත්වන ආදිවාසී ජන කණ්ඩායම් ද කොරෝනාවෛරසය ආසාදනය වීමේ මාරක අනතුරකට මුහුණ දී සිටින බවටත් විශේෂඥයෝ අනතුරු අඟවති.

ආදිවාසීන් සම්බන්ධයෙන් කටයුතු කරන බ්‍රසීල ආණ්ඩුවේ ෆෙඩරල් ආයතනය (Funai) පවසන පරිදි, බාහිර ලෝකය සමග කිසිදු සම්බන්ධයක් නොපවත්වන ආදිවාසී ජන සමූහ 107 ක් ගැන දැනගන්නට ඇත.

එහෙත් අනවසර දැව ජාවාරම්කරුවන්, දඩයක්කාරයන් සහ ‘ඉවන්ජලිකානු’ ආගමික දූතයන් වනගත එම ප්‍රදේශයන්හි සැරිසරමින් ඔවුන්ගේ කාර්යයන්හි නිරත වෙති. ආදිවාසීන්ගේ සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන පවසන්නේ, මෑත අවුරුදුවල එම වන ගැබට ඇතුළුවීම් විශාල මට්ටමින් වැඩි වී ඇති බවය.

උද්ගතව පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන බ්‍රසීල ආණ්ඩුවේ ෆෙඩරල් ආයතනය (Funai), දිගින් දිගට ම බලයට පත්වෙන ආණ්ඩු අරමුදල් කප්පාදු කරන හෙයින් වනාන්තරවල ජීවත්වන ජනයාට රැකවරණ සැලසීම දුෂ්කර කාර්යයක් වී ඇති බව පෙන්වා දෙයි.

කොරෝනාවෛරසයට එරෙහිව ගෙන යන සටන හමුවේ වනාන්තරය සහ එහි වෙසෙන ජනතාව රැක ගැනීමට උවමනා සම්පත් තවත් කප්පාදු කෙරෙනු ඇතැයි එම ආයතනය බිය පළ කරයි.

බොහෝ ආදිවාසී කණ්ඩායම් වෛරසය නිසා නගරවලට ඇතුළු වීමේ අනතුර දකින නමුත්, ඔවුන්ගේ ඇතැම් නායකයන් පවසන්නේ වෙළෙඳපොළට නොගියොත් සිය ජනයාට ආහාරපාන නැතිව බඩගින්නේ සිටීමට සිදුවිය හැකි බවය.

Aerial photo showing mining activity on indigenous lands
Image captionසිය පාරම්පරික භූමි ආක්‍රමණය කිරීම ඉහළ ගොස් ඇතැයි ආදිවාසී කණ්ඩායම් පවසති

කොලොම්බියාවට සහ වෙනිසුලාවට යාබදව පිහිටි සාඕ ගේබ්‍රියෙල් නම් ඇමේසන් කලාපයේ වෙසෙන දහස් ගණනක් ජනතාව සිය විශ්‍රාම මුදල සහ ආණ්ඩුවේ මුදල් හුවමාරු යාන්ත්‍රණය සමග සම්බන්ධ වීම සඳහා බෝට්ටුවලින් නගරයට යාම පුරුද්දකි.

ඒ සමග ඇතැම් ආදිවාසීන් දඩයම සහ තම ආහාර තමන් ම උපයා ගැනීම වැනි පාරම්පරික සම්ප්‍රදායෙන් වෙන්ව සිය පැවැත්ම සඳහා අලුත් ආදායම් මත රඳා සිටින තත්ත්වයකට හැඩ ගැසෙමින් සිටිති.

සාඕ ගේබ්‍රියෙල් රෝහලේ ශ්වසන අධාරක යන්ත්‍ර (ventilators) නැත. ප්‍රදේශයේ ප්‍රධාන නගරය පිහිටා ඇත්තේ කිලෝමීටර් දහසක් දුරිනි. රෝගියෙකු එහි ගෙනයන්නට සිදුවන්නේ බෝට්ටුවකිනි.

පවතින වසංගත සමයෙහි එම ජනයාගේ බඩගින්න නිවීම සහ ගොඩබිමෙන් සිදුකෙරන ආක්‍රමණය පාලනය කර ගනු ලබන්නේ කෙසේ ද? යන්න සම්බන්ධයෙන් ආදිවාසීන් සම්බන්ධයෙන් කටයුතු කරන බ්‍රසීල ආණ්ඩුවේ ෆෙඩරල් ආයතනය (Funai) කිසිවක් නොකියයි.

ආණ්ඩුවෙන් කිසිදු පිළිසරණක් නොමැතිව ආහාර අවසන් වුණහොත්, කුසගින්නෙන් පෙළෙන ජනතාව ගමේ රැඳී සිටින ලෙස තමන්ට ලැබී ඇති උපදෙස් නොතකා හරින පරිසරයක් මතුවිය හැකිය.

“තෝරා ගැනීමට ඉතිරිව ඇත්තේ වෛරසයට ගොදුරු වීම ද? එසේ නැත්නම් බඩගින්නේ සිටීම ද? යන ප්‍රශ්න දෙක නම්, ඇමේසන් ආදිවාසීන් ඉන් පළමු කාරණය තෝරා ගනු ලබන තත්ත්වයකට වැටිය හැකි,” බවට අනතුරු ඇඟවීම් කෙරී ඇත.

(BBC බ්‍රසීල අංශයේ ෂුආවු ෆෙලෙට් විසින් සකසන ලද වාර්තාවක් ඇසුරෙනි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *