කෘෂි උපකරණ නිෂ්පාදනය කරන දේශීය නිෂ්පාදකයින්ට තැනක් නැතිලු.

කෘෂි උපකරණ නිෂ්පාදනය කරන දේශීය නිෂ්පාදකයින්ට තැනක් නැතිලු.

අතීතයේදී කෘෂිකාර්මික උපකරණ ඇතුලු විවිධ උපකරණ දේශීය නිෂ්පාදකයින් විසින් නිෂ්පාදනය කරමින් මෙරට සංවර්ධනයට දායකත්වය ලබා දුන් නමුත් මේ වන විට ඔවුන්ට එම කර්මාන්ත අතහැර දැමීමේ තත්ත්වයට පත්ව සිටිතියි පවසති.

මෙරට නිෂ්පාදනය කළ හැකි බොහෝ උපකරණ විදේශයන්ගෙන් ආනයනය කිරීම මෙවන් තත්ත්වයට පත්වීමට හේතු වී ඇති බව කෘෂි උපකරණ ඇතුලු විවිධ උපකරණ නිෂ්පාදනය කරන්නන් පෙන්වා දෙති.

දිවයිනෙහි විවිධ ප්‍රදේශවල දක්ෂ කාර්මිකයින් විසින් විශේෂයෙන්ම මෙලෙස කෘෂි උපකරණ නිෂ්පාදනය කොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැනි ආයතනයන්ට අලෙවි කරමින් ස්වයං රැකියා ලෙස ඉතා සාර්ථකව ව්‍යාපාර පවත්වා ගෙන ගොස් ඇතත් ඒ සියල්ල මේ වන විට අතහැර දමා ඇත. ඊට හේතු වී ඇත්තේ පසුගිය රජයයන් යටතේ ක්‍රමයෙන් දේශීය නිෂ්පාදන පසෙකලා සියල්ල ආනයනය කිරීම බව නිෂ්පාදන කරුවන් කිහිප දෙනෙකුම පෙන්වා දුන්හ.

ගම්පහ දිස්ත්‍රික්කයේද දක්ෂ නිෂ්පාදකයින් විසින් කෘෂිකාර්මික උපකරණ නිෂ්පාදනය කොට ඇති නමුත් මේ වන විට ඉන් කිහිප දෙනෙකු හැර අන් සියලූ දෙනාම ඉන් ඉවත්ව වෙනත් කටයුතුවල නිරතව සිටිති.

අදටත් කෘෂිකාර්මික උපකරණ ඇතුලු විවිධ උපකරණ නිෂ්පාදනය කිරීමෙහි නිරතව සිටින ගම්පහ , කිනිගම ප්‍රදේශයේ කාර්මිකයින් කිහිප දෙනෙකු හමුවීමට හැකි වූ අතර එම සියලුම දෙනා පවසා සිටියේ තමන් ඉතා උසස් තත්වයේ උපකරණ නිෂ්පාදනය කළද වර්තමානයේ පිටරට දේ ඇගයීමට පුරුදුව සිටින බැවින් තම නිෂ්පාදනයන්ට තැනක්දීමට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවය.

ඔවුන් පත්ව සිටින තත්ත්වය මාධ්‍ය මගින් පෙන්වා දුන්නද අදාල බලධාරීන්
දේශීය නිෂ්පාදනකරුවන් කෙරෙහි අවධානයක් යොමු කිරීමක් වේයැයි කිසි විටෙකත් නොසිතන බව ඔව්හු පවසා සිටියේ ඔවුන් තුල ඇති දැඩි කළකිරීම නිසාවෙනි.

අතීතයේ ඉතා සාර්ථකව කෘෂි උපකරණ ඇතුලු විවිධ උපකරණ නිෂ්පාදනය කිරීමෙහි නිරත එහෙත් අදටත් විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද එම කර්මාන්තය පවත්වා ගෙන යනු ලබන යක්කල, පිටුවල්ගොඩ , නාගහවත්ත ප්‍රදේශයේ පදිංචි ජර්මන් කාර්මික විද්‍යාලයේදී පුහුණුව ලබා ඇති ඩබ්ලිව්. ඒ.අබේරත්න මහතා අද වනවිට මෙම ව්‍යාපාරය පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය.

” විවෘත ආර්ථිකයත් සමග මෙරට නිෂ්පාදනය කළ කෘෂි උපකරණ චීනය වැනි රටවලින් ගෙන්වීමත් සමග මෙරට නිෂ්පාදනය කළ අපේ නිෂ්පාදනයන්ට තැනක් නැතිව ගියා. නමුත් වත්මන් රජය යටතේ දේශීයත්වයට තැනක් දීම නිසා හොද කලක් යාවි යැයි සිතනව. අපි නිෂ්පාදනයට සූදානම්. “

තවත් කෘෂි උපකරණ නිෂ්පාදකයෙකු වන යක්කල, කිඹුල්ගොඩ පදිංචි එස්.ඒ.එස්.සුභසිංහ මහතා කියා සිටියේ, තමන් සිය මිතුරෙකු වන සරත් කුමාර මහතා සමග එක්ව තේ වතු සදහා භාවිතා කරන උදලු තල නිෂ්පාදනය කොට වෙළඳ පොලට ඉදිරිපත් කළද පසුගිය කාලයේදී එය අතහැර දැමූ බවත් පවතින තත්ත්වය මත යළි නිෂ්පාදන ඇරඹීම කළ හැකි බවත්ය.

මේ අතර දේශීයව නිශ්පාදනය කරන කෘෂි උපකරණ ඇතුළු නිෂ්පාදන මිලදී ගැනීමට ක්‍රමවේදයක් තිබේදැයි අප කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකුගෙන් දුරකථනයෙන් කළ විමසිමේදී ප්‍රකාශ කොට සිටියේ , එවන් ක්‍රමයක් දැනට නොමැති මුත් රජයේ අනුමැතියක් ලැබෙන්නේ නම් මිලදී ගැනීමේ ක්‍රම ඇතිකළ හැකි බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *