කෘත්‍රිමව නිපදවන කහ කුඩු ජාවාරමක සුලමුල රාජ්‍ය බුද්ධි අංශය හෙළිකර ගනී

කෘත්‍රිමව නිපදවන කහ කුඩු ජාවාරමක සුලමුල රාජ්‍ය බුද්ධි අංශය හෙළිකර ගනී

විවිධ ද්‍රව්‍ය මුසු කරමින් කෘතීමව සකස්කොට ඇතැයි සැලකෙන කහකුඩු කිලෝ 200 ක් ගම්පහ ප්‍රදේශයට බෙදා හැරීමට ගෙන එමින් තිබියදී රාජ්‍ය බුද්ධි සේවා ගම්පහ කාර්යාලයට ලද තොරතුරක් මත ගම්පහ පොලීසිය මගින් වැරැල්ලවත්ත ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇත.

කහකුඩු තොගය රැගෙන එමින් සිටි මුදුන්ගොඩ සහ වැරැල්ලවත්ත යන ප්‍රදේශයන්හි පදිංචි 36 සහ 37 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු සමග ප්‍රවාහනය කළ ලොරි රථයක් මෙහිදී අත් අඩංගුවට ගෙන තිබේ.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කහකුඩු පිටකොටුව තොග වෙළඳුන්ට යැවීමෙන් පසූව ගම්පහ, වැරැල්ලවත්ත ප්‍රදේශයේ නිවසකට රැගෙනවිත් කිලෝව බැගින් ඇසුරුම් කොට වෙළඳ පොලට නිකුත් කිරීම සිදු කරනු ලබන බව මෙම සැකකරුවන්ගෙන් ප්‍රශ්ණ කිරීමේදී මූලික වශයෙන් අනාවරණය වී යැයි ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා පැවසීය.

කහකුඩු ආනයනය කොට බෙදා හැරීමක් සිදු කරන්නේ ද නැතිනම් මෙරටදී නිෂ්පාදනය කරන්නේ ද යන්න සොයා ගැනීම පිනිස ගම්පහ කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි පරීක්ෂණ අරඹා ඇති බවද සමන් ජයසිංහ මහතා සදහන් කළේය.

කහකුඩු ඇසුරුම් කිරීමේදී , ගොවීන්ගෙන් ලබාගත් කුළුදුල් අස්වැන්නෙන් නිපදවන ලද ” මාගම්පුර කහකුඩු ” යනුවෙන් සහ තිස්සමහාරාම රුහුණු කෘෂි ව්‍යාපාර සමිතිය යනුවෙන් සඳහන් කරමින් ව්‍යාජ අන්දමින් සකස් කළ ලේබල් යොදා ගෙන ඇති බව අනාවරණය වී යැයිද ස්ථානාධිපතිවරයා කීය.

මේ සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතාගේ මෙහෙයවීමෙන් වැඩි දුර පරීක්ෂණ සිදු කෙරෙන අතර කහකුඩු පරීක්ෂා කිරීම පිණිස සාම්පල රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අත් අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා සහ නඩු භාණ්ඩ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *