කුඩාවැල්ල ධීවර වරායේ ඝාතන ලක්ෂ 30ක කොන්ත‍්‍රාත්තුවක්… ඝාතන තොරතුරු සියල්ල හෙලිවෙි

කුඩාවැල්ල ධීවර වරායේ ඝාතන ලක්ෂ 30ක කොන්ත‍්‍රාත්තුවක්… ඝාතන තොරතුරු සියල්ල හෙලිවෙි

කුඩාවැල්ල ධීවර වරායට කඩා වැදී එහි සිටි පුද්ගලයන් සිව් දෙනකු වෙඩි තබා ඝාතනය කර තවත් අට දෙනකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධිය එම ධීවර වරායේම ව්‍යාපාරිකයකු කුලී මිනීමරුවන් පිරිසකට ලබාදුන් රුපියල් ලක්‍ෂ 30 ක මුදල් කොන්ත‍්‍රාත්තුවක් මත සිදුකර ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මෙම ප‍්‍රහාරයට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුවකු පොලිසිය මඟින් පෙරේදා (19 දා) අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමේදී මේ බව හෙළිවිය.

මෙම ප‍්‍රහාරය සඳහා යොදාගත් පිස්තෝලයක්ද, සැකකරු සතුව තිබී පොලිසියෙන් සොයාගෙන ඇත. එම සැකකරු බෙලිඅත්ත වලස්ගල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු කලක් යුද හමුදා විශේෂ බළකායේ සේවය කර ඉන් ඉවත් වූ අයෙකි. පසුව මොහු කොන්ත‍්‍රාත්කරුවකු වශයෙන් මාර්ග ඉදිකිරීම් කටයුතුවල නිරතවී ඇත.

මෙම ඝාතන කොන්ත‍්‍රාත්තුව ලබාදුන් මාළු ව්‍යාපාරිකයා මේ වන විට ප‍්‍රදේශයෙන් අතුරුදන්ව ඇති අතර ඔහු සොයා විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පසුගිය රජය සමයේ දකුණේ ප‍්‍රබල දේශපාලනඥයන් කිහිප දෙනකු සමග සමීප සබඳතා පවත්වා ඇති බවත් තවත් අපරාධ කිහිපයකටම සම්බන්ධ අයකු බවත් හෙළිවී ඇත.

මෙම ප‍්‍රහාරයට අදාළ රුපියල් ලක්‍ෂ තිහේ කොන්ත‍්‍රාත් මුදල කුලී ඝාතකයන්ට ලබාදී ඇත්තේ දික්වැල්ල බතීගම ප‍්‍රදේශයේ නිවසකදී බවද හෙළිවී තිබේ.

ප‍්‍රහාරයට දින කිහිපයකට පෙර ඝාතකයන් මෙම මුදල ලබාගත් බවද අත්අඩංගුවේ සිටින සැකකරු තවත් කුලී මිනී මරුවකු සමග යතුරුපැදියකින් පැමිණ ඇති බවද හෙළිවී ඇත.

එම යතුරුපැදිය පදවාගෙන ගොස් ඇත්තේ පෙරේදා අත්අඩංගුවට ගත් සැකකරු විසින් බවද ප‍්‍රහාරය සඳහා ඔහු පිස්තෝලයක් පාවිච්චි කර ඇති අතර යතුරුපැදියේ සිටි අනෙක් කුලී ඝාතකයා ටී 56 ගිනි අවියක් යොදාගෙන තිබූ බවද මේ වන විට හෙළිදරව් වී තිබේ.

කුඩාවැල්ල ධීවර වරායේ ව්‍යාපාරිකයන් දෙපිරිසක් අතර කාලයක් තිස්සේ පැවැති ව්‍යාපාරික ආරවුලක් මෙම ප‍්‍රහාරයට හේතුවී ඇති බව පොලිසිය පවසයි.

තංගල්ල කුඩාවැල්ල ධීවර වරායට කඩා වැදුණු සන්නද්ධ පුද්ගලයන් දෙදෙනකු එහි සිටි ධනවත් මාළු ව්‍යාපාරිකයකු ඇතුළු සිව් දෙනකු වෙඩි තබා ඝාතනය කර තවත් අටදෙනකුට බරපතළ තුවාල සිදුකර පලාගොස් තිබුණේ ඉකුත් දෙසැම්බර් 25 වැනිදා පෙරවරුවේය.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන, නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් යන මහත්වරුන්ගේ අධීක්‍ෂණයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වේ

උපුටා ගැනිම–දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *