කිරෙන් බැද්දත්, තෙලෙන් බැද්දත් කොබයියා කොබෙයියාමයි..–ඉන්දික අනුරුද්ධ

කිරෙන් බැද්දත්, තෙලෙන් බැද්දත් කොබයියා කොබෙයියාමයි..–ඉන්දික අනුරුද්ධ

ඔබ ජීවත්වන ප්‍රදේශය ජලයෙන් යට වන බවත්, ජනතාව එයින් පීඩාවට පත්ව වන බවත් ප්‍රාදේශීය ජනතා නියෝජිතයන් විසින් අපව දැනුවත් කරලා තිබෙනවා. වඩදිය බාදිය ඇති වීම නිසා මෙම ආපදාව සිදු වෙනවා. ඔබට ඕන වෙන්නෙ ඒ වතුර නවත්වන්නයි. අපි ඒ ගැන සාකච්ඡා කළා. ස්ථිරවම හෝ තාවකාලිකව මේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතුයි. ස්ථිර විසඳුමකට නම් රජයේ අරමුදල් ඒ සඳහා යෙදවිය යුතු යි. මේ ව්‍යාපෘතිය කිරීමේ නොහැකියාවක් අපේ රජයට නෑ. එතෙක් දුරට යම් විසඳුමක් දෙන්න කටයුතු කරනවා කියන ප්‍රකාශය අපි මෙහිදී කරනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීධුරාපේක්ෂක ඉන්දික අනුරුද්ධ මහතා මෙම අදහස් පළ කළේ කෙරවලපිටියේ පැවති ජන හමුවක් අමතමිනි. අනුරුද්ධ මහතා මෙසේ ද කියා සිටියේ ය.

මේ මැතිවරණයකට මුහුණ දීලා සිටින අවස්ථාවේ බොහෝ අය ගමට එන්නේ පොරොන්දු පත්‍ර රැගෙනයි. ඔවුන්ගේ එකම අරමුණ ඔබේ ඡන්දය ඩැහැ ගැනීමයි. ඉතින් ඔබත් මොකද කරන්නෙ, අර ලොකුම බොරු පොරොන්දු දීපු අපේක්ෂකයාට ඡන්දය දීලා එන එකයි. නමුත් අපේ ක්‍රමය ඒක නෙමෙයි. අපේ ක්‍රමය තමයි වත්තල ඔබට දැඩිව දැනෙන කුමන හෝ අවශ්‍යතා වලින් එකක් ඉටු කරන එක. එහෙම නැතුව වත්තල ගමකට අඩියවත් තියන්න වෙන්නෙ නෑ.

ගෝඨාභය ජනාධිපතිතුමාත් මහින්ද අගමැති තුමාත් ජනතා ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සඳහා පුාදේශීය ජනතා නියෝජිතයෝ, පාර්ලිමේන්තු මන්ත්‍රී වරු සහ ඇමතිවරු පත් කරලා තිබෙනවා. ඔවුන්ට ගමට ගොස් හොයල බලල වැඩ කරන ලෙස උපදෙස් දී තිබෙනවා.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් අපි ජයග්‍රහණය කළත්, අපට වැඩක් කරන්න නොහැකි වුණේ රජය වෙනත් පැත්තක තිබූ නිසයි. ප්‍රාදේශීය සභාවට ලැබුණු සොච්චම් මුදලින් බොහෝ දේවල් කරන්න බැරි වුණා. ඔබේ පුදේශයට, ගමට, පාරට, ඉඩමට ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා.

ඒ වගේ ම ඔප්පු තිරප්පු හිමිකම් ගැනත් ඔබේ ප්‍රාදේශීය ජනතා නියෝජිතයෝ කතා කළා. රජයේ ස්වර්ණභූමි ඔප්පු හෝ දීමනා පත්‍ර ආදිය පිළිබඳ ක්‍රමවත් වැඩපිළිවෙළක් නිර්මාණය කරන්නට, මට ලැබුණු නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය යටතේ දැන් තෝරා ගැනීම් කර ගෙන යනවා. ඔබ ඉන්න නිවස සදහා අයිතිය ඔබට නැතුව ඇති. සමහර විට ඒක අයිති රජයට විය යුතුයි. අපි මේ ගැටලුව අගමැතිතුමා හරහා ජනාධිපතිතුමාට යොමු කරලයි තිබෙන්නේ. ඒ නිසා එයාටත් ඉක්මන් විසඳුමක් ලැබේවි. ඒ වගේ ඔබට දැනෙන කුමන හෝ ගැටලුවකට විසඳුමක් නොදී අපි ඔබෙන් මනාපය හෝ ඡන්දය ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ නෑ.

පහුගිය කාලයේ වගේ නොවෙයි, දැන් තියෙන්නේ වැඩ කරන රටක්. පහුගිය කාලයේ කළේ වැඩ කරනවා කියා මුදල් ටික වෙන්කරගෙන ගසා කන එකයි. මහ බැංකු වංචාව බලන්න. ඔබ ගෙයක් දොරක් හදාගන්න, වාහනයක් ගන්න මුදලක් ගත්තා නම් ඒකට අයකල පොලිය දෙගුණ තෙගුණ වුණා. 2017 වසරේදී 8% ක් 9% ක් වූ පොලිය යහපාලන කාලයේ දී 18% ක් 20% ක් දක්වා ඉහළ ගියා. ඒක සිදු වුණේ උද්ධමනය වැඩි වූ නිසයි. භාණ්ඩාගාරය මංකොල්ල කාපු නිසයි. ඒ නිසා ජනතාවට එන මුදල් සීමා වුණා. හිස් වූ භාණ්ඩාගාරය තර කර ගැනීමට ඕනෑ නිසා පොලිය වැඩි කළා. ඒ තරකර ගැනීම නිසා සිද්ධ වුණේ උන්ගේ පටි බුරුල් වීමත්, අපේ පටි තදවීමත් විතරයි.

රනිල් සහ සජිත් පාර්ලිමේන්තුවේ දී කිව්වා රජය ගෙනියන්න බෑ ණය බරක් තියෙනවා කියලා. මොකක්ද මේ ණය බර? එදා ණය බර බිලියන 7000 යි. අද කීයද බිලියන 13000 ක්. මේ තත්වයට රනිල් සහ සජිත් වගකියන්න ඕන නැද්ද? දැන් දෙන්නා පක්ෂ දෙකකින් ඇවිත් ආයෙත් ඉල්ලනවා වැඩ කරන්න අවස්ථාවක් දෙන්න කියලා. දහනම වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කළේ ඔය යහපාලකයෝ. මෛත්‍රී රනිල් හා සජිත් තුන් කට්ටුව විසින්. මෛත්‍රීපාල කිව්වේ ඒක තමන්ගෙ සුජාත දරුවා කියලයි. ඔය ව්‍යවස්ථාව නිසා තමයි ජනාධිපති එක පැත්තකටත් අගමැති එක පැත්ත්තකටත් මැතිඇමතිවරු තව පැත්තටත් ඇද ඇද වැඩ කරන්නට සිද්ධ වුණේ.

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් සිය ගණන් අහිංසකයින් මිය කියා කියා. සමහරු සදහටම අංගවිකල වුණා. ඇයි එහෙම වුණේ? රනිල්ට ආව පණිවිඩය සජිත්ට කිව්⁣වෙ නෑ. සජිත්ට ආව පණිවිඩය මෛත්‍රියට කිව්වේ නෑ. මෛත්‍රීට ආව පණිවිඩය කාටවත් කිව්වෙත් නෑ. අන්තිමට බුද්ධි අංශ විසින් 97 වතාවක් දැනුම් දීලාත් ඒ විනාශය වළක්වා ගන්නට බැරි වුණා.

දැන් සජිත් කියනවා ආයෙත් බලය දෙන්නලු එයාට. කාත් එක්කද බලය පවත්වාගෙන යන්නේ? ගෝඨාභය ජනාධිපති තුමා සමග. එතුමා සමග ගැලපෙනවද? කිසිසේත්ම නෑ. ගෝඨාභයගේ වැඩපිළිවෙළ වෙනස්. ප්‍රතිපත්ති වෙනස්. ඒත් සජිත්ට තිබෙන්නේ තමන්ගේ ප්‍රතිරූපය පුම්බා ගැනීමේ මේනියාවක් විතරයි. ඉතින් කොහොමද මේ දෙන්නා ගැලපෙන්නෙ?

සජිත් ජනාධිපතිවරණයෙන් වැටුණු වැටිල්ලේ හැටියට තමන්ගෙ පාට, පක්ෂ විතරක් නෙවෙයි, දිස්ත්‍රික්කයත් වෙනස් කරලා. දැන් හම්බන්තොට දාලා කොළඹට පැනලා. අහු වෙන්න එපා. තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙයියාමයි. ඒ නිසා වෙස්මුහුණු වලට රැවටෙන්න එපා. පාස්කු ප්‍රහාරයේ දී අහක බලාගෙන හිටපු, මහ බැංකුව මංකොල්ල කාපු, මාගම් තොට වරාය වැනි ජාතික දේපොළ තුට්ටු දෙකට විකුණපු බඩු ටිකම තමයි ඔය ආයෙත් දෙපැත්තට බෙදිල ආයෙත් ඇවිත් ඉන්නේ.

ජනතා අභිලාෂ ඉටු කරන්න පුළුවන් මහින්ද අගමැති වුනොත් විතරයි. සජිත් එතනට ගැලපෙන්නේ නෑ. මේ දහනවවෙනි විකෘති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සමග වැඩ කරන්ට පුළුවන් වන්නේ දෙපැත්තට අදින දෙනෙකුට නොව, ගෝඨාභය සහ මහින්ද වැනි සහෝදරයන් දෙදෙනකුට පමණයි.

ඒ නිසා මේ මැතිවරණය තීරණාත්මකයි. හරි මිනිස්සු කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යවන්න. අනිවාර්යෙන්ම ඒ කණ්ඩායමට ගෝඨාභය ජනාධිපතිතුමා සමග වැඩ කළ හැකි විය යුතුයි. මෙවර නම් වරද්දා ගන්නට එපා. මේ ජාතියේ අනාගතය පිළිබඳ තීරණාත්මක අවස්ථාවක් බව පැහැදිලිවම තේරුම් ගතයුතුව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *