කිරි ගොවීන්ට වායු රයිෆල්

කිරි ගොවීන්ට වායු රයිෆල්

ගවයින් සොරකම් කිරීම තවතා ගැනීම පිනිස කිරි ගොවීන්ට හෝ කිරි ගව සංගම්වලට වායු රයිෆල් ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස රජයට යෝජනා කරන බව ඊයේ (8) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති කිරි ගොවීන්ගේ ගැටළු සම්බන්ධයෙන් වු සාකච්ඡාවේදී කිරි ගොවීහු පැවසුහ.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අකාරී මුදිත පුස්සැල්ල මහතාගේ උපදෙස්මත ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙහිදී මීරිගම පැරකුම් කිරි ගොවි සංවිධානයේ සම්බන්ධීකාරක කේ.ජී.එස්.රත්නායක මහතා සියලු කිරි ගොවීන් වෙනුවෙන් ඉහත යෝජනාව ඉදිරිපත් කරන බව පැවසු අතර ගවයින් සොරකම් කිරීම පිනිස පැමිණෙන පුද්ගලයින් අවි ආයුධ හෝ වෙනත් ආකාරයෙන් සන්නද්ධව පැමිණෙන බැවින් මෙවන් අවශ්‍යතාවයක් පවතින බව හෙතෙම සදහන් කළේය.

මෙහිදී පොලිස් ස්ථානාපති වරුන් විසින් පෙන්වා දෙනු ලැබුයේ පිටස්තර පුද්ගලයින්ට ගමකට විත් ගවයින් සොරකම් කිරීම තනියෙන් කළ නොහැකි බැවින් මෙම අයට ගමේම පුද්ගලයින්ගෙන් සහාය ලැබෙන තත්ත්වයක් ලැබෙන බැවින් එවන් පුද්ගලයින් සම්බන්ධයෙන් විමසිලිමත් වෙමින් එවන් පුද්ගලයින් පිළිබද තොරතුරු ලබා දෙන්නේ නම් මෙම උවදුර මැඩලීමට උපකාරී වන බව පෙන්වා දුන්හ.

මෙම රැස්වීමේදී කිරි ගොවි මහතෙකු පවසා සිටියේ විශේෂයෙන්ම ගැබිබර දෙනුන් ඝාතනය කිරීම තහනම් වුවද එවන් දෙනුන් ගව ඝාතකාගාරවල සිටින බැවින් මේ සම්බන්ධයෙන් ක්‍රියාකළයුතු අදාල නිලධාරීන්ගේ අවධානය යොමු විය යුතුව ඇති බවය.

මෙහිදී දිස්ත්‍රික් පශු වෛද්‍ය නිලධාරී නිලන්ති වික්‍රමසිංහ මහත්මිය අදහස් දක්වමින් ගවයින් ආරක්ෂා කරගැනීම පිනිස ගව නිවහන් සදහා ආරක්ෂක පද්ධති සවිකිරීමේ වැඩපිළිවෙලක් පවතින බව අනාවරණය කළාය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු කිරි ගොවි මහතෙකු පවසා සිටියේ මෙවන් ආරක්ෂක පද්ධති සවි කිරීම සුදුසු වන නමුත් ගව සොරුන්ගෙන් සිය ජීවිත රැක ගැනීමට පියවරක් ගත යුතුව ඇති බවය.

මෙහිදී දිසාපති සුනිල් ජයලත් මහතා පෙන්වා දෙනු ලැබුයේ ගවයින් සොරකම් කිරීම දැවෙන ප්‍රශ්ණයක් මෙය දුරු කිරීම පිනිස ප්‍රජාව පොලීසිය සමග එක්ව ක්‍රියාකළ යුතුව ඇති බවත් මෙම ප්‍රශ්නයට විසදුම් පතා මුදිත පුස්සැල්ල මහතා ගනු ලබන උත්සාහය අගය කරන බවය. එසේම වායු රයිෆල් ඕනෑම අයෙකුට භාවිතා කළහැකි බවත් මෙහිදී ප්‍රදේශයේ පොලිස්ථානාපති වරයා ලිඛිතව දැනුවත් කිරීමත් විය යුතුබවද දිසාපති වරයා පැවසීය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අකාරී මුදිත පුස්සැල්ල මහතා අදහස් දක්වමින් මෙම ගව සොරකම් මුලිනුපුටා දැමීම පිනිස පොලීසිය ක්‍රියාත්මක වෙමින් සිටින බවත් මෙනිසා දැනට ගව සොරකම අඩු වෙමින් පවතින බවත් පැවසු අතර මීට ජනතා සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත් ප්‍රකාශ කළේය.

මෙම රැස්වීමේදී කිරි ගොවීන් කිහිප දෙනෙකුම හඩා වැටෙමින් පවසා සිටියේ තමන් දරුවන් සේ රැකගන්නා ගවයින් ආරක්ෂා කරදීම පිනිස ජ්‍යෙෂ්ඨ පොලිස් අකාරී පුස්සැල්ල මහතා මුලිකවී ගන්නා කටයුත්ත වෙනුවෙන් ස්තුතිය පමණක් නොව පිං සිදු වේවායි ප්‍රාර්ථනය කර සිටින බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *