කිරිවෙහෙර රජමහා විහාරාධිපතිට වෙඩි තැබු ප්‍රධාන සැකකරුවන් තිදෙනා අත් අඩංගුවට

කිරිවෙහෙර රජමහා විහාරාධිපතිට වෙඩි තැබු ප්‍රධාන සැකකරුවන් තිදෙනා අත් අඩංගුවට

කතරගම, කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ට හා තවත් හිමි නමකට වෙඩිතබා බරපතල තුවාල කල සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් තිදෙනා ඊයේ (16) රාත්‍රී තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය මගින් බොරලැස්ගමුව, පැපිලියාන ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් තිදෙනා අද (17) තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කිරිවෙහෙර විහාර භූමියේ පිහිටි මහසෙන් දේවාලයේ ප්‍රධාන කපු ධූරය දරණ ලද බෝපේගෙදර අසේල ලක්මාල් බණ්ඩාර (40) සහ ජයවික්‍රම කංකානම්ගේ නුවන් කුමාර (24) සහ ඔහුගේ සහෝදරයා වන ජයවික්‍රම කංකානම්ගේ ප්‍රසාද් කුමාර (22) යන තිදෙනාය.
මෙයිට පෙරද වදුරු කලූවා නමින් හැදින්වෙන අයකු සහ කිරිවෙහෙර භූමියේ පිහිටි මහසෙන් දේවාලයේ සේවය කල රාලහාමි නමින් හැදින්වෙන අයෙකුද කතරගම පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබුණි. මෙම රාලහාමි නැමැති අය ප්‍රධාන සැකකාර අසේල බණ්ඩාර නැමැති අයගේ අනියම් බිරියගේ ස්වාමිපුරුෂයා බවද ආරංචි මාර්ග සදහන් කරයි.
කතරගම ඓතිහාසික කිරිවෙහෙර රජ මහ විහාරස්ථානයේ විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තබා බරපතල තුවාල සිදු කළේ යැයි සැකපිට මොවුන් අත් අඩංගුවට ගෙන තිබේ. පසුගිය 12 දා රාත්‍රී කිරිවෙහෙර විහාරස්ථානයේ පියගැට පෙළ අසලදී මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි. එහිදී කොබවක ධම්මින්ද හිමියන් සමග කිරිවෙහෙර විහාරවාසී වීදාපොළ සෝභිත හිමියන්ද තුවාල ලැබීය.
තුවාල ලැබූ ධම්මින්ද හිමියන් හා සෝභිත හිමියන් එම අවස්ථාවේදීම ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කෙරුණ අතර ඊට පසුදින ධම්මින්ද හිමියන් වැඩිදුර ප්‍රතිකාර සදහා ගුවන් මගින් කොළඹට රැගෙන විත් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කරනු ලැබීය. වීදාගම සෝභිත හිමියන්ද පෙරේදා (16) හම්බන්තොට රෝහලින් වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹට රැගෙන විත් තිබේ.
සිද්ධියේ ප්‍රධාන සැකකරු වන අසේල බණ්ඩාර නැමැති අය අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ පොලිස් කණ්ඩායම් 08 ක්ම යොදවා තිබූ බව තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතා ප්‍රකාශ කළේය. මේ සදහා කතරගම පොලිසිය හා තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයද වෙනමම සෝදිසි මෙහෙයුම් දියත් කල බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේය.
විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුට හා සෙසු අයට උදව් උපකාර කල මෙන්ම දුරකථන ඇමතුම් මගින් තොරතුරු සපයා ඇති කිරිවෙහෙර කාර්ය මණ්ඩලයේ තවත් කිහිප දෙනෙකු පිළිබදවද බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබෙන බවත් ඒ පිළිබදව තව දුරටත් පරීක්ෂණ පවත්වන බවත් තංගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න මහතා ප්‍රකාශ කළේය. අවශ්‍ය වුවහොත් ඔවුන්ද අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද ඒ මහතා අවධාරණය කළේය.
කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ හිටපු විහාරාධිපති අලූත්වැව සෝරත නාහිමින් අපවත්වීමෙන් පසු හිස් වු විහාරාධිපති ධූරයට විහාරාධිපති හිමිනමක් පත්කිරීමේදී පාර්ශව කිහිපයක්ම ඒ සදහා ඉදිරිපත්ව ඇත. එහිදී කොබවක ධම්මින්ද නාහිමියන් විහාරාධිපති තනතුරට පත් කිරීමට සියම් නිකායේ මල්වතු පාර්ශවයේ මහා නාහිමිවරුන් තීන්දු කිරීමත් සමග විහාරාධිපති ධූරයට ඉදිරිපත් වු සෙසු පර්ශවයන් කොබවක නාහිමියන් සමග වෛර බැදගෙන කටයුතු කරමින් සිට ඇති බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.
එයින් පසුව විහාරස්ථාන භූමියේ පිහිටි මහසෙන් දේවාලයේ අයිතිය සම්බන්ධයෙන් වූ නඩුවකදී කොබවක ධම්මින්ද හිමියන් එයින් ජයග්‍රහණය කිරීම මතද එහි ප්‍රධාන කපු මහතා සමග ආරවුලක්ද ඇති වී තිබේ. වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවා වන්නේද මෙම මහසෙන් දේවාලයේ හිටපු කපුවා වන බැවින් මෙම ආරවුල මත වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරයි.
තංගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල්, කතරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි කාරියවසම් යන නිලධාරීන් ඇතුළු පිරිසක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *