කළු බළල්ලූ – ලේ සෙල්ලං සමග රටක් බය කළ නමක්; පේ‍්‍රමදාස උඩුගම්පළ!??

කළු බළල්ලූ – ලේ සෙල්ලං සමග රටක් බය කළ නමක්; පේ‍්‍රමදාස උඩුගම්පළ!??

udugam2ලංකාවේ එතෙක් මෙතෙක් වැඩිපුරම කතාබහට ලක් වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ උඩුගම්පළයන්ගේ නික්ම යෑම ‘‘1971 අපේ‍්‍රල් සිද්ධීන්වලින් විශාල වශයෙන් බැට කාල තියෙන්නෙ මේ රටේ නිර්ධන පන්තියයි. විප්ලවවාදී ව්‍යාපාරයයි. අපේ සගයන් දහස් ගණනක් අද ජීවතුන් අතර නැහැ. මම මේ රටේ ධනපති පාලකයන්ගෙන් මගේ සගයන්ගේ ලේවලට වන්දි ඉල්ලන්නේ නැහැ. නමුත් අපට අයිතියක් තියෙනව සභාපතිතුමනි” ඒ ලේවලට වන්දි ලෙසින් මේ රටේ ජනතාවට සතුට සැපත හා සෞභාග්‍යය ඉල්ලන්න… මෙම ප‍්‍රකාශය රෝහණ විජේවීර විසින් 1971 අපේ‍්‍රල් ඇරඹි නඩු විභාගයේදී කොමිසම හමුවේදී ප‍්‍රකාශ කරන ලද්දකි. මෙම ප‍්‍රකාශය කරන ලද පුද්ගලයා මෙරට ප‍්‍රධාන පෙළේ ජාතික ව්‍යාපාරයක නායකයකුව සුප‍්‍රසිද්ධ වී සිටියේ යම් සේද එම ව්‍යාපාරයට ප‍්‍රතිවිරුද්ධව නීතිය කි‍්‍රයාත්මක කළ අයකු වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ පේ‍්‍රමදාස උඩුගම්පළ නම් වූ නාමය ද එලෙසටම රට තුළ සුප‍්‍රසිද්ධව සිටියේය.

උඩුගම්පළ මහතා මෙරට පොලිස් දෙපාර්තමේන්තුව සතුව සිටි අති දක්‍ෂ නිලධාරියකු වූවා පමණක් නොව රටෙහි විවිධ පීඩාකාරී කාලවකවානු කිහිපයකදී විවිධ පළාත්වල පොලිස් භට පිරිස් මෙහෙයවූ නියමුවකු ද විය. උඩුගම්පළ මහතා තරම් විවේචනයන්ට ලක් වූ පොලිස් නිලධාරියකු පොලිස් දෙපාර්තමේන්තුව තුළ නැති තරම් විය.

පේ‍්‍රමදාස උඩුගම්පළ මහතා ගාල්ල මහින්ද විද්‍යාලයෙහි කීර්තිමත් ශිෂ්‍යයකු වූ අතර ඔහු පොලිස් දෙපාර්තමේන්තුවට වයස 18 දී සම්බන්ධ වන්නේ උප පොලිස් පරීක්‍ෂකවරයකු ලෙසයි. ඉතා තරුණවියේදීම පොලිස් නිලධාරියකු ලෙසට සේවය ආරම්භ කිරීම තුළ වඩාත් පරිණත හා පළපුරුදු නිලධාරියකු වීමට මැදිවියට පැමිණෙත්ම ඔහුට හැකියාව ලැබී තිබිණ. ඔහුගේ ජීවිතයේ ප‍්‍රධානතම අභියෝගය ලෙස යාපනය ප‍්‍රදේශයෙහි සේවය කරන්නට වීම සැලකිය හැක. මන්ද ඔහුගේ සේවා කාලය තුළ යාපනය ප‍්‍රදේශයෙහි එල්. ටී. ටී. ඊ. කි‍්‍රයාකාරීත්වයන් බහුලව සිදුවෙමින් පැවැති නිසාවෙනි. මෙම අභියෝගයට ද සාර්ථකව මුහුණ දෙමින් නොබියව යාපනය ප‍්‍රදේශය තුළ සිය සේවය ඉටු කරන ඒ මහතාගේ දිවියෙහි දෙවැනි ප‍්‍රබලතම අභියෝගය ලෙසට 1989 කැරැල්ල මැඬපැවැත්වීම සඳහා සම්බන්ධ වීමට සිදුවන්නේ ඔහුගේ ජීවිතයෙහි අභියෝග හා ඛේදජනක සිදුවීම් රාශියකට මුලපුරමිනි.

udugam2
1987 සිට 1989 දක්වා කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන යන ලද සන්නද්ධ අරගලයෙහි ප‍්‍රධානතම වින්දිතයකු ලෙසටද ඉන්පසුව එම අරගලයට ප‍්‍රතිවිරුද්ධව කි‍්‍රයා කරන ලද ප‍්‍රබලතම පොලිස් නිලධාරියකු යන දෙආකාරයටම උඩුම්පළයන් ප‍්‍රසිද්ධව සිටියේය.

උඩුගම්පළ මහතා උතුරු දකුණ හා මධ්‍යම පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කරන ලද අතර ඔහු දකුණු ප‍්‍රදේශය භාරව රාජකාරි කරන ලද කාලයේදී ඔහු නිල මට්ටමින් කරන ලද කි‍්‍රයාවන් සම්බන්ධයෙන් විවිධ අංශ මගින් චෝදනා එල්ලවන්නට ද විය.

ඔහුගේ මෙම හැසිරීම සම්බන්ධයෙන් බලපෑ එක් සුප‍්‍රසිද්ධ හේතුවක් ද විය. එම හේතුව වූයේ හරියටම 1988 ජුලි 24 වැනි දින ගාල්ල උලූවිටිකේ ප‍්‍රදේශයේ පිහිටි උඩුගම්පළ මහතාගේ නිවසට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කොට ගිනි බත් කිරීමයි. ඒ වනවිටත් නිවස තුළ සිටි උඩුගම්පළ මහතාගේ මව” සොහොයුරකු ඇතුළු පිරිසක් නිවස තුළ සිටියදී මෙම සිදුවීමෙන් ජීවිතක්‍ෂයට පත්ව තිබුණි. මෙම කි‍්‍රයාවට ජනතා විමුක්ති පෙරමුණේ සෘජු සම්බන්ධයක් ඇතැයි විශ්වාස ඔහු කරන්නට විය. මෙම සිදුවීමෙන් පසු ඉතා දැඩි ප‍්‍රතිපත්තියක පිහිටා ජනතා විමුක්ති පෙරමුණෙහි කි‍්‍රයාකාරීන්ට එරෙහිව ඒ මහතා කි‍්‍රයා කරන්නට විය. මෙම කි‍්‍රයා කලාපය තුළ ඒ මහතා බොහෝ සෙයින් විවේචනයන්ට භාජන විය.

1989 කැරැල්ල මැඩ පැවැත්වීමෙන් පසුව රන්ජන් විජේරත්න මහතාගේ අනුදැනුමින් යුක්තව කි‍්‍රයාත්මක වූ විශේෂ මෙහෙයුම් ඒකකය හි ප‍්‍රධානියා වූ උඩුගම්පළ මහතා හට එම ඒකකය අතහැර දමන්නට සිදුවූයේ රන්ජන් විජේරත්න මහතාගේ අභාවයත් සමඟිනි. නමුත් 1992 අපේ‍්‍රල් 04 වන දින ‘දි අයිලන්ඞ්. පුවත්පතට ප‍්‍රකාශයක් ලබා දෙමින් සුප‍්‍රසිද්ධ ‘ෆ්ලෙමින් ගෝ.. හි වැටලීම හා විශේෂ මෙහෙයුම් ඒකකයට එල්ලවී ඇති බලපෑම් පිළිබඳව ද සඳහන් කරන්නට විය.

pramadasa3මේ අතර ‘බ්ලැක් කැට්ස්’ නමින් කණ්ඩායමක කි‍්‍රයාකාරීත්වය සම්බන්ධව ද උඩුගම්පළ මහතාගේ නම කියැවෙන්නට වීමෙන් ඒ මහතා පිළිබඳ වඩාත් කතාබහට ලක්වන්නට විය. මෙම සියලූ සිදුවීම් අවසානයේ 1992 වර්ෂයේ ජනවාරි 15 වන දින එම මහතා අනිවාර්ය නිවාඩු යවා විශ‍්‍රාම ගැන්වීමට රජය තීරණය කළේය.

උඩුගම්පළ මහතාගේ පවුලෙහි බාල සොහොයුරෙකු වූ කුලසිරි උඩුුගම්පළ මහතා ද පොලිස් දෙපර්තමේන්තුවට අනුයුක්තව සිටි තවත් උඩුගම්පළ පවුලේ සාමාජිකයෙකි. ඔහු වර්ෂ 2002 දී සහකාර පොලිස් අධිකාරිවරයෙකුව සිටි කාලයේදී කරන ලද අතුරුගිරිය මිලේනියම් සිටි වැටලීම හේතුවෙන් බෙහෙවින් කතාබහට ලක්වූ චරිතයක් විය.

පොලිස් සේවයෙන් සමුගත්ත ද පේ‍්‍රමදාස උඩුගම්පළ සෑම විටකදීම දේශපාලනඥයන් හා පක්‍ෂ සමග සමීප හිතවත්කම් ඇති කර ගත්තේය. එයට කදිම නිදසුන වන්නේ 2010 වර්ෂයේදී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් එක්සත් ජාතික පක්‍ෂය හා එක්ව කටයුතු කිරීමයි.

2011 වර්ෂයේදී ‘දි අයිලන්ඞ්. පුවත්පත සමඟ කරන ලද සාකච්ඡාවකදී උඩුගම්පළ මහතා ප‍්‍රකාශ කර සිටියේ ඔහු විසින් ජනතා විමුක්ති පෙරමුණට එරෙහි සටනට නායකත්වය දීම පිළිබඳව ආඩම්බර වන බවත් කිසි දිනක තමා අල්ලස හා දූෂණය සම්බන්ධ චෝදනා එල්ලවී නොමැති නිලධාරියකු බවත් ය…

මෙම චරිතය වසර 40 ක පොලිස් දෙපාර්තමේන්තුවෙහි සේවා කාලය තුළත් ඉන් පිටතදීත් කළ කී දේ පිළිබඳව විවිධ අදහස් ජනතාව තුළ තිබුණ ද 1989 භීෂණ කාලය තුළ කැරළි කණ්ඩායම් මෙල්ල කළ හැකිව තිබූ එකම පොලිස් නිලධාරියා යන මතය ද ඔහු පිළිබඳව සමාජගතව තිබුණි. ඔහුගේ කි‍්‍රයාවන් නිසා තරුණ කොටස්හි ජීවිත අවදානමකට ලක් වුවද එම කැරැල්ල කෙටි කලකින් මැඬ පැවැත්වීමට තුඩු දුන් ප‍්‍රධාන නිලධාරීන් අතරට ඔහුගේ නාමය අදටත් කියැවේ.

ඔහුගේ කි‍්‍රයාකලාපය පිළිබඳ විවිධාකාර වූ විවේචනයන් පැවතිය ද අවිවාදයෙන් ඔහු දක්‍ෂ හා නිර්භීත පොලිස් නිල දරුවකු බව නම් කිව යුතුය. රටෙහි අසීරුතම කාලයන්හි රාජකාරි කටයුතු කොට අපෙන් සදහටම සමුගෙන ගොස් ඇති ඔහු පිළිබඳව ප‍්‍රශංසාවෙන් කතා කරන පුද්ගලයන් ඔහු සේවය කරන ලද ප‍්‍රදේශවලින් තවමත් දැකිය හැක. පැවරූ රාජකාරිය අකුරටම ඉටු කරන පොලිස් නිලධාරියකු ලෙසටද ඔහු පොලිස් දෙපාර්තමේන්තුව තුළ ප‍්‍රසිද්ධව සිටියේ සිය නිල ඇඳුමට හා රාජකාරියට ප‍්‍රමුඛස්ථානය ලබා දෙන නිලධාරියකු ලෙසිනි.

නීතිඥ කසුන් පොන්නම්පෙරුම

උපුටා ගැනිම–දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *