එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී රන්දීර්ට තවත් පාතාල කල්ලි තුනක් සමග සබඳතා

එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී රන්දීර්ට තවත් පාතාල කල්ලි තුනක් සමග සබඳතා

 

දිවුලපිටිය දූනගහ පාරේ හේනපිටගෙදර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රි රන්දීර් රුද්‍රිගු නමැත්තා මෙරට ප්‍රකට පාතාල කල්ලි තුනක් ඇසුරු කර ඇතැයි විමර්ශනවලින් හෙළිවී තිබේ.

“සමයං” ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන අංගොඩ ලොක්කාගේ කල්ලිය, බන්ධනාගාර බස් රථයක ගමන් කරමින් සිටියදී ‘දෙමටගොඩ චමින්ද’ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ මාකිලන්ගමුවේ සංජීවගේ කල්ලිය සහ අපරාධ රැසකට සම්බන්ධ ‘කොළොන්නාවේ චාමර’ගේ කල්ලිය යන පාතාල කල්ලි තුන සමඟ සැකකාර මන්ත්‍රිවරයා සමීප ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවද මූලික විමර්ශනවලදී හෙළිදරව් වී ඇති බව වාර්තා වේ.

මෙකී පාතාල නායකයන් තිදෙනාගේ ගෝලයන් හත්දෙනකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් මඟින් පෙරේදා (23) අත්අඩංගුවට ගත් අතර තවත් දෙදෙනකු වෙඩි ප්‍රහාර එල්ල වන අවස්ථාවේදී පලා ගොස් තිබිණි.

මෙම මෙහෙයුමෙන් අනතුරුව සැකකාර රන්දීර් රුද්‍රිගු මන්ත්‍රිවරයාගේ හැඳල ප්‍රදේශයේ පිහිටි නිවසේ ටී-56 ගිනිඅවියක් සහ පිස්තෝලයක් සඟවා ඇති බවට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එම නිවෙසද වටලා තිබේ.

එහිදී එම නිවෙසේ සිවිලිමේ සඟවා තිබූ උණ්ඩ 115ක්, වෙඩි නොවදින ඇඳුමක්, පුපුරන ද්‍රව්‍ය ග්‍රෑම් 68ක්, කඩුවක් සහ කිණිස්සක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.

එහිදී සැකකාර මන්ත්‍රිවරයාගේ බිරියද අත්අඩංගුවට ගනු ලැබීය. ඇය ඉන්දියානු ජාතික කාන්තාවක් බව පොලිසිය පවසයි.

මෙම මෙහෙයුම අතර සිදු වූ වෙඩි හුවමාරුවේදී මාකිලන්ගමුව සංජීවගේ ගෝලයකු වූ මිනුවන්ගොඩ කුරේ හෙවත් මිනුවන්ගොඩ, නිල්පනාගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි නාවලගේ කුෂාන් තක්‍ෂිල කුරේ නමැත්තා ජීවිතක්‍ෂයට පත්විය.

නිධානයක් හිමිකර ගෙන සිටින තැනැත්තකුගෙන් එම නිධානය බලහත්කාරයෙන් ලබා ගැනීම සඳහා මෙම කල්ලිය දිවුලපිටිය ප්‍රදේශයට ආයුධ සන්නද්ධව ගොස් ඇති බවට විමර්ශකයන් සැක පළ කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *