එක්සත් ජාතික පක්ෂයට නියෝජ්‍ය කථානායක පුටුවත් යයි

එක්සත් ජාතික පක්ෂයට නියෝජ්‍ය කථානායක පුටුවත් යයි

අට වැනි පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කතානායක ධූරය සඳහා මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද කුමාරසිරි මහතා අද (05) වැඩි ඡන්ද 44 කින් තේරී පත් විය.

නියෝජ්‍ය කතානායක ධූරය සඳහා පැවති රහස් ඡන්දයේදි වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ඡන්ද 53 ක් හිමි වු අතර ආනන්ද කුමාරසිරි මන්ත්‍රිවරයාට හිමි වු ඡන්ද සංඛ්‍යාව 97ක් හිමි විය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජ්‍ය කළ අමාත්‍යවරු 16 දෙනෙකු පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමඟ එම කණ්ඩායමේ සිටි නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා තවදුරටත් එම ධූරය දැරීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් හට ගත්තේය.

කෙසේ වෙතත් පසුව තමා එම ධූරයෙන් ඉවත් වන බවට තිලංග සුමතිපාල මහතා විසින් ජනාධිපතිවරයාට දන්වා සිටිමත් සමඟ එම ධූරය පුරප්පාඩු විය.

ඒ අනුව අද පාර්ලිමේන්තුව රැස් වු අවස්ථාවේදි කතානායකවරයා ඒ පිළිබඳ දැනුම් දුන්නේය.

පසුව පුරප්පාඩු වු නියෝජ්‍ය කතානායක ධූරය සඳහා නම් යෝජනා කිරීමට මන්ත්‍රිවරුන්ට අවස්ථාව හිමි විය.

ඒ අනුව බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා විසින් මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද කුමාරසිරි මහතා යෝජනා කළ අතර එස්.බි. දිසානායක මන්ත්‍රිවරයා විසින් වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය යෝජනා කළේය.

නියෝජ්‍ය කතානායක ධූරය සඳහා එලෙස නම් 2 ක් යෝජනා වීම හේතුවෙන් රහස් ඡන්දයක් පැවැත් විය යුතු බවට කතානායකවරයා දැනුම් දුන්නේය.

අනතුරුව අද පස්වරුවේ ඡන්ද විමසීම ආරම්භ විය.

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටියේය.

මන්ත්‍රිවරුන් ඡන්ද ප්‍රකාශයට පත් කර අවසන් විමෙන් පසු ඡන්ද ගණනය කිරීමේ කටයුතු පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

ඒ අනුව වැඩි ඡන්ද 44 කින් මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද කුමාරසිරි මහතා 8 වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධූරයට පත් විය.

ඒ අනුව කතානායක හා නියෝජ්‍ය කතානායක යන ධූර දෙකම එක්සත් ජාතික පක්ෂයට හිමි විම විශේෂත්වයක් වෙයි.
දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *